සෞදියේ පිරෙන සව්දිය මැද ශ්‍රී ලංකාව | ඇස පාදන රැස


සෞදියේ පිරෙන සව්දිය මැද ශ්‍රී ලංකාව

 ඡායාරූපය:

සෞදියේ පිරෙන සව්දිය මැද ශ්‍රී ලංකාව

තිස් දෙහැවිරිදි මුහම්මද් බින් සල්මාන් කුමාරයා සවුදි අරාබියේ වත් පිළිවෙත් උඩු යටිකුරු කරමින් සිටියි. කාන්තා අයිතිවාසිකම් එකින් එක තහවුරු වන දිශාවට නීති ලිහිල් කිරීම හෝ නව නීති සම්පාදනය කිරීම කරමින් සිටින ඔහු සිනමාව, කලාව, සංගීතය ආදී ක්ෂේත්‍ර රැසක නිර්මාණවලට සෞදි අරාබියට පිවිසීමට මෙතෙක් පැවති වැටකඩුළු ඇර දමා තිබේ. වංචාවට සහ දූෂණයට වැට බැඳ, සුරක්ෂිත නූතනවාදී රටක් බවට සවුදි අරාබිය පත් කරමින් සිටියි.

ලෝක බොරතෙල් ශිෂ්ටාචාරය ක්‍රමයෙන් මළගම් යමින් සිටියි. එහි අවසානය අද හෙටම එළඹෙන එකක් නොවුණත් ඉදිරි වසර 40 ක පමණ කාලය තුළ එළඹෙනු ඇත. අභ්‍යන්තර දහන එන්ජින්වලින් උපදවන ජවය වෙනුවට, සූර්ය තාපයෙන් නිපදවන විදුලියෙන් හෝ වෙනත් ආකාරයකින් පණ ගැන්වෙන විදුලි මෝටර්වලින් ලබාදෙන චාලක ශක්තිය සහ ඉලෙක්ට්‍රොනික ක්‍රියාන්විතය සහිත රථ වාහන, ගුරුත්වජ ත්වරණය මගින් චලනය කෙරෙන වාහන, රික්තක කුටීරයක් හරහා අවම ප්‍රතිරෝධයකට මුහුණ දෙමින් අධික වේගයක් ගන්නා වාහන ආදී දෑ ප්‍රවාහන ක්ෂේත්‍රය ක්‍රමයෙන් අරක් ගනිද්දී, අනෙකුත් බළ ශක්ති අවශ්‍යතාවන්ටද බොරතල් දහනය වෙනුවට විකල්ප ක්‍රම ආදේශ වෙමින් පවතී.

උදාහරණයක් ලෙස ඇමරිකානු ආර්ථිකය 1997 - 2014 කාල සීමාව තුළ සමස්තයක් ලෙස 50% වර්ධනයක් හිමි කර ගත්තත්, 2014 සිට එරට කාබනික දහන ඉන්ධන ඉල්ලුම එහි පෙර පැවති අවමය වන 1997 වසරේ භාවිතාවේ ඉල්ලුමටත් වඩා අඩු අගයක් ගෙන ඇත. මෙය ක්‍රම ක්‍රමයෙන් තව දුරටත් අඩු වන දිශානතියට ගමන් කරන අතර මේ 2018 වසරත් - 2025 වසරේ ඇමරිකානු ධරණීය සංවර්ධන ප්‍රතිපත්ති බලාත්මක වෙන දිනයත් අතර තවත් 15% එම භාවිතාව අඩු වී යනු ඇතැයි අනුමාන කර ඇත.

ලන්ඩනයේ සිට ක්‍රියාත්මක Oil Depletion Analysis Centre (ODAC) නම් ආයතනයේ නිර්මාතෘවර ආචාර්ය කොලීන් කැම්බල් මහතා මේ පිළිබඳව හෙළිදරව් කළ තොරතුරුවලට අනුව මිනිස් වර්ගයා මෙතෙක් සමස්තයක් ලෙස බොරතෙල් බැරල "බිලියන 950"ක් පමණ නිපදවා ඇති අතර තවත් බොරතෙල් බැරල් බිලියන 765 ක් පමණ මෙතෙක් හඳුනාගත් තෙල් නිධි ආශ්‍රිතවද, බැරල් බිලියන 130 ක් පමණ මෙතෙක් හඳුනා නොගත් තෙල් නිධි ආශ්‍රිතවද මිනිස් පරිභෝජනය සඳහා ඉතිරිව තිබේ. නමුත් වත්මන් භාවිතයේ රටාවන් හමුවේ මේ සංචිතයන් මෙතෙක් දහනය කරන ලද සංචිතයන්ට වඩා ඉක්මණින් ක්ෂය වී යෑමද සිදු විය හැක්කකි.

