සංචාරකයා සහ සංස්කෘතිය

 ඡායාරූපය:

සංචාරකයා සහ සංස්කෘතිය

‘සංචාරක’ නැමති වචනය සඳහා ගුණසේන මහා ශබ්ද කෝෂයෙහි ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග මහතා ලබාදී ඇති නිර්වචනය මෙසේය. “විනෝදය සඳහා යම් යම් දෑ නරඹමින් සැරිසරන්නා” යන්නයි. ඒ අනුව සංචාරකයා යනු තමන් කැමති දේ නරඹමින් දේශ දේශාන්තරයන්හි හැසිර සතුටක් ලබන්නාය.

පාහියන් භික්ෂුව බුදු සමයේ ව්‍යාප්තිය සොයා ආසියාව පුරා සැරිසැරූ සංචාරකයකි. ඉබන් බතූතා ඉතිහාස පුවත් සොයා ලොව සැරිසැරූ සංචාරකයකි. නාට්‍ය කලාවේ පරිණාමය සොයා එදිරිවීර සරච්චන්ද්‍රයෝ ලොව පුරා සැරිසැරූහ. ඒ තුළින් හෙතෙම මහත් සතුටක් ලද බව ස්වකීය චරිතාපදානයෙහි දක්වා ඇත. මෙබඳු සංචාරකයන් දහස් ගණනක් පිළිබඳ තොරතුරු ඉතිහාසයෙන් සොයා ගත හැකිය. ඉතිහාසය හෝ පුරාවිද්‍යා ගවේශනය, කඳු හෝ ගංගා තරණය, වනාන්තර හෝ වන සතුන් නැරඹීම, ආගමික පුදබිම් වැඳ පුදා ගැනීම ආදී ලෙස සංචාරකයාගේ රුචි අරුචිකම්හි විවිධත්වයක් ඇත.

සංස්කෘතිය නැමති වචනය සඳහා භාෂා විශාරදයන්, සමාජ විද්‍යාඥයන් අර්ථ විවරණ විශාල ප්‍රමාණයක් ලබා දී තිබේ. තලල්ලේ ධම්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් රචිත “ත්‍රිපිටකයේ සංස්කෘතික ලක්ෂණ” නමැති කෘතියෙහි සංස්කෘතිය යන වචනය සඳහා ලබාදී ඇති අර්ථ විවරණයක් මෙසේය. “මිනිසුන්ගේ ජීවිතය පිළිබඳව ක්‍රමය සංස්කෘතියයි.”

මනුෂ්‍ය සමාජයේ විවිධ අනන්‍යතා සහිතව ජීවත් වන දස දහස් සංඛ්‍යාත මානව ප්‍රභේද දැකිය හැකිය. සිංහල සමාජයේ වුවද ආගමික වශයෙන්, කුල වශයෙන්, භූගෝලීය පිහිටීම් වශයෙන් විවිධත්වයෙන් යුතු අනන්‍යතා සහිතව ජන කණ්ඩායම් ජීවත් වෙති. එම ජන කණ්ඩායම් අතර ජීවත් වූ මිනිසුන් විසින් මෙතෙක් කල් එක්රැස් කොට දායාදයක් වශයෙන් තබාගිය ආධ්‍යාත්මික වූද බාහිර වූද සියල්ල සංස්කෘතිය ලෙස තවදුරටත් විවරණය කළ හැකිය. එකිනෙකට වෙනස් එම අනන්‍යතාවන්හි සුවිශේෂතා අධ්‍යනය තුළින් පෙර නොවූ විරූ රසයක් අත්විදිය හැකිය.

මෙම ලිපියේ පළමු කොටසේ විස්තර කළ ආකාරයට සංස්කෘතිය සංචාරකයාට සංචාරය කළ හැකි රස ගංගාවකි. සංස්කෘතික විවිධත්වය රසවිඳින සංචාරකයකුට හිමිවන ප්‍රතිලාභ පිළිබඳ සමාජ විද්‍යාඥයන් කරුණු දක්වා ඇත. එය පුද්ගලයා සතු මානව කේන්ද්‍රවාදී බව දුරු කළ යුතු තත්ත්වයක් ලෙස සමාජ විද්‍යාඥයෝ පවසති. ඒ සඳහා හොඳම ඖෂධය විවිධ සංස්කෘතීන්හි හැසිරීමයි. මානව කේන්ද්‍රීයව සිතන පුද්ගලයා තම සංස්කෘතියම විශිෂ්ට යැයි කල්පනා කරයි. එය පමණක් ලොව පැවතීම ප්‍රමාණවත් යැයි සිතයි. එබඳු අදහස් මානව සමාජයේ යහ පැවැත්මට බාධා පමුණුවයි. යමකු සංස්කෘතික සාපේක්ෂතාව අගය කරයි ද හේ විවිධත්වය පිළිගනියි. අන්‍ය සංස්කෘතීන්හි යහපත් දෑ උකහා ගෙන තම සංස්කෘතිය ප්‍රවර්ධනය කරයි.

