අත් අකුරුවලින් විශිෂ්ටත්වය කරා

 ඡායාරූපය:

අත් අකුරුවලින් විශිෂ්ටත්වය කරා

“ඩොක්ටර්, පුළුවන් නම් මේ චිට් එකේ ලියලා තියන බෙහෙතේ නම මොකක්ද කියලා එහා පැත්තේ ෆාමසියේ අක්කා අහගෙන එන්න කීවා.”

මා ඉදිරිපස සිටගෙන සිටියේ අසල වූ පෞද්ගලික ෆාමසියක පුහුණුව ලබන්නට පැමිණි තරුණියකි. මම ඇයගේ අතෙහි තිබූ බෙහෙත් තුණ්ඩුව හොඳින් පරීක්ෂා කොට බැලීමි. එම ඖෂධ වට්ටෝරුව නියම කොට තිබුණේ මා ද ඉතාමත් හොඳින් දන්නා හිතවත් විශේෂඥ වෛද්‍යවරයෙක් විසිනි. බැලූ බැල්මටම ප්‍රතිජීවකයක් ලෙසින් පෙණුනද එහි සඳහන් මාත්‍රාව සමඟ කිසිසෙත්ම නොගැළපෙන බව මා හට අවබෝධ විය. නැවත වරක් මා ඉතාමත් සුපරික්ෂාකාරී ලෙසින් විශේෂඥ වෛද්‍යවරයා ලියා තිබුණු ඖෂධයේ නම කියවන්නට ගත්තෙමි. එහෙත් එය කිසිදු ලෙසකින්වත් මා හට කියවිය නොහැකි බව අවසානයේ ප්‍රත්‍යක්‍ෂ විය.

“ඇයි ඩොක්ටර්ටත් මේ බෙහෙත හොයා ගන්න අමාරුද?”

තරුණිය මා පත්වී ඇති අපහසුතාව තේරුම් ගත්තාක් වැනිය. සැබැවින්ම ඒ මොහොතේ මා හට ඇති වූයේ පොළොව පළාගන යන තරමේ මහා ලැජ්ඡාවකි.

අපැහැදිලි අත්අකුරු නිසා මා මෙන්ම මේ ලිපිය කියන ඔබද අනේක වාරයක් පීඩා විඳ ඇති බව නොඅනුමානය. දිනෙන් දිනම මෙම තත්ත්වය වර්ධනය වනු මිස එය සාධනීය මට්ටමකට පවත්වෙතැයි විශ්වාස කළ නොහැකිය. එයට එක් ප්‍රධානතම හේතුවක් නම් දිනෙන් දිනම දියුණුවෙන පරිගණක තාක්ෂණය, ලැප්ටොප් පරිගණක, ස්මාර්ට් ජංගම දුරකථන වැනි උපාංග නිසා සමාජයෙන් පෑන, පැන්සල සහ පොත අමතක වීගෙන යෑම යැයි මට සිතේ.

එහෙත් වර්තමානයේ පවතින තරගකාරී අධ්‍යාපන රටාව තුළ අත්අකුරුවල ගුණාත්මකභාවය කෙරෙහි පෙර තිබූ වටිනාකම වෙනුවට, අඩුම තරම් කාලයක් තුළ වැඩිම අකුරු සංඛ්‍යාවක් ලිවීමට පුරුදු පුහුණු කරවීමේ අනවරත තරගයක් පවතී. ගුරුවරුන් පමණක් නොව දරුවන් ද මවුපියන් ද සියලු දෙනාහටද අවශ්‍ය මේ තරගකාරී ලොව ජයගෙන කෙටිම කාලයක් තුළ වැඩිම අත්අකුරු සංඛ්‍යාවක් ලියා තරග විභාග ජයග්‍රහණය කිරීම පමණි.