මෙසේ බොරතෙල් ශිෂ්ටාචාරය යටපත් වී වෙනත් ශක්ති ප්‍රභව ඉස්මතු වීමත් සමග විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පාන්නට සිදු වන්නේ මැද පෙරදිග රටවලට බව මුලින්ම වටහා ගත්තේ සවුදි රාජ්‍යයට යාබදව පවතින එක්සත් අරාබි එමීර් රාජ්‍ය එකතුව සංවර්ධනය කිරීමෙහි ලා පුරෝගාමී කාර්ය භාරයක් ඉටු කළ "රෂීඩ් බින් සයිඩ් අල් මක්තුම්" නම් ෂෙයික්වරයාය. වාණිජ මට්ටමෙන් බොරතෙල් කැණීම් ඇරඹි යුගයේ පටන් තම රටට ගලා ආ විදෙස් විනිමය, සිය වැසියන් හුදු කාමසුඛල්ලික ජීවිත සන්තර්පණය සඳහා කා බී නැති නාස්ති කර දමනු හොඳින් නිරීක්ෂණය කළ ඒ ප්‍රඥාවන්ත නායකයා වරක් මෙවැනි ප්‍රකාශයක් කළේය:

" බොරතෙල් විනිමය අපට ලැබෙන්නට පෙර මාගේ සීයා ඔටුවකු පිට නැග ගමන් බිමන් ගියේය..... බොරතෙල් සඳහා මුදල් ගලා එන මූලික යුගයේ මගේ පියාට ලෑන්ඩ් රෝවර් ජීප් රියක ගමන් යාමට හැකි විය..... මා මේ මොහොතේ මර්සිඩිස් බෙන්ස් මෝටර් රියකින් ගමන් යමි.... නමුත් අප මෙලෙස අපට ලැබෙන ඒ මුදල්, සැප සම්පත් පරිභෝජනය සඳහා නැවත විදෙස්වලට දෝරෙ දැමීම දිගටම කරගෙන ගියහොත්, මගේ පුත්‍රයා ලෑන්ඩ් රෝවර් රියක් පදිනු ඇති අතර යම් දිනෙක ඔහුගේ පුත්‍රයා නැවත ඔටුවෙකු පිට නැගෙනු ඇත"

ඒ ප්‍රඥාවන්ත නායකයා එසේ තුන් කල් දකිමින් කීවේ බොරතෙල් ශිෂ්ටාචාරයේ අවසානය යම් කලෙක එළඹෙන විට හෝ තම රාජ්‍ය සතු තෙල් සම්පත අවසන් වන දිනයක මෙසේ ලැබෙමින් පවතින මුදල් සම්භාරය නව ආයෝජන මංපෙත් ඔස්සේ කළමනාකරණය කරගෙන නොතිබුණ හොත් සිය ජනතාවට අත්විය හැකි ඛේදජනක ඉරණම පිළිබඳව අනාවැකියකි.

එසේ අනාවැකි ඵල කිරීමෙන් නොනැවතුණු එතුමා, "ඩුබායි" නගර එමිරේටය සංචාරක සහ විනෝදාස්වාදය සඳහා කැප කෙරුණු, ලොව පුරා ඉහළ පන්තිවල සංචාරකයන් මුදල් වියදම් කර සැප විඳින්නටත්, ඒ සඳහා වෙන් වූ දේපළ මිලට ගන්නටත් එන කලාපයක් බවට පත් කළේය. "රාස්-අල්-කයීමා" එමිරේටය නිදහස් වෙළඳ කලාපයක් ලෙස සංවර්ධනය කළේය. "ෂාජා, අබුඩාබි" ආදී එමිරේටයන් ක්‍රීඩාවට, වෙළඳාමට, ප්‍රති ආයෝජනයට, දිගු කාලීන ආයෝජනයට ආදී වශයෙන් විශේෂිත කලාප ලෙස සංවර්ධනය කළේය. ක්‍රමයෙන් එතුමා මුළු මහත් එක්සත් අරාබි එමිරේට එකතුවම විවිධාංගික වූ ආයෝජනාවලියක් (Investment Portfolio) බවට පත් කළේය. අද මේ වන විට එම රාජ්‍ය එකතුව ඉදිරියේදී බොරතෙල් ශිෂ්ටාචාරය කඩාවැටුණත්, නොනැසිය හැකි ආර්ථික ශක්තියකින් යුතුව විවිධ වූ ක්ෂේත්‍රයන් ඔස්සේ නව ආදායම් උල්පත් පාදාගෙන ඇත.

