යුක්තිය සහ ප්‍රේමය බෝ කළ 'අප්‍රිකාවේ මාතාව' මාග්‍රට් බාරන්කයිට්ස්

 ඡායාරූපය:

යුක්තිය සහ ප්‍රේමය බෝ කළ 'අප්‍රිකාවේ මාතාව' මාග්‍රට් බාරන්කයිට්ස්

 

'කළ නොහැකියි' යන වචනය බොරුවක් බව මම දැන් දනිමි. යුක්තිය හා ප්‍රේමය ඇති විට ඕනෑම ජනතාවකට සමගියෙන් ජීවත්විය හැකි බව මම මගේ ජනතාවට පෙන්නා දී තිබේ.

ලෝක ජනමාධ්‍ය ඇය හඳුන්වන්නේ ''අප්‍රිකාවේ මාතාව'' යනුවෙනි. තවත් මාධ්‍යවලට අනුව ඇය අප්‍රිකාවේ දේවදූතියකි.

1993 ඔක්තෝබර් 23 වැනි දින බුරුන්ඩිහි රුයිගි නැමැති දූගී ගම්මානයට කඩා වැදුණු ටුටිසි ගෝත්‍රිකයෝ මාග්‍රට් නැමැති ගුරුවරිය පුටුවකට තබා බැඳ දමා එම ගම්මානයේ හුටූ ගෝත්‍රිකයන් 72ක් ඇය අභියස මරා දැමීය. ඇය මේ මිනීමරුවන්ගෙන් බේරුණේ ඇයද ටුට්සි ජනවර්ගයට අයත් නිසා පමණකි. ගමේ ඉතිරිව සිටි මිනිසුන් භීතියෙන් තැතිගෙන හිස් ලූලූ අත දිවගිය අතර ඇය සහ තවත් නිර්භය කිහිප දෙනකු පමණක් ඉතිරිව මේ කපාකොටා දමා ගිය මිනිසුන් වැළලූහ. ඔවුන්ගේ පුංචි දරුවන් වැළපෙමින් සිටි අතර කිසිවකු ඔවුන් කෙරෙහි තැකීමක් කළේ නැත. එහෙත් මාග්‍රට් මේ දරුවන් සියල්ලන්ම එකතු කළාය. ඔවුන් ගණනින් 25ක් විය. ඔවුන් අතර හුටූ මෙන්ම ටුටිසි දරුවන්ද විය. ඇය යාබද පාසැලක ඔවුන් සඟවා තැබුවාය. ටික දවසක් ගත වෙද්දී ඇයට මේ දරුවන්ට ආහාර සොයා දීම ඇගේ ජීවිතයේ මහා බරක් වූ විට මාග්‍රට් ලෝක මානව සංවිධානවල දොරවල්වලට තට්ටු කරමින් සිටියාය. පිළිතුර වූයේ ''අපි ඔබව නොහඳුනනමු'' යන්නය. අනතුරුව ඇය ගියේ බුරුන්ඩිහි Joseph Nduhirubusa බිෂෝප්වරයා වෙතටය. ඇයට ඉල්ලීම් දෙකක් තිබිණි. ''මගේ දරුවන්ට ආහාර සහ ඉන්න ඉඩමක්'' බුරුන්ඩියේ බිෂෝප්වරයාට මේ ධෛර්යය සම්පන්න ගැහැනියගේ වචනවලට පිටුපෑ නොහැකි විය. පල්ලියට අයත් අති විශාල ඉඩමෙන් ඇය ඉල්ලා සිටි ප්‍රමාණය ලැබිණි. මාග්‍රට් ලහිලහියේ ඉතිරිව සිටි හුටූ ජනවර්ගයේ සරණාගතයන් සමඟ එක්ව පුංචි පුංචි නිවාසත් ඔවුන්ට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා වගා කරන්ටත් පටන් ගත්තාය. අවසානයේ ඇය එහි පාසලක්ද ගොඩනැඟුවාය. පසුව සරණාගත ටුටසි හා හුටූ ජනවර්ගවල අනාථ දරුවෝ විසිදහසක් රැකවරණය ලැබූ Maison Shalom නිකේතනය බිහිවෙන්නේ එලෙසය. මේ සියලු දරුවන්ට එක්කෝ ඇය ‘මැගී අම්මා’ විය එසේ නැත්නම් ‘මැගී ආචිචී’ විය.

මයිසන් ෂාලොම් නිකේතනයේ වැඩි අවධානය යොමු වූයේ ප්‍රධාන වශයෙන් ළමා සොල්දාදුවන්, අනාථ දරුවන්, විකෘති වූ දරුවන් සහ බන්ධනාගාරගත බාල වයස්කරුවන්ය. වසර ගණනාවක් පුරා සිවිල් යුද්ධයෙන් පසු දෙපැත්තෙන්ම අනාථ දරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ පොදු මූලස්ථානයක් දක්වා ඇය සිය මෙයිසන් ෂැලෝමි නිකේතනය වර්ධනය කළාය. එහි පසුව බැංකුවක්, මානසික සායනයක්, ළමා රෝහලක්,හෝටලයක්, සාප්පුවක්, පරිගණක ඉගෙනීම සඳහා සම්පත් මධ්‍යස්ථානයක්, කාර්මික පුහුණු පාසලක්, පිහිනුම් තටාකයක් පමණක් නොව අනාථ දරුවන්ට සිත් සේ නැරඹිය හැකි සිනමා ශාලාවක් පවා නිර්මාණය කළාය. ‍මෙම අපූර්ව ගැහැනියගේ ධෛර්යයට හා මනුෂ්‍යත්වය වෙනුවෙන් පසුගිය වසරවල ලැබූ ‍අන්තර්ජාතික සම්මාන ලැයිස්තුව දැන අපි ඔබ ඉදිරියේ තබන්නෙමු.

