ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන්

 ඡායාරූපය:

ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන්

ක්‍රීඩාවෙන් ක්‍රීඩකයකුට ලැබෙන්නේ ජය, පැරදුම්, කීර්ති ප්‍රශංසාදිය පමණක්ද? බාහිරව බලන අයකුට ක්‍රීඩකයකු ජීවිතය සුන්දර යැයි පෙනුනද ක්‍රීඩාවෙන්ම ලැබෙන උරුමයක් ලෙස ඔවුන් ශරීරාබාධවලට ගොදුරු වෙයි. අද අහස් ගඟේ ලියවෙන්නේ ශරීරාබාධ රැසක් තිබියදීත් ඒවා විඳ දරාගනිමින් ක්‍රීඩා කර ඔලිම්පික් පදක්කමක් දිනූ ක්‍රීඩිකාවක් පිළිබඳවය.

ඇයගේ නම එමී විලියම්ස්ය. ප්‍රකට බ්‍රිතාන්‍ය ස්කේලටන් ක්‍රීඩිකාවක වන ඇය 2010 වසරේ කැන්ඩාවේ වැන්කුවර්හි පැවති සීත සෘතු ඔලිම්පික් උලෙළේදී එම ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත්තාය. එමෙන්ම ඇය සීත සෘතු ඔලිම්පික් උලෙළකදී තිස් වසරකට පසු බ්‍රිතාන්‍යයට රන් පදක්කමක් දිනා දුන් ක්‍රීඩිකාවද වෙයි.

එමී උපත ලැබුවේ එංගලන්තයේ කේම්බ්‍රිජ්හිදීය. බාත්හි හැදී වැඩුණු ඇය හයිස්ෆිල්ඩ් කාර්මික විද්‍යාලයෙන් සහ බීචන් ක්ල්ෆ් පාසලෙන් අධ්‍යාපනය ලබා බාත් සරසවියෙන් උපාධිය හිමිකර ගත්තාය. එමී මුලින්ම මීටර් 400 ක්‍රීඩිකාවකි. අවාසනාවට මලල ක්‍රීඩා අංශයෙන් ජාතික කණ්ඩායමට තේරී පත්වීමට නොහැකි විය. 2002 වසරේ බාත් සරසවියේ අධ්‍යාපනය ලබන අතරතුර ඇය ස්කේලටන් ක්‍රීඩාවට යොමුවිය. ටියුරින්හි පැවති 2006 වසර සීත සෘතු ඔලිම්පික් තරගාවලියට ඇය සුදුසුකම් නොලද අතර 2010 වසරේ සීත සෘතු ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබුවාය.

පෙර පැවසුවාක් මෙන් එමී රන් පදක්කමක් කරා පැමිණෙන්නේ පහසු මාවතක නොවේ. ඇය සිය ජයග්‍රහණය ලබා කලකට පසු තමා අත්විඳි වේදනාවන් හා ඉන් ලැබූ ජයග්‍රහණ පිළිබඳව ඉන්ඩිපෙන්ඩන්ට් සඟරාව සමඟ පැවසුවාය.

එමී දිගු කලක් කොඳු ඇට පෙළේ ආබාධයකින් පෙළුනාය. ඒ වරක් නැඟෙනහිර ජර්මනියේ ඇල්ටර්න්බර්ග් ධාවන පථයේදී තැටිය මත ලිස්සා යෑමේ ප්‍රතිඵලයක් ලෙසය.

‘ඔලිම්පික් ක්‍රීඩා උලෙළට යන විටත් මට නැමී සිටිය නොහැකි වුණා. මට දැනුණේ මගේ පිටුපස ප්‍රදේශයේ නැහැ වගේ. මා රැඳී සිටියේ මට භාවිත කිරීමට අවසර දුන් වේදනානාශක මතයි. ඒ තරගය ගැන සිතුවේ මෙහෙමයි. ඔබට පෙර සිටි තත්ත්වයට 100%ක් ආපසු එන්න බැහැ. ඒත් ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන්.

වේදනාව යනු බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජීවිතයේ අනිවාර්ය උරුමයකි. එමීගේ තත්ත්වයද ඊට වෙනස් නොවිණි. ඇගේ කොඳු ඇට පෙළ ආබාධයට ලක්වූවා මෙන්ම ඇගේ දණහිස්ද නිරන්තරයෙන් ආබාධයට ලක්විය. කාටිලේජ නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ඇයගේ දණහිස් සිව්වරක්ම සැත්කමට බඳුන් කර තිබිණි.