සවුදියේ මුහම්මද් බින් සල්මාන් කුමාරයා මේ වන විට සවුදි අරාබිය සම්බන්ධයෙන්ද ගනිමින් සිටින්නේ මෙම පූර්වාදර්ශයයි. යම් දිනෙක, යම් මොහොතක සවුදියේ තෙල් ළිංවල නොකඩවා දැල්වෙමින් පැවති ගිනි දැල්ල නිවී ගියත් සවුදි අරාබි ජනයා හිඟමනට නොවැටෙන බවට වග බලා ගැනීම සඳහා එරට - සංචාරක කර්මාන්තය කිහිප ගුණයකින් ප්‍රවර්ධනය කර "ගවේෂක සංචාරය, අධ්‍යාපන සංචාර, විනෝදාස්වාදය සඳහා සංචාර" ආදී සංචාරක ක්ෂේත්‍රයේ උපක්ෂේත්‍ර රැසක ප්‍රබල ආර්ථිකයක් බිහි කිරීම - හැකිතාක් උපක්‍රමික විදෙස් ආයෝජන ලබා ගැනීම - රාජ්‍ය වියදම් අඩු කොට ඒ වෙනුවට රජයේ බලපෑම අවම කරන ලද විවෘත වෙළඳපොළ ක්‍රමවේදයක් හරහා සවුදි අරාබිය මැද පෙරදිග විචිත්‍රවත්ම සේවා ආර්ථිකය බවට පත් කිරීමට පෙර අපර දෙදිග සමාගම් දැවැන්තයන්ගේ ආකර්ෂණය දිනා ගැනීම යනාදි පියවර රැසක් සඳහා සිය දැක්ම මෙහෙයවමින් සිටියි..... මේ නව දැක්ම "Kingdom of Saudi Arabia - Vision 2030" හෙවත් "සවුදි අරාබි - 2030 දැක්ම" ලෙස මේ වනවිට ලෝ පුරා සුපතලව ඇත.

ශ්‍රී ලංකාව සහ තුන් බෑ ජටිලයෝ

මධ්‍යධරණී මුහුදෙන් පටන් ගෙන මලක්කා සමුද්‍ර සන්ධිය ඔස්සේ පැසිෆික් සාගරය තෙක් මාස්පතා ඩොලර් බිලියන 500 කට වඩා වටිනාකමින් යුත් භාණ්ඩ, සේවා, මූල්‍ය සේවාවන් සහ ආයෝජන අවස්ථා සංසරණය වෙති. මෙයින් - ජාත්‍යන්තර ගුවන් මාර්ග නිවැරදිව අධ්‍යයනය කරන්නේ නම් වාර්ෂිකව ගුවන් මගීන් මිලියන පහක් පමණ සහ ගුවනින් ප්‍රවාහනය කරන භාණ්ඩ ටොන් මිලියන නමයක් පමණ (IATA සහ Boeing 2015 - 2017 වාර්තා), (එහි ආර්ථික වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 338 ක් වේ.) - නෞකා මගින් ප්‍රවාහනය කෙරෙන භාණ්ඩ ටොන් බිලියන තුනක් පමණද (Review of Maritime Transport - 2016 - United Nations Conference on Trade and Development)

