ප්‍රවේශම් විය යුත්තේ කොරොනාවලට විතරද?

 ඡායාරූපය:

ප්‍රවේශම් විය යුත්තේ කොරොනාවලට විතරද?

නව කොරොනා වෛරසය ආසාධිත පළමු රෝගියා පසුගිය 27 වැනිදා වන විට ශ්‍රී ලංකා‌වෙන් සොයා ගැනුණු අතර ඒ වන විටත් ශ්‍රී ලංකාව තුළ කොරොනා වෛරසය පිළිබඳ යම් මට්ටමක සාකච්ඡාවක් ඇති වී තිබුණි. අදාළ කාන්තාව චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව මේ වන විට අපට හුදු ප්‍රවෘත්තියක් නොවී තොරතුරක් පමණක්ම බවට පත්ව ඇත.

කොරොනා වෛරසයට මුහුණ දීම වෙනුවෙන් චීනය කොරොනා වෛරසය ශරීරගත වී ඇතැයි සැක කෙරෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා චීනයේ වූහාන් (Wuhan) නගරයේ දින හයක් ඇතුළත රෝහලක් ඉදිකිරීමට පියවර ගෙන ති‌බෙන බවටත් වාර්තා වෙයි. 2003 වසරේ සාර්ස් වෛරසය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් බීජිං නුවර මේ හා සමානම රෝහලක් ඉදි කරනු ලැබිණි. එසේම චීනයේ මහජන විමුක්ති හමුදාවට අයත් වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ සාමාජිකයන් 150 දෙනෙක් වූහාන් නගරය වෙත ළඟා වූ බව චීනයේ 'ග්ලෝබල් ටයිම්ස්' පුවත්පත සිකුරාදා (ජනවාරි 24) තහවුරු කළ බව බීබීසී සිංහල වෙබ් අඩවිය පසුගියදා වාර්තා කර තිබුණි.

කොරොනා ගැන එසේ කතා කළත් ශ්‍රී ලංකාවේ නම් මේ නව කොරොනා වෛරසය ගැන කතා කරන්නට මත්තෙන්ම තවත් වෛරස් බවට ක්ෂේත්‍ර කිහිපයක්ම හඳුනාගත හැකි විය. එහි ප්‍රමුඛත්වය හිමි වූයේ මෙරට දේශපාලන ක්ෂේත්‍රය සහ මාධ්‍යය ක්ෂේත්‍රයයි. දේශපාලන ක්ෂෙත්‍රයේ වෛරස් ආසාදන මර්දනය කිරීම වෙනුවෙන් මහජන ඡන්ද පැවැත්වෙන නමුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ වෛරස් ආසාදන වෙනුවෙන් යොදාගත හැකි ප්‍රතිදේහ මෙරට බිහිව තිබෙනවාද යන්න මේ වන විටත් උභතෝකෝටික ගැටලුවක් බවට පත්ව ඇත.

විශේෂයෙන්ම මීට දින කිහිපයකට පෙර ෆේස්බුක් ඇඩ්මින්වරයෙකු තමන්ගේ හිතළුවක් ලෙස ඉදිරිපත් කළ මුහුණු ආවරණ (ෆේස් මාස්ක්) පැළදීමේ නිවැරදි ක්‍රමය යැයි පැවසූ පැරඩියට හෝයියට උඩ තියාගෙන දිවූ ආකාරය ඊට හොඳම නිදසුනයි. ෆේස්බුක් දේවත්වයෙන් සලකන මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතනය කිහිපයක්ද මේ පැරඩියට ලබා දුන්නේ අසීමාන්තික ප්‍රචාරයකි. නමුත් ඒ අසත්‍ය ප්‍රචාරය නිවැරදි කරන්නට මුහුණු ආවරණ පැරඩියට විශාල ප්‍රචාරයක් ලබා දුන් මාධ්‍ය ආයතන කටයුතු කළ බවක් නම් දකින්න‌ට තිබුණේ නැත. ඒ මෑත කාලයේ දක්නට ලැබුණු අපේ ප්‍රධාන ධාරවේ මාධ්‍ය ආයතන විසින් සිදු කළ අසත්‍ය තොරතුරු ආශ්‍රයෙන් සිදු කළ එක් ප්‍රචාරයක් පමණි. මේවාට උදාහරණ නම් කප්පරක් ඇත.

එසේම මෑත කාලීනව තවත් සිදුවීමක් අරබයා කන මකුණන් සහ නොකන මකුණන් සියල්ලට තලන්නට අපේ රටේ මාධ්‍ය කටයුුතු කළ ආකාරය ජුගුප්සාජනකය. ඒ යාපනය සරසවියේ වෛද්‍ය ශිෂ්‍යාවක ගෙල කපා මරා දැමීමේ සිද්ධියයි. අදාළ ඝාතනයේ සැකකරු යුද හමුදා සෙබළෙකු වූ අතර සැකකරුගේ රැකියාව අපේ මාධ්‍ය වෘත්තිකයින්ට රසමසවුළක්ම විය. ඒ රසමසවුළ අපේ රටේ ඇතැම් මාධ්‍ය ආයතන තලු මරමින් වැමෑරූ හැටි හොඳින් ප්‍රදර්ශනය විය. මේ ඝාතනයට ලක්වූ වෛද්‍ය ශීෂ්‍යාව තව කොපමණ වරක් මාධ්‍ය විසින් මරාදමනු ඇද්දැයි කිසිවෙකුට හෝ නිශ්චිතව කියන්නට නොහැක. ඒ යාපනයේ ශිවලෝගනාදන් විද්‍යාට, කොටදෙණියාවේ සේයා සදෙව්මිට, සේයා සදෙව්මි ඝාතනයේ සැකපිට අත්අඩංගුවට ගැනුණු පාසැල් සිසුවාට අපේ රටේ මාධ්‍ය සැලකූ ආකාරය අපට තවමත් හොඳට මතක නිසාය.

