සිහින හොරු අරං

 ඡායාරූපය:

සිහින හොරු අරං

රාජිත දිසානායකගේ සිහින හොරු අරං, හිතල ගත්තු තීරණයක්, නැතුවම බැරි මිනිහෙක් යනාදී වේදිකා නාට්‍ය ත්‍රිත්වය පසුගිය සතියේ ලයනල් වෙන්ඩ් රඟහලේදී වේදිකාගත විය.

සෑම දෙනාටම ඇත්තේ සිහිනයකි. එය පාන්තික වශයෙන් බෙදී නොපවතී. ධනපති, නිර්ධන, මධ්‍යම පාන්තික ආදී කුමන ජන කොට්ඨාසයක් වුවද වාර්ගික ජන කොට්ඨාසයක වුවද සිහින පොදි බැඳිල්ල නිමා නොවේ. රටක් වශයෙන් පොදි බඳින්නා වූ සිහින නව පාලන තන්ත්‍රයක් පත් කරගත්තා වූ සැණින් බොඳව යයි. නැවත අප වසර පහකින් එළඹෙන්නා වූ සිහිනයක් පිළිබඳව බලාපොරොත්තු තබා ගනී. ඒ වෙනුවෙන් කඩේ යයි. සිහිනය හොරු ගත් කල පුද්ගල පැවැත්ම අභියෝගයට පත් වේ. පුද්ගලයා වශයෙන් නිරතුරුවම උත්සාහ දරන්නේ ළඟා කරගත නොහැකි අපේක්ෂාවක් මුදුන්පමුණුවා ගැනීමයි. එය භෞතික විය හැකිය. භෞතික නොවිය හැකිය. සියලුම චර්යාවන් දේශපාලනීකරණය වී ඇති ලංකාව වැනි චිරාත් කාලයක් සංවර්ධනය වෙමින් පවතින්නා වූ රටකට තවත් සිහින තිබිය නොහැකිය.

දශක තුනකට වැඩි වේදිකා නාට්‍ය ප්‍රවේශයේ රාජිත, ඔහුටම අනන්‍ය වූ ආස්ථානයක් සකස් කරගෙන අවසන්ය. ඔහු විසින් නිෂ්පාදනය කරන ලද සියලුම නාට්‍ය ස්වතන්ත්‍ර නාට්‍ය වේ. එමෙන්ම ඔහු සෑම විටම මධ්‍යම පාන්තික ජීවිතය වේදිකා මතට ගෙන ‘ස්පොට් ලයිල්’ එකක් අල්ලයි. එකී මධ්‍යම පාන්තික ජීවිතය ගලාගෙන යන්නේ හුදු කාමරගත ජීවිතයක් පමණක් නොවේ. එය කාමරයක් එක් බිත්තියක් විවර කර තුන්වැනි බිත්තයකින් එකී චරිතයන්ගේ චලනයන් නැරඹීම පමණක්ම නොවේ. පුද්ගලයන් වශයෙන් චරිත වශයෙන් මධ්‍යම පාන්තික චරිත වේදිකාවේදී රූපන ක්‍රමවේදයන් මතින් ආලෝකය ලැබුවද එකී චරිත සියල්ලක්ම පාහේ සංකේතාත්මකභාවයට පත් වේ. රාජිත ස්ථානගත කරන සියලු මනුෂ්‍ය ප්‍රාණීන් රූපනයේ නිරත වන්නේත් ජීවත් වන්නේත් දේශපාලනික හර පද්ධතීන්ගේ සෙවනෙහිය. ඒ අර්ථයෙන් රාජිත සැම විටම පුද්ගල ඛේදවාචකය දේශපාලනික ප්‍රභාවේ ඛේදවාචයක් ලෙසින් ප්‍රේක්ෂකයා අභිමුවට රැගෙන එයි. රාජිතගේ සෑම නාට්‍යයකම පාහේ වීරයෝ දක්නට නැත. නාට්‍ය අවසානයේ ප්‍රේක්ෂක ගත සිත ප්‍රබෝධමත් කරන්නා වූ මහා ප්‍රාතිහාර්යන් නැත. නාට්‍ය ආරම්භ වී අවසන් වන විට එකී ජීවිතයන් දෙස හෝරාවක කාලයක් පමණක් බලා සිටීමට සිදුවේ. බැලූ බැල්මට දුෂ්ටයෙක් හෝ වීරයෙක් නැත. ඇත්තේ යම් සංඛේතනීය ස්ථානයක කාලය ගෙවා දමන්නා වූ චරිත කිහිපයක් පමණකි. රාජිතගේ නාට්‍ය වේදිකාගත වීම ආරම්භ වන්නේ නළු නිළියන් වේදිකාවෙන් බැස ගිය පසුවයි. ඒ ප්‍රේක්ෂකයන්ගේ මනස නම් වේදිකාව තුළයි.