සරණාගත අයිතිවාසිකම් සඳහා ජුවාන් මාරියා බන්ඩ්‍රෙස් ත්‍යාගය (1998), ප්‍රංශ රජයේ මානව හිමිකම් ත්‍යාගය (1998), ලෝක ළමා ත්‍යාගය (2003), අන්තර්ජාතික සිව් නිදහස් සම්මානය (2003 ), කාන්තා හා සරණාගත ළමයින් සඳහා වන කාන්තා කොමිෂන් සභාවේ ධෛර්යය පිළිබඳ සම්මානය (2004), නැන්සන් සරණාගත සම්මානය (2005), ඕපස් ත්‍යාගය (2008), ගැටුම් වළක්වාලීමේ යුනෙස්කෝ ත්‍යාගය (2008), ගැටුම් වැළැක්වීමේ යුනෙස්කෝ ත්‍යාගය (2011), පිබිදීම හා මනුෂ්‍යත්වය සඳහා අරෝරා ත්‍යාගය.

මේසා මෙහෙයක් කළ මාග්‍රට් බැරන්කයිට් හට සිය ජීවිතය බේරා ගැනීමට 2015දී රටින් පළා යෑමට සිදුවිය. ඒ තෙවැනි වරටත් රටෙහි පාලන බලය ඉල්ලා ඡන්දයට ඉදිරිපත් වූ Pierre Nkurunzizaට එරෙහිව ප්‍රසිද්ධියේ විරෝධතා ව්‍යාපාරවලට නායකත්වය දුන් බැවිණි. Pierre Nkurunziza බුරුන්ඩි ජනාධිපතිවරයා ලෙස තෙවන වරටද පත්වූ පසු ඇගේ හිසට උඩින් නිබදව තුවක්කුවක් එල්ලෙමින් තිබිණි. එහෙයින් ඇය රුකවරණය පතා ප්‍රංශයට ගිය අතර නැවත බුරැන්ඩි සරණාගතයන් අනූ දහසක් වෙසෙන යාබද රුවැන්ඩාවට පිවිසියාය.

2017 මැයි මාසයේදී ඇය රුවැන්ඩාවේ බරන්කිට්ස් නගරයේ සරණාගත බුරැන්ඩි දරුවන් සඳහා Center Oasis of Peace නිකේතනය ආරම්භ කළාය. එය සරණාගත බුරැන්ඩි පාසල් ළමුන් සඳහා ක්ෂේම භූමියක් විය. වධහිංසා හා ස්ත්‍රී දූෂණවලට ගොදුරු වූවන්ට මානසික හා සමාජීය සහයෝගය ලබා දීම සහ සෞඛ්‍ය,අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, සංස්කෘතිය සහ ආදායම වැනි ක්ෂේත්‍රවල තිරසාර සංවර්ධනයේ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම මෙන්ම මෙම මධ්‍යස්ථානය ඉංග්‍රීසි භාෂාව, සූපශාස්ත්‍ර කලාව, මැහුම්, එම්බ්‍රොයිඩර් සහ පින්තාරු කිරීම ඇතුළු විවිධ විෂය මාලා කිහිපයක් ඉදිරිපත් කරයි. එහි අවන්හලක්ද ඇති අතර පර්යේෂණ සහ මූලික පරිගණක පුහුණුව සඳහා අන්තර්ජාල සම්බන්ධතා ඇති පරිගණකවලින් සමන්විත වේ. දිනකට 200කට ආසන්න පිරිසක් මෙම මධ්‍යස්ථානයට පැමිණෙන අතර මයිසන් ෂාලොම් විසින් සපයනු ලබන විවිධ සේවාවන්ගෙන් ප්‍රතිලාභ ලබති. තම මවුබිම නොවුණද මේ අභීත ගැහැනිය රුවැන්ඩා රාජ්‍යය සමඟ තම මවුබිමේ සරණාගත දූ පුතුන් වෙනුවෙන් සටන් කළාය. එහි ප්‍රතිඵලයක් ලෙස සරණාගත කඳවුරුවල සිටින ළමයින් වෙනුවෙන් රුවැන්ඩා රාජ්‍යය පෙර පාසල් ළමුන් 126ද ද්විතීයික පාසලේ 160ක්ද තම විද්‍යාලවලට බදවා ගත් අතර රුවන්ඩා විශ්වවිද්‍යාලවලට බැඳීම සඳහා විශ්ව විද්‍යාල මට්ටමේ සරණාගත සිසුන්ට ශිෂ්‍යත්ව353ක්ද විදේශයන්හි විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට හොඳම සිසුන් සඳහා ශිෂ්‍යත්ව 10ක්ද ලබා ගත්තාය. ඒ 2017 දීය.

[උපාලි ජයසිංහ]

මාතෘකා