ශ්‍රී ලංකාව අවට ගුවනේ සහ මුහුදේ වාර්ෂිකව ප්‍රවාහනය කෙරෙති. මීට අමතරව ඩොලර් බිලියන 55 ක් පමණ වටිනාකම් සහිත සංචාරක කර්මාන්තයක්ද ශ්‍රී ලංකාවට පිහිටා ඇති ස්ථානය අවට පෙර-අපර දෙදිග සම්බන්ධ කරමින් ක්‍රියාත්මක වේ. (ශ්‍රී ලංකාවේ සමස්ත දළ ජාතික නිෂ්පාදනය 2016 වසර සඳහා ඩොලර් බිලියන 82 ක් පමණ වේ - මහ බැංකු වාර්තා) චීනය, තායිලන්තය සහ වියට්නාමය සතුව පමණක්, ඒ ඒ රටවල ධජයන් යටතේ ලියාපදිංචි කළ නෞකා 7,000 ඉක්මවා ඇත. මැදපෙරදිග රටවල් සතුව තවත් නෞකා 2,000 ක් පමණ ඇත. මේ නෞකාවලින් බහුතරයද ඇතුළුව නෞකා දහස් ගණනක් වාර්ෂිකව ශ්‍රී ලංකාව අවට නෞකා ගමන් මාර්ග භාවිතා කරමින්, පෙර - අපර දෙදිගට භාණ්ඩ, සේවා සහ මගීන් ප්‍රවාහනය කරති. (UNCTAD - 2016 )

මේ සියල්ලෙහි සෘජු සහ වක්‍ර ප්‍රතිලාභ - සංචාරක ගමනාන්තයන් ලෙස - සුප්‍රකට නෞකා තොටුපළවල් ලෙස (ගමනාන්ත සහ වෙනත් අරමුණු සඳහා පෝට් කෝල්ස් සිදු කරන) - ගුවන් ගමනාන්තයන් සහ සැපයුම්, සේවා මධ්‍යස්ථානයන් ලෙස මෙතෙක් කල් නෙළා ගනිමින් සිටියේ ශ්‍රී ලංකාව සමග රේඛීය පථයක යා කළ හැකි සිංග්ගප්පූරුව සහ ඩුබායි ආදී එමිරේට එකතුවයි. ඈත පෙරදිග හොංකොංහි වික්ටෝරියා තොටමුණ ආදියද, තායිලන්තයද, මැලේසියාව සහ ඉන්දුනීසියාවද ඊට වඩා අඩු සුවිශේෂී බලපෑම් සහිතව මේ සියල්ලට වඩා විශිෂ්ට අයුරින් පෙර-අපර දෙදිගයේ ස්ථාන ගතවී තිබෙන ශ්‍රී ලංකාවට වඩා තරඟකාරීව ඉහත කී ආර්ථිකයේ ඵල නෙළා ගත්හ.

කලාපයක් ලෙස මෙය හඳුන්වන්නේ නම් මහජන චීනය විසින් හඳුනාගෙන තිබෙන "වන් රෝඩ්, වන් බෙල්ට්" ( One Road - One Belt Initiative) නම් නාවික ගමනාගමන මාර්ග භාරය ආශ්‍රිත රටවල් වන අතර, එම කලාපය හරහා සංචරණය වන දැවැන්ත මූල්‍යමය වටිනාකම ඩැහැගැනීම සඳහා මේ රටවල් ඉදිරිපත් වන්නේ තරඟකාරීවය. ශ්‍රී ලංකාව දෙපසින් මෙම මාර්ගයෙහි ඩුබායි සහ සිංග්ගප්පූරුව ආර්ථික මර්මස්ථානයන් වශයෙන් නැගී සිටියදී - ආකල්පමය පසුගාමීත්වය නිසා - වාර්ගික සහ දේශපාලනික සිවිල් යුද සහ අරගල නිසා - අනාරක්ෂිත, අස්ථාවර රටක් ලෙස ලොව ප්‍රකට වීම නිසා - මානව හිමිකම් කඩ කිරීමේ අවස්ථා රාශියක් පිළිබඳව ලොව වටා වාර්තා පිට වාර්තා නිකුත් වීම හේතුවෙන් ලෝකයේ ප්‍රධාන ආයෝජකයන් සංස්ථාපිත ආචාරධර්ම හේතුවෙන් මෙරට ආයෝජනය කරන්නට ඉදිරිපත් නොවීම නිසා - ජරාජීර්ණ දේශපාලනය, වංචා සහ දූෂණ සඳහා කුප්‍රකට සමාජයක් වීම නිසා - ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් සඳහා මෙන්ම එයට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සිදු කළ යුතු සාමාජීය, සංස්කෘතික වෙනස් කම් නිසි පරිදි සිදු නොවීම නිසා - බුද්ධි ගලනය නිසා - විද්‍යාත්මක මතවාදයන් වෙනුවට ආගමිකත්වයට මුල් තැන දීම නිසා යනාදී කරුණු රැසක් හේතුවෙන් ශ්‍රී ලංකාවට ඒ අවස්ථා සියල්ල අහිමි විය.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ශක්‍යතාව බෙහෙවින්ම පැවතියේද, පවතින්නේද, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම මත නොව සේවා ආර්ථික වර්ධනයක් කෙරෙහි යොමුවීම මත බව නිසි ලෙස වටහා ගැනීමට ශ්‍රී ලාංකිකයන් නිදහසෙන් පසුව ගත වූ වසර 70 තුළ අපොහොසත් වූහ. එමෙන්ම එබන්දකට අවශ්‍ය ලිබරල් ආර්ථික සහ සංස්කෘතික පදනම සකස් කිරීම කෙසේ සිදුවිය යුතුද යන්න අවබෝධ කර ගැනීමටත් මෙරට බහුතරයක් අපොහොසත් වූහ.

