සොච්චමෙන් වැඩ දමා ඔස්කාර් දිනූ හැටි

 ඡායාරූපය:

සොච්චමෙන් වැඩ දමා ඔස්කාර් දිනූ හැටි

 

Dallas Buyers Club” සිනමාපටය ගැන ඔබ අසා ඇති. 2013 වසරේ නිකුත් වූ මෙම සිනමා නිර්මාණය සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූවක්. 1980 දශකයේ ඇමෙරිකාවේ ඩලස්හි ජීවත් වූ Ron Woodroof නමැති ඒඩ්ස් ආසාධිත රෝගියකුගේ සත්‍ය ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ මෙය ලෝකයේම ප්‍රේක්ෂක අවධානය දිනූ සිනමාපටයක්. වැදගත්ම කාරණාව වෙන්නේ ඉතාම අඩු මුදලකින් නිෂ්පාදනය කළ මෙම නිර්මාණය ලෝ ප්‍රකට සිනමා සම්මාන ගණනාවකින් පිදුම් ලැබීමයි.

මෙම සිනමාපටයේ වේස නිරූපණ කටයුතු වෙනුවෙන් සම්පූර්ණයෙන් වෙන් කළ මුදල වූයේ ඇමෙරිකන් ඩොලර් 250ක්. දින 28ක කාලයක් රූගත කළ සිනමාපටයේ ප්‍රධාන නළු නිළියන්ගේ මෙන්ම අතිරේක චරිත නිරූපනය කළ සියලු දෙනාගේ පවා වේස නිරූපණ කටයුතු ඒ මුදලින් පියවා ගැනීමට සිදුව තිබුණා. හොලිවුඩ් සිනමාපටයක වේස නිරූපණ හෝ ඕනෑම අංශයකට වෙන් කරන මුදල සංසන්දනාත්මකව බැලුවොත් මෙය සොච්චමෙනුත් සොච්චමක් ලෙස සැලකිය යුතු තරමේ අඩු මුදලක්. නමුත් එක්තරා වේස නිරූපණ ශිල්පිනියක් මෙම අභියෝගය බාර ගත්තා. ඇය Robin Mathews. මේ තරම් අඩු පිරිවැයක සිනමාපටයක වේස නිරූපණ අංශය බාර ගත් ඇය ඒ වන විටත් ප්‍රවීණ වේෂ නිරූපණ ශිල්පිනියක්. Into the wild, Deja vu, The twilight saga - eclipse ආදී සිනමා නිර්මාණ ගණනාවකට ඇය සිය දායකත්වය ලබාදී තිබුණා.

කෙසේ හෝ වෙන් කළ මුදලින් ඇය තමන්ගේ රාජකාරිය ඉටු කළා. අපහසුම කාර්යය වුණේ තිර පිටපතට අනුව සිදුකළ යුතු වෙනස්කම් බහුලව තිබීමයි. මෙහි ප්‍රධාන චරිත නිරූපනය කළේ Matthew McConaughey, Jennifer Garner, Jared Leto ආදී ප්‍රවීණ නළු නිළි පිරිසක්. විශේෂයෙන්ම එච්.අයි.වී. ආසාධිතව සිටින ප්‍රධාන චරිතවල සමීප රූප ආදිය ඉතා හොඳින් සහ අංගසම්පූර්ණ ලෙස වෙස් ගැන්විය යුතු වුණා. ඇතැම් දිනකට පස් හය වතාවක් පමණ එකිනෙකට වෙනස් වෙස් ගැන්වීම් සිදුකළ යුතු වුණා. නමුත් අවසානයේ සියල්ල පරිපූර්ණ ලෙස අවසන් කරන්නට Robin Mathews සමත් වුණා.

ඇය තමන්ට පැවරුණු කාර්ය ගැන පවසා තිබුණේ මෙවැන්නක්. "මේ තමයි මම මෙතෙක් වැඩ කළ අඩුම වියදම් දරපු සිනමාපටය. කොටින්ම කිව්වොත් සිනමාපටයේ ප්‍රධාන නිෂ්පාදිකාව වුණු Robbie Brenner සමහර වෙලාවට තමන්ගේ පෞද්ගලික ක්‍රෙඩිට් කාඩ්පත පාවිච්චි කරලා තමයි අපිට කෑම බීම ටික පවා ගෙනාවේ."

මේ ආකාරයෙන් සිනමාපට ලංකාවේ හැදෙනවා කියා අසා, දැක තිබුණත් හොලිවුඩයේ මෙවැනි නිෂ්පාදන සිදුවෙනවාද කියා ඇසීමත් විටෙක පුදුමයක්. වෙනස ඇත්තේ ඔවුන්ගේ නිර්මාණශීලීභාවයේ. කෙසේ හෝ සිනමාපටය අතිශය සාර්ථක වෙනවා. අවසානයේ මෙම නිර්මාණය 2014 වසරේ ඔස්කාර් සම්මාන උලෙළේදී සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබනවා. හොඳම නළුවා ලෙස Matthew McConaughey සම්මාන දිනුවා. හොඳම සහාය නළුවා ලෙස Jared Leto සම්මානය දිනුවා. අවසානයේ ඩොලර් 250කින් සියලු make up වැඩ දැමූ Robin Mathews හොඳම අංගරචනය ( Best Achievement in Makeup and Hairstyling ) වෙනුවෙන් වූ ඔස්කාර් සම්මානය දිනාගත්තා. අවසානයේ ඩොලර් මිලියන පහක් වැනි අවම මුදලකින් නිෂ්පාදනය කළ Dallas Buyers Club සිනමාපටය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් බිලියන ගණනක වත්කම් උපයන්න සමත් වුණා. ඩොලර් දෙසිය පනහකින් වුවත් නිර්මාණශීලී යමක් කළ හැකි බව Robin Mathews සිනමා ලෝකයටම ඔප්පු කළා.

 

 

[අයේෂ් ලියනගේ]

News Order: 
3
මාතෘකා