විරිතට බර දීම!

 ඡායාරූපය:

විරිතට බර දීම!

මහාචාර්ය විමල් දිසානායක හා හෙළ හවුලේ නයු ශ්‍රීනාත් ගනේවත්ත එක්ව ලියූ ‘විරිත හා අරුත’ කෘතිය කියවද්දී මට සිතුණේ සැබැවින්ම එවැනි කෘතියක් සම්පාදනය කිරීම අවශ්‍යද යන්නයි. එම කෘතියේ පූර්විකාව ඇරඹෙන්නේ මෙසේය:

“විරිත කාව්‍යානුභූතියෙහි බාහිර අංගයක් නොව මුඛ්‍යාංගයක් බව තහවුරු කිරීම අපගේ අරමුණයි.”

මට සිතෙන්නේ නම් විරිත නොඑසේ නම් ආකෘතිය කාව්‍යයක මුඛ්‍යාංගයක් බව අමුතුවෙන් කිව යුතු නැති බවයි. සාහිත්‍ය කෘතියක සන්දර්භය හා ආකෘතිය වශයෙන් දෙකොටසක් නැති නිසාය.

මෙරට පද්‍යය සඳැස හා නිසැඳැස වශයෙන් වෙන් වී ඇති බව අපි දනිමු. මෙහිදී පේරාදෙණිය අනුයන නූතන කවීහු නිසඳැසත්, පේරාදෙණියට එරෙහි හෙළ හවුල, කොළඹ කවිය හා පැරණි සම්භාව්‍ය කවිය සමඟ අනුගත කවීහු සඳෑසත් (ඡන්දසත්) අනුගමනය කරති. කවියක සඳැස - නිසඳැස, එසේ නැත්නම් විරිත - නොවිරිත තීරණය වන්නේ කාව්‍යානුභූතිය අනුව බව කිව යුතු නැත. එහෙත් අප මේ දෙක ගෙන ඇත්තේ සපුරා වෙනස් මාර්ග දෙකක් ලෙසය. අපේ සඳැස් කවීන් නිසඳැස ප්‍රතික්ෂේප කරන අතර (විරිත අනුගමනය කරන අතර), නිසඳැස් කවීහු සඳැස/ විරිත ප්‍රතික්ෂේප කරති. සිංහල කවිය වර්තමානයේ ඇදවැටීමට මෙයද හේතුවක් බව කිව මනාය. එහෙත් ගැටලුව මෙහිදී අප වියතුන් දෙදෙනා ඇයි මෙවැනි කෘතියක් කළේ යන්නය. මට හැඟෙන ලෙස නම් ඔවුනට ඇවැසි වන්නේ සඳැසට, විරිතට නැවත ජීවයක් ලබා දීමට බවයි. විරිතකින් තොර නිසඳැස ප්‍රතික්ෂේප කරන හෙළ හවුලේ ප්‍රධානියකුද ඒ ලිවීමට සහභාගි වන්නේ එනිසාය.

සාහිත්‍ය නිර්මාණයක සන්දර්භයට අනුචිත ආකෘතියක් ආවහොත් ඒ නිර්මාණය උසස් වන්නේ නැත. ඇයි? ඕනෑම නිර්මාණයකට ගැළපෙන හැඩරුවක්, සැකිල්ලක්, රීතියක් ඇති නිසාය. ආකෘතිය නිර්මාණයේ සන්දර්භයෙන් වියුක්ත නැත. නිර්මාණයක් කතාකරුවකුට, කවියකුට ස්වභාවිකවම එන්නේ අදාළ ආකෘතියද සමඟය. ආකෘතිය වෙනමත් සන්දර්භය වෙනමත් එන්නේ නැත. සාහිත්‍ය කෘතියකට අනුචිත ආකෘතියක් ඒම යනු කතාකරුවා/ කවියා තමාගේ හදවතින් එන දේට ඉඩ නොදීමකි. තමාගේ අව්‍යාජ හැඟීම් යටපත් කිරීමකි. ඔහු ව්‍යාජත්වයක් ආරෝපණය කර ගැනීමකි. මෙසේ බැලූ විට විචාරය කළ යුත්තේ විරිත හෝ ආකෘතිය නිර්මාණ කෘතියක බාහිරාංගයක්ද, මුඛ්‍යාංගයක්ද යන්න නොව යමක් සැබෑ සාහිත්‍ය කෘතියක්, ව්‍යාජ සාහිත්‍ය කෘතියක් වන්නේ කෙසේද යන්නයි.