‘මම ජිම් එකේ ඉන්නකොට මගේ දණහිස් පැන්නා. ඔවුන් මගේ අස්ථිය කපලා දණිස්පොල් කටුව එළියට ගත්තා. ඒවා හරහට දමා නැවත පෑස්සුවා.’

ඇයට නැවත සුවය ලැබීමට ගතවූ මාස අටක කාලය දුෂ්කර කාල සීමාවක් විය. ‘පූර්ණ කාලීනව භෞත චිකිත්සකවරයකුගේ සහාය නොලැබුණත් උපකාර ලැබෙන වෙනත් මාර්ග විවර වුණා. වෛද්‍යවරයකුගේ අධීක්ෂණය මත පුහුණකරුවෙක්ගේ උපදෙස් මත මම කටයුතු කළා. රෝගී වීමෙන් පසු පළමු පියවර තැබීමට එතරම් පහසු වුණේ නැහැ. ලෝකයේ වඩාත්ම අපහසු දේ වන්නේ ඔබේ සිතිවිලි අවදි කිරීමයි.’

සැත්කමින් පසු උදාවූයේ නිදහස් කාල සීමාවකි. එහෙත් එය දුෂ්කර කාල සීමාවක් විය. ‘ඔබ කිහිළිකරු භාවිත කරමින් පඩිපෙළ බසිද්දී කණ්ඩායමේ සාමාජිකයන් ව්‍යායාම ශාලාවේ පුහුණුවීම් කරන අයුරු ඔබට පෙනනවා. එය මානසික පීඩනයක්. මම මගේ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ට වඩා වැඩිපුර පැයක කාලයක් ගතකර මගේ වැඩ කටයුතු සැලසුම් කළා. වඩාත් වැදගත් වන්නේ ඔබව ඉදිරියට ගෙන යන මඟක් සොයා ගැනීමයි.

එමී මෙවන් දුෂ්කරතා මත ඔලිම්පික් පදක්කම ලබා මාස කිහිපයකින් ඔලිම්පික් ක්‍රීඩාවෙන් සමුගත්තාය. එහෙත් ඇය නිරතුරුවම අභියෝග බාරගත්තාය. ලන්ඩන් ඔලිම්පික් උලෙළේ ගිනිසිළුව රැගෙන යෑමට ඇයට බාරවූ අතර දණහිස් රිදුම් දෙද්දිත් ඇය එම කාර්ය සාර්ථකව ඉටුකළේය. විවාහයද ඇයට අභියෝගයක් විය. ’මං හිතුවේ අල්තාරය දෙසට දේවස්ථානය මැදින් ගමන් කිරීමට මට නොහැකි වෙයි කියා. එදා මට නටන්න පුළුවන් වුණේ නැහැ. ඒත් අඩුම තරමින් මට කිහිළිකරු පාවිච්චි කරන්නේවත් නැතිව ඉන්න පුළුවන් වුණානේ.’

ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු ඇය රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක සහ ක්‍රීඩා වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස කටයුතු කරයි. එමෙන්ම ඇය දැන් එක්දරු මවකි.

එහෙත් තවමත් ඇගේ ශරීරය සහ දණහිස් විටින් විට රිදුම් දෙයි. කෙටි දුරක් හෝ ගමන් කිරීමට අපහසුය. අනාගතයේ දිනක කෘත්‍රිම දණහිසක් බද්ධ කිරීමට සිදුවන බවද ඈ දනී.

ඔබට මේ සියලු දෙය වටිනවාද? අවසන් වශයෙන් මාධ්‍යවේදියා එමීගෙන් විමසයි.

‘ඔව්. රුධිරය, දහදිය, කඳුළු හා වේදනාවෙන් පසුව පදක්කම ඔබේ අතේ ඇතිවිට එය සියලු දේට වඩා වටිනවා. වේදනාවත් එක්ක ගත කරන ජීවිතය හරි අපහසුයි. ඒත් එය ක්‍රීඩාවේම කොටසක්. කාලයක් යද්දී ඔබ එය සමඟ ජීවත්වීමට පුරුදු වෙනවා ව‍ගේම ඒ මඟ ඔස්සේ යමින් අන්‍යයන්ට උදවු කිරීමටද ඔබ ඉගෙන ගන්නවා ඇති. නවක ස්කේලටන් ක්‍රීඩකයන්ට මගේ දැනුම බෙදා දීමටත් මම සූදානම්"

මාතෘකා