හුදු අහේතුක බටහිර විරෝධය විදේශීය සමාගම් කෙරෙහි සහ ආයෝජකයන් කෙරෙහි මෙරට නූගතුන් විසින් වගා කරන ලද "මතිභ්‍රමිකතාවය",( Paranoea), උගතුන්ගේ වාමාවර්තී චින්තනය, සහ සාම්ප්‍රදායික ආගමික සම්මුතීන් විද්‍යාත්මක අභියෝගයන්ගෙන් තොරව අන්ධ ලෙස කරපින්නාගෙන සිටීම මේ ගමනට ඇවැසි ජවය ශ්‍රී ලංකාවට සැපයීමට විශාලතම බාධක ලෙස අද හඳුනාගැනීමට පිළිවන.

සිංග්ගප්පූරුව, ඩුබායි ආදී අනෙකුත් නිදහස් කලාපයන් ශ්‍රී ලංකාව අබිබවා දැනටම වට ගණනාවක් දුවා අවසන් කර ඇති අතර සවුදි අරාබිය ආර්ථික වශයෙන් අතිශය ශක්තිමත් පදනමක සිටගෙන නූතනත්වයේ පාවහන් පළඳිමින් ක්‍රමයෙන් සිය ධාවනය ආරම්භ කරමින් සිටිති. තව ඉතාම කෙටි කලකින් සවුදි අරාබිය සමස්ත  කලාපයේම සංචාරක, ප්‍රවාහන ආදී ක්ෂේත්‍රවල දැනට පවතින මර්මස්ථාන වලටත්, අනාගතයේ ඉස්මතු වීමට පතන මර්මස්ථානවලටත් තරඟකාරී වාසිය නම් පරිචින්නයෙහි විශාල අභියෝගයක් වනු ඇත.

ශ්‍රී ලංකාව ඉතාම කෙටි කලක් තුළ මේ සියලු තත්වයන් පිළිබඳව පූර්ණාවබෝධයක් ලබාගෙන නව ජවයකින් සහ උපක්‍රමශීලි බවකින් යුතුව මේ අභියෝගයන්ට මුහුණ දීමට සූදානම් විය යුතුය. නො-එසේ නම් මැද පෙරදිග, ආසියාතිකරය සහ අප්‍රිකානු කලාපවල ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් ශ්‍රී ලංකාවට සංවර්ධනය කරා යෑමට තිබෙන අවසන් බලාපොරොත්තුද ක්‍රමයෙන් ආක්‍රමණය කර ඩැහැගනු නියතය.

මීළඟ කොටසෙන් අප ශ්‍රී ලංකාවට තරඟ කිරීමට සිදු වන "ව්‍යාඝ්‍ර ආර්ථිකයන්" (ආසියාව), "සිංහ ආර්ථිකයන්" (අප්‍රිකාව) සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට මහජන චීනයේ බලපෑම ගැන සාකච්ඡා කරමු.

[දමිත් කේතක]

මාතෘකා