සුධාරට ගණිත පාඩම එපා වූයේ ඇයි?

 ඡායාරූපය:

සුධාරට ගණිත පාඩම එපා වූයේ ඇයි?

ඉගැන්වීම්, ඉගෙනීම් ක්‍රියාවලියේදී පාසලක් තුළ ඇතිවන ගැටලු විවිධාකාරයි. ඒවා ගුරුවරුන්‚ සිසුන් අතර ඇතිවන ගැටලු‚ පරිපාලන ගැටලු,‚ විෂය ගැටලු,‚ නිවාඩු ගැටලු,‚ තර්ජන කිරීම්

ගහ බැණ ගැනීම් පිළිබඳ ගැටලු‚ වශයෙන් විදුහල්පතිවරයකුගේ හිසට වධ දෙන්නේ ඉතාම නරක විදියට.

සුධාර 6 වැනි වසරේ ඉගෙන ගන්නා දරුවෙක්. එයාගේ අම්මා මා හමුවන්නට කලබලයෙන් වගේ පැමිණියේ ඒ වගේ ගැටලුවක් රැගෙනයි.

“බලන්න සර් මගේ පුතා ඉස්කෝලෙ යන්න බැහැ කියනවනේ....”

“මොකද ඒ කවුරුවත් එයාට හිංසාවක්වත් කළාද?”

සුධාරගෙ අම්මා කතා නැතිව ඇගේ අතේ තිබුණු එක්සයිස් පොත මා වෙත දිගු කළා. එය සුධාරගේ ගණිතය වැඩ පොත. එය හරවා බලද්දී මට ඇස් අදහා ගන්න බැරුව ගියා. එයාගේ පොතේ තිබූ සියලුම ගණන්වල පිළිතුරු මත ලොකු කතිරය බැඟින් දමා තිබුණා. එත් ඒ පිළිතුරු සියල්ල නිවැරදි ඒවා බව වඩාත් හොඳින් පරීක්ෂා කරද්දී මට තේරුම් ගියා. මේක හරිම පුදුමයක්.

මම අම්මා පිටත් කර යවා පසු දිනක සුධාර හමුවී මේ ගැන ඔහු සමඟ කතා කළා.

“පුතා වෙනදා ගණිතයට දක්ෂ ළමයෙක් නේද?” සුධාර කිසිවක් නොකියා සිට පසුව කතා කළා.

“මම ගණිත සර්ට බයයි සර්. එයා හරිම සැර පරුෂයි. පොඩි වරදකට වුණත් ළමයින්ගේ කනින් අල්ලා සොලවනවා. දවසක් මගේ කනෙන් අල්ලා සොලවලා කම්මුලටත් පාරක් ගැහුවා. මම එයාට බයයි සර් මම එයාව පිළිකුල් කරනවා.”

සුධාරට කලින් ගණිතය ඉගැන්වූ ශානිකා මිස් වෙනත් පාසලකට මාරු වී ගිහින්. දැන් ගණිතය උගන්වන මාරසිංහ තරමක සැර ගති ඇති කෙනකු බව මට සිහිවුණා. මා ඔහුට ඒ ගැන අවවාද කරලත් තිබුණා.

හේතුව දැන් පැහැදිලියි. ගුරුවරයකුට තම භූමිකාව සාක්ෂාත් කර ගැනීමට විෂය දැනුම පමණක් තිබුණට මදි. ඔහු ළඟ මානුෂික ගුණධර්මත් ප්‍රගුණ වෙලා තියෙන්න ඕනෑ. එවා සිසුවකු තුළ විෂයට හා පාසලට ඇල්මක් ලැදියාවක් ඇතිවෙන්ට සිසුන් පොලඹවනසුලු සාධක.

මේ සම්බන්ධ වැදගත් න්‍යායක් අධ්‍යාපන විද්‍යාවේ සඳහන් වෙනවා. එය හඳුන්වන්නේ සම්භාව්‍ය ආරෝපණ න්‍යාය (Classical Conditional Theory) කියලා. මේ න්‍යාය ඉදිරිපත් කරලා තියෙන්නේ ඉවොන් පැව්ලොව් කියන රුසියානු මනෝවිද්‍යාඥයා.

