එක එක තාලේ කිරිබත්

 ඡායාරූපය:

එක එක තාලේ කිරිබත්

ඒ කාලේ අහළ ගම් හතකටම වී මෝලක් තිබ්බෙ ලොකු බාසුන්නැහේලාගේ ගෙදරය. අපේ ගං ගොඩවල මිනිස්සුන්ට තිබුණු කුඹුරු ඉඩම්වලත් වැඩිපුරම වැවුණේ එළවළු හින්දා ඒ මෝලට මහ ගොඩක් වැඩ තිබ්බා කියා මට මතක නැත. ඉඳහිට දවසක අම්මා හෝ නැන්දම්මා අපි පොඩි එවුන්ට රුපියල් දෙක තුනක් එක්ක මල්ලක් දෙන්නේ ලොකු හාමිනේගෙන් හූසල් මිලදී ගෙන එන්නටය. හූසල් මිලදී ගෙනෙන්නට යන අපි පුදුමයෙන් හා ආසාවෙන් පත යකඩ වී මෝල අත ගා බැලුවා මතකය. ගෙනා හූසල් ආප්ප හදන්නට නම් දියේ දමන්නේ කොටන්නට බලාගෙන වුණත් අනිවාර්යයෙන්ම ඒවා කොටහක් පොල් දා කූරු ගා කිරිබතක් වාගේ උයන්නේ කවුරුත් හූසල් කිරිබත කන්නට මනාප හින්දාය.

හූසල් කිරිබත කන්නට ලොකු උන්දැලා ලුණුමිරිසක් තලාගත්තා වුණත් පොඩි අපිට සීනි කැට ටිකක් ඉහ ගැනීම නැත්නම් හකුරු ඩිංගක් තිබුණම සෑහේ. ගිනි ගිනියේ හූසල් කිරිබත කන අතරවාරයේ අම්මා අනිවාර්යයෙන්ම වරුණා කරන බත් කැවිලි හුඟක් තියේ. ඒවා ගැන කියන හැමදාකම "කොහෙද අපි කාපුවා කන්ඩ උඹලට පිනක් නෑනෙ බං" කියන්ඩද අම්මා අමතක කළේ නැත. අම්මා කෑ ඒ බත් අතර තියෙන එක බතක් ඇගිටි බත්ය. ඇගිටි බත් උයන්නේ ඇගිටි හාල්වලිනි. උන්දැලා උපන්හිටි පළාත්වල අව් කූටකේට වැඩිය වැස්ස තිබ්බ හින්දා වී තැවිලා ඇගිටි හාල් හැදෙන හින්දා එව්වා හොයාගන්ඩ අමාරු නැත. අම්මා වරුණා කළ තවත් බතකි මාර්තු කිරි බත. මාර්තු ඇට පෑහලා උයන ඒ බත ඉවිල්ලට වඩා අමාරු කාරිය ඇට පෑහීමය. වණේ ලා කොටා මේ ඇට පාහා ගැනීම ඉල ඇදෙන වැඩක් යැයි අම්මා කියන්නේ එව්වාට පොතු හතක් ඇතැයි අපේ ගමේ මිනිස්සු විශ්වාස කළ හින්දාය. ඕං දැන් මේ ලිවිල්ල කියවද්දි කල්පනා කරනවා නේද මාර්තු ඇට කියන්නේ මොනවද කියලා. දැන් නම් ඉතිං ඔය බජිරි වාගේ ජාති කුරුළු කෑම කියලා පැත්තකට ඇරලා තියෙන හින්දා එහෙම කෑම මේ කපේ කන්ඩ පුළුවන් වෙන්නේ නැති වගට ඔට්ටුයි.