පැරණි සිංහල කාව්‍යයේ විරිත ඉතා උසස් ලෙස උපයෝගී කරගෙන ඇති බව අපි දනිමු. සන්දේශ කාව්‍ය විමසන විට, එසේම ගුත්තිලය, පැරකුම්බා වත හා වන්නම් කවි විමසන විට විරිත කෙතරම් ප්‍රබල ලෙස උපයෝගී කරගෙන ඇද්දැයි අත්දැකිය හැකිය. එහෙත් එදා එම කවි බිහි වූ සමාජ පරිසරය සහ අද කවි බිහි වන සමාජ පරිසරය එකක් නොව දෙකකි. අද සමාජය ඉතා ව්‍යාකූලය. සංකීර්ණය. ඛණ්ඩිතය. විස්තෘතය. එහි රිද්මයානුකූල වියරණයක් නැත. එනිසා කාව්‍යකරණයේදී ඊට ළයාන්විත රිද්මයක් ගන්නැයි, විරිතක් ගන්නැයි කිසිවකුට කිව නොහැකිය. එසේ ගතහොත් එය නිර්මාණ කෘතියේ රස භංගත්වයට මිස අනෙකකට හේතු වන්නේ නොවේ.

ප්‍රබන්ධයටද මෙය මෙසේම ආදාළ වේ. අද ඇතැම් විකල්ප යැයි කියන සාහිත්‍යකරුවන් පුවත්පත්වලට දුන් සම්මුඛ සාකච්ඡා විමසන විට ඔවුන් අලුත් රීතිවලට දක්වන ලොල්කම පැහැදිලි වේ. එහිදී ඇතැමුන් කියන්නේ තමනට කතාව ලිවීමට යථාර්ථවාදී රීතිය ප්‍රමාණවත් නොවූ බවයි. යථාර්ථවාදී රීතිය යල්පිනූ නිසා තමන් අලුත් රීතියකට ගිය බවයි. ප්‍රබන්ධයක, කවියක රීතිය වැදගත්ද? නාව්‍ය රීතිය වීම, එය යථාර්ථවාදී රීතිය අභිභවීම එහි නවීන ලක්ෂණයක්ද? ගොගොල් ‘හිම කබාය’ ලියනුයේ දහනව වන සියවසේ මැද භාගයේය. එය එකලදීම යථාර්ථවාදී රීතිය අභිභවීමට සමත් විය. ජැක් ලන්ඩන් යථාර්ථවාදී රීතිය අභිභවා ‘වන පෙත අඬගසයි’ ලියනුයේ දහනව වන සියවසේය. බුල්ගකොව් යථාර්ථවාදී රීතියෙන් පිට පනිමින් ‘බල්ලෙකුගේ හදවත’ ලියනුයේ විසිවන සියවසේ මුල භාගයේය. එනිසා රීතිය පොහොසත් බවේ හෝ දිළිඳු බවේ ලකුණක් නොවේ.