අදාළ සරසවි ශිෂ්‍යාව ඝාතනය කළ සැකකරු යාපනයේ වැසියන් විසින්ම අල්ලා පොලීසියට බාර දුන් නිසා ඇති වෙන්නට ගිය, ඒසේත් නැත්නම් ලේ රස සොයන අපේ රටේ මාධ්‍ය ඇති කරන්නට තිබූ විශාල ව්‍යසනයක් වැළකී ගිය බව නම් කිව යුතුමය. සැකකරු මෙම ඝාතනයෙන් පසු අත්අඩංගුවට පත් නොවූයේ නම් ඒ සිද්ධිය තවත් ජාතිවාදී ගැටුමක් රට තුළ ඇති කරන්නට හොඳටම ප්‍රමාණවත්ය. එවැනි ගිනි ඇවිලෙන තැන්වලට පිදුරු දමන්නට අපේ රටේ ඇතැම් මාධ්‍ය උපන් හපන්කම් කියන්නේය. මෙය සමස්තයටම අදාළ නොවුණත් මෙහි කෙළපැමිණියන්ද සැලකිය යුතු ප්‍රමාණයක් මාධ්‍ය ආයතන තුළ දැකිය හැකිය.

මේ සරසවි ශිෂ්‍යාව ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදා සෙබළාට චෝදනා එල්ල වීමත් සමඟ අපේ රටේ මාධ්‍ය බහුතරයක් සමස්ත යුද්ධ හමුදාවටම චෝදනාත්මකව ඇඟිල්ල දිගුකරමින් කටයුතු කළ ආකාරය දක්නට ලැබුණි. මේ සිදුවීම එක් නොහික්මුණු පුද්ගලයෙකුගෙන් සිදු වූවක් මිසෙක ඊට සමස්තයම ඈඳා ගැනීම කොතරම් සාධාරණද යන්න සිතා බැලිය යුතුය.

මෙලෙස කන නොකන සෑම මකුණෙකුටම තැලීමේ ක්‍රමවේදය මෙරට මාධ්‍ය ආයතන ආරම්භ කළේ මෑතකදී නොවේ. මේ පිළිබඳ සිදුවීම් සුලබය. ඇතැම් විට අපේ රටේ මාධ්‍ය ආයතන තම ප්‍රවෘත්තියට වැඩි ආකර්ෂණයක් ඇති කර ගැනීම වෙනුවෙන් සිද්ධියට අදාළ පුද්ගලයින්ගේ රැකියාව සඳහන් කිරීමට බොහෝ අවස්ථාවල පෙළඹෙනු දැකිය හැක. එහිදී ඔවුන් සුරූපි නිළිය, දොස්තර සැමියා, ඉන්ජිනේරු පෙම්වතා ආදිය යොදා ගනිමින් තමන්ගේ ප්‍රවෘත්තියට වැඩි ආකර්ෂණයක් ලබා ගැනීමට කටයුතු කරනු දැකිය හැක. නමුත් මේ මාධ්‍ය ආයතන තම සහෝදර මාධ්‍යවේදීන් සිදු කරන වැරදිවලදී මාධ්‍යවේදී පෙම්වතා, ගංජා පානය කළ මාධ්‍යවේදියා ආදී යෙදුම් යොදාගන්නා අවස්ථා අප කිසිවෙකුත් දැක නැත. ඔවුන් ඒ කියන්නට උත්සාහ කරන්නේ අනෙක් වෘත්තීන්වල යෙදෙන බහුතරය සමාජ විරෝධී ක්‍රියාවන්වල යෙදුණද මාධ්‍යවේදීන් බොහෝ නිවුණු ගතිපැවතුම් ඇත්තවුන් බවද?

ඔවුන් සිහි තබා ගත යුතු කාරණයක් ඇත. එනම් ඔවුන් මේ අනෙකුත් වෘත්තීන්වලට නිගා කරන්නේ, ගල් ගසන්නේ වීදුරු ගෙවල්වල සිටිමින් බව අමතක කර තිබෙන බවය. එසේම අවසාන වශයෙන් කියන්නට තිබෙන්නේ කොරොනා වෛරසයට ප්‍රතිචාර දැක්වීමට ප්‍රතිදේහ සොයාගන්නවා වාගේම සමාජයට අහිතකර තවත් වෛරස් වෙනුවෙන් යුහුසුලුව ප්‍රතිදේහ සොයාගත යුතුව තිබෙන බවය.

වෙඩික්කාරයා

News Order: 
1
මාතෘකා