මෙවැනි පසුතලයක් තුළ හිඳිමින් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සහ අනාගත පරම්පරාවේ දරුවන්ගේ අත්අකුරුවල ආකර්ෂණීය භාවය අඩුවී යෑම පුදුමයක් නොවේ. එමෙන්ම අප කුඩා කළදී පැවැති දිනපොත් ලිවීම, ලියුම් ලිවීම, සමරු පොත් ලිවීම, බිත්ති පුවත්පත් පවත්වාගෙන යෑම වැනි ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් නිරතුරුවම, අධ්‍යාපනය ලබන්නන්ට තම අත්අකුරුවල ගුණාත්මකභාව එකිනෙකා සමඟ සන්සන්දනය කොට වැඩි දියුණු කරගැනීමට අවශ්‍ය උත්තේජයන් ලැබිණි.

එහෙත් අද දවසේ පාසල ශිෂ්‍යයන් සහ නව යෞවනයන්ට අත්අකුරු මූලික කොටගෙන ගොඩනැඟුණු මෙවැනි ක්‍රියාකාරකම් පවතින්නේ දැයි යන්න සැක සහිතය. තාක්ෂණයෙන් කෙතරම් පොහොසත් වුවද ජපානය, චීනය වැනි සංස්කෘතික පදනමක් සහිත ආසියානු රටවල් මෙන්ම ප්‍රංශය ඇමෙරිකාව, එංගලන්තය, ජර්මනිය වැනි බටහිර රටවල් පවා හරවත් අධ්‍යාපනයේ එක් ලක්ෂණයක් ලෙසින් අත්අකුරුවලට හිමිතැන තවදුරටත් පවත්වා ගැනීම සඳහා විවිධාකාර ක්‍රමඋපායන්, යොදාගෙන ඇති බව පැහැදිලි වේ.

ජපානයෙහි සහ චීනයෙහි ප්‍රචලිත රූපාක්ෂර හෙවත් කංජී අත්අකුරු ක්‍රමය, බටහිර රටවල්වල භාවිතයට ගන්නා කැලිග්‍රැෆික් අත්අකුරු ක්‍රමය මේවාට කදිම නිදසුන්ය. ඒවා එම රටවල්වල බාල, මහලු, තරුණ භේදයකින් තොරව විනෝදාංශ ලෙස රසවිඳින අයුරු අදටත් දැකගත හැකිය. ඒවා කලාශිල්ප ලෙසින් ප්‍රගුණ කරවීම සඳහා එම රටවල්වල රාජ්‍ය සහ පෞද්ගලික අංශ මඟින් විවිධාකාර අත්අකුරු ලිවීමේ ක්‍රම ඉගැන්වීම සඳහා පුහුණු පාඨමාලාවන්ද දියත් කොට ඇත්තේ අත්අකුරුවල වටිනාකමට නිසි තැන දියයුතු යැයි තවමත් විශ්වාස කරන නිසා විය යුතුය.

“අලංකාර පැහැදිලි සහ පිරිසුදු අත්අකුරු යනු යමකුගේ අධ්‍යාපනයෙහි විශිෂ්ටත්වය මනිනු ලබන එක්තරා මිනුම් දඬුවකි.”යන්න මහත්මා ගාන්ධිගේ ප්‍රකට ප්‍රකාශයකි. ලෝකය කෙතරම් පරිගණකවලින් සහ නවීන තාක්ෂණයෙන් පිරිපුන්ව පැවතිය ද මෙම ප්‍රකාශය එදා මෙන්ම අදටත් වලංගු සත්‍යයකි. එමෙන්ම අත්අකුරු යනු යමකුගේ පෞරුෂත්වය විදහාපාන අදෘශ්‍යමාන සාධකයකි.

එපමණක් නොව එය එක්තරා අන්දමක කලාවකි, විනෝදාංශයකි. ඒනිසා මින් පසු ඔබ අත්අකුරක් සටහන් කරන සෑම අවස්ථාවකම එය මනාව පිරිසුදුව සහ පැහැදිලිව ලියා තබන්නට වගබලා ගන්න. එමෙන්ම යම්කිසි අත්අකුරු පෙළක් ලියූ පසු ඒ දෙස මොහොතක් බලා හිඳ, මා මෙය සටහන් කළේ මට හැකි උපරිම ආකාරයෙන් ද යන්න ඔබේ හදවතින්ම ප්‍රශ්න කර ගන්න.

මාතෘකා