මරාසාද් නාට්‍යයෙහි දැක්වෙන අයුරින් මිනිස් ජීවිතය කොට්ට උරයක් මෙන් අනෙක් පිට හරවා බැලීමක් කරන්නට රාජිත තම නාට්‍ය මඟින් උත්සාහ දරයි. ඒ සඳහා වේදිකාව මත නටමින්, ගයමින්, ගුවනෙහි කරනම් ගසමින් කරන්නා වූ රූපනයක් රාජිතගේ නාට්‍යවල නැත. ප්‍රේක්ෂකයා ඇදබැඳ තබා ගන්නා වූ බාහිර අලංකරණ රාජිතගේ නාට්‍යවල දක්නට නැත. වෙනිවැල් කැබැල්ලක් කටේ ලා ගත්තායින් පසුව ඇතිවන්නා වූ අපුල වේදිකාව අභියස සිටගත් ආධුනික ප්‍රේක්ෂකයකුට නම් ඇතිවේ. එහෙත් ඒ තිත්ත රස වහනය වන්නේ අපුල වන්නා වූ වෙනිවැල්ගැට කැබැල්ල නිසාම නොව, තමා ඉතාමත් භක්තියෙන් පෝෂණය කරන්නා වූ විසල් සමාජයෙන්ම බව පසක් ගරගත්තා වූ ප්‍රේක්ෂකයාට ප්‍රේක්ෂාගාරයේ අසුනින් ඉවත්ව යෑමට සිත් නොවේ.

‘සිහින හොරු අරං’ නාට්‍ය පිළිබදව ආචාර්ය ලියනගේ අමරකීර්ති මෙසේ සටහන් තබා ඇත. “ඉන්දීය සාගර ඉවුරේ සති අන්ත නවාතැන්පොළක් යනු ආදරයේ, ප්‍රීතියේ සහ නිදහසේ නිකේතනයකි. කලෙක පාරාදීසය යැයිද හඳුන්වන ලද සරාගී සුන්දරත්වයේ දිවයිනක් වන ලංකාවේදී, මෙවැනි නවාතැනක අගය තවත් වැඩි වේ. රාජිත දිසානායක මේ නවාතැන උත්ප්‍රාසාත්මක සංකේතයක් සේ යොදාගෙන වර්තමාන ලංකාවේ බිහිසුණු සංස්කෘතික දේශපාලන යථාර්ථය අපට ඉදිරිපත් කරයි. ආදරයේ සහ නිදහසේ මෙම නවාතැන වෛරයේද බල කාමයේද අවනීතියේද නවාතැන වේ. ඒ නිසා ඉතා නිර්-හිංසක ස්ත්‍රීන් සහ පුරුෂයන් වෙත අකල් මරණ ගෙන එන යක්ෂයෝද වසති. ආදරයේදී සහ නිදහස භුක්ති විඳීමේදී අවංක නොවන ගනුදෙනුකාරයන් වන ජනතාවකට තමන් අතරින්ම පැනනඟින වියරු හිංසනයට විරුද්ධ වීමේ හැකියාවක් නැත. චරිත නිරූපණය අතින්ද සංකීර්ණ දේශපාලනික යථාර්ථයක් කාලයේ හා අවකාශයේ සීමා තරණය කිරීමෙහි සමත් සංකේතමය විශ්වයක් බවට පෙරළීම අතින්ද සිහින හොරු අරං යනු රාජිත දිසානායකගේ නාට්‍ය අතර මහාර්ග කෘතියක් වේ. මෙම ගැඹුර නවකතාවක් වැනි නාට්‍යයකි.”

රඟහලින් ඉවතට ආ ප්‍රේක්ෂකයන්ට නැවත නැවතත් ඔහුගේ නාට්‍ය මඟින් තම ජීවිතය පෙළන්නා වූ සමාජ දේශපාලනික ඛේදවාචකය පිළිබඳව නැවත නැවත සිතා බැලීමට කාලය උදා වී ඇත.

[ගාමිණී බස්නායක]

මාතෘකා