ඉරුං ඇටත් බතට කාපු හැටි මුං ඇට කිරිබත් විතරක් කාලා පුරුදු ඇත්තන්ට කියන්ඩම ඕනෑය. දෙමළ මිනිස්සු පොංගල් කියා වහරන බතට මුං ඇට, මුද්දරප්පලම්, රට ඉඳි, හකුරු ආදි ජාති පදම් දමයි. අපේ මුං කිරිබත එච්චර සාර නූනත් දේව දානෙකට නම් හැදුවේ මුං කිරිබත්මය. කාගේ හරි කුඹුරක කොරටුවක දේව දානයක් දෙනවා නම් අපි පොඩිස්සෝ එහා ගෙහුං කාණ්ඩ ගැහිලා බලාන ඉන්නේ උරුම පංගුව ලැබෙනකම් වාගේය. ඒ අතර සමහර උත්සවයකට ආලවට්ටම් දමා උයන කවුරුහරි උන්දෑ කෙනෙක් ඉඹුල් කිරිබත් තනයි. මට කත්මණ්ඩු ගුවන්තොටුපලේදී දිල්රුක්ෂි අරගෙන දුන් මොමෝ සියඹලා සොස් එක්ක කද්දි මතක් වුණේ අපේ ගම උන්ගේ ඉඹුල් කිරි බත්ය. ආ ඉතිං අළුත් ඉරිඟු ඇට තියෙනවානම් ඇයි බත් ඩිංගක් උයා ගන්නෙ නැත්තේ. ඉරුං ඇට හීන් කෑලි වෙන්ඩ වණේ කොටලා හාලුත් දාලා උයපු හොඳම ඉරිඟු බත මං කෑවේ සියඹලාණ්ඩුවේදී. ඇතිමලේ ඇති පදම් හේන් කොටාපු දිසාලගේ ගෙවල්වල ඔය වාගේ කෑම ජාති හරියට තිබ්බා. කොහොමද එව්වා කන්ඩ ලී මෑ ඇට මැල්ලුමකුත් උයලා තිබ්බම. කද්දි කවුරුහරි නාම්බෙක් කණට ළං වෙලා කොඳුරනවා මහත්තයෝ ඕවා වාජීකරණ අවුසදයක් කියලා. ඊටපස්සෙ බවලත් උන්දැලට නොපෙනෙන්ඩ හිකි හිකිය.

අවුරුදු මහා හුඟකට ඉස්සර මං බිබිල පිටකුඹුර ගමට ගියේ මහින්ද බිබිලෙත් එක්ක. එයැයි එහේ ගම්කාරයෙක්. උන්ගෙ හේනක් තිබ්බා නිල්ගල මායිමේ ගල ඔය බඩ. අදටත් හිත නිවෙනවා ඒ ලස්සන පරිසරය මතක් වෙලා. ඒ හේනෙ ඉරුං ගස්වලටම යාං වෙන්ඩ ලී මෑ හිටවලා තිබ්බා. දිය සීරාව තිබ්බ පහත් බිම් කට්ටිවල ඇල් හාල් නැත්නම් ගොඩ වී වපුරලා. උඩිස්සෙ තණ හාල් වපුරලා. ආං එදා තමයි මං තණ හාල් ඉස්ඉස්සෙල්ලම දැක්කෙ. එව්වා අබ ඇටවලටත් වැඩිය කුඩයි වගේ. කොහොම පාහිනවද මන්දා. එතනදි තමයි මං මුලින්ම තණ හාල් කිරිබත් කෑවේ. එව්වා හරියට බෝ වෙනවා ඩිංගක් දාලා කැඳ බොන්ඩත් පුළුවන්. මේ තණහාල් ඇට පෙනුමම ඒ පාටම තියෙන ඊට ලොකු ඇටේ මෙනේරි. මෙව්වා ඔක්කොම තෘණ පවුලට අයති පාරම්පරික ආහාර භෝග. අපේ හේන් කලාපෙ අදටත් නොනැසී වගා කරන බෝග වර්ග. ඒ හින්දා දුර්ලභ වුණත් ගම්කරේ කරක් ගැහුවම හොයා ගන්ඩ පුළුවන්. කනවනම් කන්ඩ රහම කිරි බතකුත් තමයි මෙනේරි කිරි බත.

මාතෘකා