යකාගෙ මාරුව!

 ඡායාරූපය:

යකාගෙ මාරුව!

අද අධ්‍යාපන ක්‍රියාවලිය හා බැඳී පවතින උග්‍ර ප්‍රශ්නයක් වන්නේ ගුරුවරයකුට මාරුවක් ලබා ගැනීමේදී මුහුණ දෙන්නට වන දුෂ්කර ක්‍රියාවලියයි. මේ කාරණය අදට වඩා මීට වසර කිහිපයකට ඉහතදීත් මහත් බැරෑරුම් කාරියක් වුණා. මේ මෙවැනි අමාරුවකට ඇද වැටුණු ගුරුවරයකු වූ සමතදාස ගුරුතුමාගේ කතාවයි. මේ කතාවට පසුබිම 40 දශකයේ මුල් කාල වකවානුවේය.

එදා කළමනාකරුවකු යටතේ පැවති පාසලක සේවය කළ සමතදාස මහතාට මාරුවක් ඕනෑ වුණේ පාසලේ සිසුන්ගේ සාමාන්‍ය ගණන් බිංදුවට බැස තිබීම නිසා තම රැකියාවට තට්ටුවේගන එන බව දැනුණු නිසයි. මාරුවීම් අනුමත කරන්නේ පාසලේ කළමනාකරු නිසා ඔහුට කළමනාකරු හමුවීමට යෑමට සිදුවුණා.

එකල කළමනාකරුවන් බොහොම සැරපරුෂ හැඩිදැඩි ධනවත් පුද්ගලයන් වුණා. ඔවුන් තමා යටතේ සේවය කළ මුල් ගුරුවරුන් හා ගුරුවරුන් තුට්ටුවකට මායිම් කළේ නැහැ. මේ කළමනාකරුවන්ට පත්වීම් දීම, මාරුවීම් දීම, වැටුප් නැවැත්වීම පමණක් නොව ගුරුවරුන් සේවයෙන් ඉවත්කිරීමට පවා බලතල තිබුණා.

මහත් සැරපරුෂ එකකු වූ ඔහු තමා නොඉවසූ යමක් සිදු වූ විට අතට හසුවූ දෙයකින් උප ගුරුවරුන්ට දමා ගැසීමට පවා පසුනොබාන මාතර දිස්ත්‍රික්කයේ සිටි එක් කළමනාකරුවකු පසුබට වූයේ නෑ. ඔහු හමුවීමට යෑම යම රජු හමුවට යෑමට දෙවැනි නොවන බවයි ගුරුවරු කියා සිටියේ. එහෙත් අපේ කතානායක ගුරුතුමාට සිදුවුණේ මේ කළමනාකරු හමුවට යෑමටයි.

එක් දිනක් පාසලේ වැඩ නිමාකොට ඔහු හමුවීමට මේ නිර්භීත ගුරුතුමා ගියේ ඕනෑම දේකට මුහුණ දෙමි යන අධිෂ්ඨානය ඇතිවයි.

තරමක අඩියකුත් ගසා දිවා භෝජනයෙන්ද සප්පායම් වී දික් සඟලා පුටුවේ ඇළවී සිටි කළමනාකරු ඈත එන කෙසඟ සිරුරක් ඇති ගුරුවරයා දැක නුදුටුවා සේ දෑස පියා ගත්තා.

ගුරුවරයා එතනට පැමිණ ආචාර කළද කිසිම ප්‍රතිචාරක් නොලැබුණෙන් සමතදාස ශබ්ද නඟා ආයුබෝවන් කියා සිටියා. එහෙත් පිළිතුරක් නම් ලැබුණේ නැහැ. සමතපාලට ඇති වූයේ මහත් සිත් කැලඹීමක්. එහෙත් බලාපොරොත්තු නොවූ ලෙස එකවිටම සිරුර කෙලින් කළ කළමනාකරු ආලින්දය දෙදරවා යන හඬින් “මොකද යකෝ ආවේ” යයි ඇසුවා.