මේ න්‍යායයෙන් කියවෙන්නේ ගුරුවරයාගේ නිර්දය ක්‍රියාකලාපය ළමයකුගේ ඉගෙනීම කෙරෙහි තදින් බලපානවා කියන එක. වෙනත් වචනවලින් කීවොත් ළමයාට එම ගුරුවරයා උගන්වන විෂයත් එපා වෙන්න පුළුවන්. ඇතැම් විට මුළු පාසලම එපා වෙන්නටත් පුළුවන්. සුධාරට වෙලා තියෙන්නෙ ඒකයි.

පැවලොව් කියන මනෝවිද්‍යාඥයා බල්ලකු යොදා පරීක්ෂණයක් කර තිබෙනවා. මුලින්ම බල්ලාට මස් කෑල්ලක් පෙන්වනවා. එවිට උගේ මුවින් කෙළ වැගිරෙන්නට පටන් ගන්නවා. මස් කෑල්ල කියන්නෙ උත්තේජනයකට. කෙළ වැගිරීම ප්‍රතිචාරයයි.

ඊළඟට මස් කෑල්ල පෙන්වන‍කොටම සීනු නාදයකුත් ඇසෙන්නට සලස්වනවා. දෙවනුව මස් කෑල්ල නැතිව සීනු නාදය පමණක් ඇසෙනකොටම බල්ලාගේ කටින් කෙළ වැගිරෙනු දකින්නට පුළුවන්. ඒ කියන්නෙ උත්තේජනය ආරෝපිත එකක් වූ විටත් කෙළ වැගිරෙනවා. ඒ ප්‍රතිචාරයම ලැබෙනවා.

මේ කියන සීනු නාදය සුධාරගෙ ගණිත ගුරුවරයාගෙ සැරපරුෂ බව. ඒ ක්‍රියාවලිය නිසා ඇති වන ප්‍රතිචාරය තමයි ඉගෙනීම නීරස වීම, පන්ති කාමරය ප්‍රසන්න වීම‚ ගුරුවරයා ප්‍රියමනාප වීම‚ සිසුන් අගය කරනු ලැබීම‚ සංවිධානාත්මක ඉගැන්වීම හා ධනාත්මක ප්‍රශංසා ලැබීම ළමයා ඉගෙනීමට පොලඹවනසුලු ප්‍රබල සාධක හැටියටයි පැව්ලොව් කියා සිටින්නේ.

ඇමෙරිකානු ජාතික මනෝ විද්‍යාඥ ස්කිනර් ඉදිරිපත් කළ ප්‍රකාරක ආරෝපණ න්‍යායද මේ කරුණට වැදගත් වෙනවා. ඒ අනුව කෑමක් දුන් විට යළි යළිත් කූඩුවේ දොර අරින පරෙවියකු යොදාගෙන ස්කිනර් විසින් කරන ලද පරීක්ෂණයකින් පන්ති කාමරයේදී ලබන හරි ලකුණක්‚ ප්‍රශංසාවක්‚ සිනාවක්‚ අගය කිරීමක්‚ තෑග්ගක් වැනි උපස්ථම්භනයක් ලබන ළමයා ඉගෙනීම නොකඩවා ඉදිරියට ගෙනයනවා.

මෙය ළමයා අඛණ්ඩව ඉගෙනීමේ මාවත දිගේ ගෙන යා හැකි ප්‍රශස්ත ක්‍රමයක්. ඔහුගේ න්‍යාය සමන්විත වී තිබෙන්නේ ප්‍රබෝධකය‚ ඉගෙනීම, ප්‍රතිචාරය හා උපස්ථම්භනය අතර ඇති බන්ධනයකින් බව වටහාගන්න පුළුවන්.

දැන් වැටහෙනවා පන්ති කාමරයේ උගන්වනකොට ළමයින්ට දැක්විය යුතු ප්‍රතිචාර කොයිතරම් වැදගත් වෙනවාද කියලා. මේ නිසා සුධාරට ඉගෙනීම කෙරෙහි ආශාවක් නැවත ඇති කිරීම සඳහා කඩිනම් වැඩ පිළිවෙළක අවශ්‍යතාව අනිවාර්යයි.

ලොව සමහර දේවල් තියෙනවා කිසිදාක මුදලට හෝ බලයෙන් ලබාගත නොහැකි. හරියට විශ්වාසය ආදරය වගේ නැති වූ එවැනි දෙයක් නැවත ඇති කර ගැනීම සිතන තරම් පහසු දෙයක් නොවන බව සෑම ගුරුවරයකුම සිහි තබා ගත යුතු දෙයක්.

මාතෘකා