සයිමන් නවගත්තේගමගේ ‘සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා’ කෙටිකතා සංග්‍රහයේ ඇතැම් කතා යථාර්ථවාදී රීතිය අභිභවන්නේ එවැන්නක් ඊට පිටින් ආරෝපණය කරගෙන නොව එය එහි අධ්‍යහාරයේ කොටසක් නිසාය. අද අප අලුත් රීති, යථාර්ථය අභිභවීම ආදිය නූතනත්වයේ අංගයක් ලෙස සැලකීම තුළ කිසියම් උත්ප්‍රාසයක්ද තිබේ. එනම් නූතන - නව මං සොයන බව කියන - ප්‍රබන්ධකරුවන් පවත්නා (යථාර්ථවාදී) රීතිය බැහැරලද්දී හෙළ හවුල ප්‍රමුඛ පැරණි කවිය දෙසට යන්නන්ද පවත්නා රීතිය බැහැර ලීමය - ඔවුන් පවත්නා නිසඳැස් ආකෘතිය වෙනුවට ඉල්ලන්නේ පැරණි කවියේ සඳැස් ආකෘතියය. විරිත් කවියය.

සැබැවින්ම කිසිදු සාහිත්‍ය කෘතියක් තවත් කෙනෙකුගේ සාහිත්‍ය නිර්මාණයක් සමඟ සැසඳිය නොහැකිය. ගාර්සියා මාර්කේස් සොයාගත්තේ කාගේවත් මායා යථාර්ථවාදයක් නොව ඔහුගේම වූ මායා යථාර්ථවාදයකි. දොස්තොයෙව්ස්කිගේ මායා යථාර්ථවාදය ඔහුටම අනන්‍ය එකකි. කෆ්කාගේ රීතිය ඔහුගේම එකකි. ෆෝක්නර්ගේ රීතිය ඔහුට මිස තවෙකෙකුට වලංගු නැත. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ හෝ සරච්චන්ද්‍රයන්ගේ රීතියද තවකෙකුට අනුගමනය කළ නොහැකිය. ප්‍රබන්ධකරුවන්, කවීන් එකිනෙකාගෙන් වෙනස් නම් ඔවුන්ගේ නිර්මාණ හා ඔවුන් ඊට උපයෝගී කරගත් රීතීන්ද එකිනෙකින් වෙනස් වේ. ඒවා තවෙකෙකුට අනුකරණය තබා අනුගමනයවත් කළ නොහැකිය. නිර්මාණ කෘතියකින් ලැබිය හැක්කේ ආභාසයකි.

නිර්මාණ කෘතියක් යනු සන්දර්භයෙන් මෙන්ම ආකෘතියෙන්ද අලුත් එකකි. යම් නිර්මාණයක් උසස් නම් ඒ කෘතිය අලුත් සන්දර්භයක් මෙන්ම අලුත් ආකෘතියක්, රීතියක් ආදියද බිහි කරයි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘ගම්පෙරළිය’ අනුසාරයෙන් බිහි වූ පසුකාලීන එබඳු ප්‍රබන්ධ සාර්ථක නොවූයේ ඒවා ඊට අනන්‍ය නිර්මාණයක් නොව තවෙකක ඡායාවක් ගොඩනැඟීමට යෑම නිසාය. රීතිය යන්න යමක් උසස් හෝ පහත් වීමට අදාළ වන්නේම නැත. කිසිදු පැරණි රීතියක් පරණ නොවන අතර කිසිදු අලුත් රීතියක් අලුත්ද නැත. අලුත් යැයි කියන සෑම රීතියක්ම පැරණි යැයිද - අතීතයේ අත්හදා බලා ඇතැයිද - කියනු ඇසේ. මා දකින ලෙස නම් නිර්මාණයක් ඒ මොහොතේ ඓතිහාසික නිමැවුමකි. එහි සන්දර්භයද, රීතියද ඓතිහාසික එකකි. එය තවත් යුගයකට අයිති අතර (වර්තමානය තුළ අතීතය පවතින නිසා), ඊට අයිති නොවන්නේද වේ.