ගුරුවරයා කෙතරම් බියට පත්වුණාද කිවහොත් කිහිලි ගන්නාගෙන සිටි ලිපිගොනුව බිමට වැටෙන්නට ගොස් අල්ලා ගත්තේ මහත් අමාරුවෙන්. යන්තම් සිහි එළවා ගෙන ඔහු තමා ආ කාරණය කියන්නට ධෛර්යය උපදවා ගත්තා.

“අපේ ඉස්කෝලේ මට කැපිල්ලක් වැටෙන්න යනවා ලොකු සර්. ඒකෙ සාමාන්‍ය ගණනුත් බැහැලා නෙව...” කතාව නිමකරන්න ඉඩ ලැබුණේ නැත. කළමනාකරු කඩා පැන්නා.

“ඉතින් මට කියන්නෙ මොකක්ද යකෝ?”

“අනේ ලොකු සර්; මට මාරුවක් ඕනෑ වෙලා තියනවා ගොඩගම කනිෂ්ඨ විද්‍යාලයට. ඒකෙ ඇබෑර්තුවක් තියෙනවා කියලා ආරංචියි.”

මත් වූ දෑසින් කෝප‍ෙයන් පිපිරෙමින් ටික වේලාවක් සමතපාල දෙස බලා සිටි කළමනාකරු අඩි පොළොවේ ගසා මෙසේ කෑගැසුවා,

“ඉතින් පලයන් යකෝ”

එම වදන් අමිහිරි වුවද සමතපාලට එය වාසියක්ම වුණා. ඔහු වහාම අදාළ විදුහලට පසුදාම ගොස් වැඩ බාර ගත්තා.

ආගන්තුක ගුරුවරයකු තම විදුහලේ උගන්වන බව එහි මුල් ගුරුවරයා සතියකට පමණ පසු කළමනාකරුට දන්වා යැවූයේ මේ අතරයි. මුළු පාසලම මීයට පිම්බාක් මෙන් විය. වහාම අදාළ ගුරුවරයා කාර්යාලයට කැඳවූ කළමනාකරු මෙසේ ඇසුවා.

“ඒ යකෝ කවුද තොට මෙහේ උගන්නන්න කීවේ?” ගුරුතුමා මෙදා පාරනම් ඔහුට බය වුණේ නෑ. ඔහු වහා මෙසේ පිළිතුරු දුන්නා.

“ඇයි ලොකු සර්නේ මට එදා බංගලාවෙදි කිව්වෙ මට මේ ඉස්කෝලෙට යන්න කියලා!”

“කවදද යකෝ?”

“ඇයි එදා මං මේ ඉස්කෝලෙට යන්නද කියල ඇහුවම ලොකු සර් කෑගහල කිව්වෙ පලයන් යකෝ කියලා, ඉතින් මම ගියා. දැන් මෙහේ උගන්නනවා.”

“මූ නම් හරිම යකෙක් තමයි” කියූ කළමනාකරු ලොග් පොතේ සටහනක් තබා නිහඬව පිටව යන්න ගියා.

එකල පාසල් පරිපාලනයේ තිබූ අවිධිමත් හා රළු බව මේ සිදුවීමෙන් පෙන්වා දෙනවාක් මෙන්ම එකල ගුරුවරයකු විඳි මේ අතෝරය වෙනත් ආකාරයකට අද මාරුවක් සදා ගැනීමට‚ වැටුප සාදා ගැනීමට හෝ විශ්‍රාම වැටුප පිළියෙල කර ගැනීමට අධ්‍යාපන කන්තෝරුවලට යන ගුරුවරයාත් විඳින බව කිව යුතු නැත. ඇත්තේ ‘යකෝ’ යැයි නොපැවසීම පමණි.

(මේ සත්‍ය පුවතට මුහුණ පෑ අප මිත්‍ර විශ්‍රාමලත් විදුහල්පතිවරයා කතාව පවසා සිනාසෙන්නට වුණා. දරුවන් දහස් ගණනකගේ ජීවිත ආලෝකය දෙසට හැරවූ එතුමා දැන් සිටින්නේ දෙව් ලොවේය)

මාතෘකා