එබැවින් සංචාරකයා සංස්කෘතීන්හි විවිධත්වය අත්විඳීමට පෙළඹීම බොහෝ ප්‍රතිඵල පිණිස හේතු වෙයි. අන්‍ය සංස්කෘතීන්හි රසය සොයා යන සංචාරකයකු සතුවිය යුතු ගුණාංග දැන සිටීම ඉතාම වැදගත් කරුණකි. සංස්කෘතික සංචාරකයා පළමුව තම සංස්කෘතිය දැන හැඳින, එහි විශිෂ්ටතා සේම දුර්වලතා වටහා ගෙන සිටීම ඉතාම වැදගත් කරුණකි. අන්‍ය සංස්කෘතීන්හි ඇති තම සංස්කෘතිය හා ගැටෙන ප්‍රවණතා ඉවසා සිටීමට විනයක් ගොඩනඟා ගත යුතුය. තම සංස්කෘතිය දෙස ගෞරවනීය වනවා සේම අන්‍ය සංස්කෘතීන් විෂයයෙහි ද ගෞරවනීය ආකල්පයක් දැරිය යුතුය.

ඉහත දැක්වූ සංස්කෘතික සංචාරක දිවි පෙවෙත බුදුරජාණන් වහන්සේද අගය කළහ. බුදු සමයේ පිරිනිවන්පාන ලද පළමු රහත් භික්ෂුව වූ නාලක තෙරුන් පිළිබඳ පුවත ඒ සඳහා හොඳම නිදසුනයි. නාලක තෙරණුවෝ එක් ගමකට දෙවරක් නොවැඩියහ. එක් ආරාමයක, සෙනසුනක, රුක්ෂ මූලයක දෙදිනක් නොවිසූහ. සමස්ත දිවියම ඥාන ගවේෂණයට හා සංචාරයට කැප කළහ. සංස්කෘතික සංචාරය පුද්ගල දැනුම කෙතෙක් ප්‍රසාරණය කරන්නේද යන්නට ඇති හොඳම නූතන උදාහරණය වල්පොළ රාහුල තෙරණුවන්ගේ දිවි සැරියයි. වල්පොළ රාහුල හිමියන් තරුණ අවදියේ එස්. තංගරාජා නැමති දෙමළ ගුරුවරයා යටතේ ඉංග්‍රීසි දැනුම ලබා ඇත. තංගරාජා මැතිඳුන් උන්වහන්සේ අන්‍ය දර්ශනවාදයන් හැදැරීමට යොමු කර ඇත. ඒ අනුව උන්වහන්සේ ලොව පුරා හැසිර විවිධ සංස්කෘතීන් අධ්‍යනය කළහ. ප්‍රතිඵලය පසුගිය ශතවර්ෂයේ ලංකාව ලෝකයට දායාද කළ විශිෂ්ටතම බෞද්ධ භික්ෂුව රාහුල හිමියන් බවට පත් වීමයි.

නූතන ලාංකේය සමාජය සංස්කෘතික විවිධත්වය අගය නොකරන බවට බොහෝ සාධක ඇත. අතීතයේ තත්ත්වය මීට සපුරා වෙනස් බව කිවමනා නොවේ. මහින්දාගමනය තුළින් එදා සමාජය බොහෝ සංස්කෘතික හර පද්ධතීන් උකහා ගෙන තිබිණ. වර්තමානයේ ද සිංහල, දෙමළ, මුස්ලිම් ජන සමාජයන්හි සංස්කෘතික හර පද්ධතීන් එකිනෙකා හඳුනා ගැනීම සමාජ ප්‍රවර්ධනයට මහත් සේ උපකාර වනු ඇත. සංස්කෘතීන් අතර දුරස්ථ භාවය ගැටුම් පිණිසම හේතු වෙයි.

ඒ අනුව සංස්කෘතික විවිධත්වය ගවේෂණය මානව සමාජයේ ප්‍රවර්ධනයට ප්‍රධානතම හේතුවක් බව පැහැදිලිය. ප්‍රාථමික ආධ්‍යාපනයේ සිටම මෙම ප්‍රවණතාවෙහි වැදගත්කම ළමා පරපුරට පෙන්වා දීම උසස් ප්‍රතිඵල පිණිස හේතුවෙයි.

News Order: 
1
මාතෘකා