ගුණදාස අමරසේකර මහතා ඔහුගේ ‘සිංහල කාව්‍ය සම්ප්‍රදාය’ කෘතියේදී සිංහල කවිය පැරණි සිංහල කවිය නොව කාව්‍ය සම්ප්‍රදාය අනුගමනය කළ යුතු බව කියයි. එහෙත් සම්ප්‍රදාය යනු වෙනස් වීම බවද කිව යුතුය. රසිකයකු පැරණි සිංහල චිරන්තන ගද්‍ය, පද්‍ය සාහිත්‍යය සහෘදයකු ලෙස හදාරන විට, කියවන විට එය ඔහු තුළට විසරණය වේ. සම්ප්‍රදාය යනු මේ විසරණයෙන් බිහි වන දේකි. සම්ප්‍රදාය වෙනස් වෙමින් වෙනස් නොවීමකැයි කිව හැක්කේ මේ තුළය.

සිංහල පද්‍ය සාහිත්‍යයේ රීතිය හෝ විරිත ශාස්ත්‍රීය විමර්ශනයකට හසු කළ යුතු විෂය පදාසයකි. එහෙත් එහිදී විරිතෙන් තොර කවිය පිරිහුණු කවියක් යැයි කිව නොහැකිය. විරිත සිංහල සන්දේශ සාහිත්‍යයේ, වන්නම් ආදියේ, කව්සිළුමිණ, කාව්‍ය ශේකරය ආදියේ උපයෝගී කරගෙන ඇති සංකීර්ණ ආකාරය ගැඹුරින් විශ්ලේෂණය කළ හැකිය. සරච්චන්ද්‍ර ‘සාහිත්‍ය විද්‍යාව’ කෘතියේදී ඒ පිළිබඳ තියුණු විමර්ශනයක් කර තිබේ. එහෙත් එහිදී ඔහු විරිත් කවිය අනෙකට වඩා උසස් යැයි කීවේ නැත. පෙරද කී ලෙස කවියක් යනු විරිත නොවේ, සන්දර්භයද, විරිතද එක් වූ දේකි. මහගම සේකරගේ කාව්‍යය විරිත් කවියක් නොවේ. විරිත් කවි ලිවීමට බැරි නිසා ඔහු ඒ නොලීවා නොවේ. විරිතක් ඔහු විසූ සමාජ සන්දර්භයට අදාළ වූයේ නැත. ඔහුගේ කාව්‍යානුභූතියට අදාළ වූයේ නැත. එනිසාය, ඊට විරිතක් නැත්තේ. එහෙත් ඒ නැති නිසා එය පිරිහෙළිය යුතු නොවේ.

මා සිතන්නේ අප අවධානය යොමු කළ යුත්තේ නවමු නිර්මාණ කෙරේය. නිර්මාණශීලීත්වය කෙරේය. ප්‍රතිභාව ඇති තැන විරිත, රීතිය නොසැලකිය යුතු දේකි. නිර්මාණශීලී කිසිවක බැලිය යුත්තේ විරිත, රීතිය, ආකෘතිය නොවේ. ආකෘතික පක්ෂයට වැඩිපුර නැඹුරු වී සාහිත්යික වශයෙන් උසස් කිසිවක් බිහි කළ නොහැකිය. ආකෘතිය ගැන වැඩිපුර කථා කරන්නේ නිර්මාණශීලී යමක් බිහි කළ නොහැකි කෙනෙකි. වර්තමාන ‘නව මං සොයන’ ප්‍රබන්ධකරුවෝ වැඩිපුර ආකෘතියට බර දෙති. රීතියට බර දෙති. එහි ගැටලුවක් නැත. එහෙත් තමන් නිමවන ආකෘතිය සන්දර්භයට අදාළ නොවේ නම්, ඉන් සන්දර්භයේ බර හෑල්ලු වේ නම් එහි තේරුමක් නැත. එසේ බැලූ විට ඒ නව මං සොයන්නනුත්, විරිතට බර දෙන්නනුත් අතර වෙනසක් නැත.

[රවින්ද්‍ර විජේවර්ධන]

මාතෘකා