දිරිමත් වදන්

 ඡායාරූපය:

දිරිමත් වදන්

ක්‍රීඩා තරගයක් නරඹමින් ඉන්න මොහොතක් සිහිපත් කරන්න. ඔබ ඉන්නේ උද්‍යෝගයෙන් ඔබ සහාය දක්වන පිරිස දිරිමත් කරමින්. ඔබ සිතන්නේ ජයග්‍රහණය ගැන. ඔබ කියන්නේ ජයග්‍රහණය ගැන. ඔබ සිතමින් කියන්නේ කෑ ගසන්නේ ඒ ජයග්‍රහණය ගැන. දිරිමත් වදන් තරගයකට කොයි විදියේ වෙනසක් කරනවද? හිතට කොයි විදියේ වෙනසක් කරනවද? කොහොමද අපි දිරිය වඩන වදන්වලින් හරියාකාරව වැඩගන්නේ කියලා අපි අද කතා කරමු.

ක්‍රීඩා පිටියක පවතින වාතාවරණය සලකා බලන්න. එහි දෙපිරිසක් ඉන්නවා. එම පිටිය අයිති ප්‍රාදේශික කණ්ඩායමක් සහ සංචාරක කණ්ඩායමක්. ඒ කියන්නේ එක පිරිසකට වැඩිපුර ප්‍රේක්ෂක සහායක් ලැබෙනවා. උදාහරණයකට ඉන්දියාවේ ක්‍රිකට් තරගයක් ගත්තොත් එරට ක්‍රීඩාලෝලීන්ගෙන් ක්‍රීඩාංගණය පිරී ඉතිරී යනවා. මේ පිරිස කරන දිරිගැන්වීම් අනෙක් කණ්ඩායම මත ලොකු පීඩනයක් ඇති කරනවා. ඒ වගේම ඉන්දීය කණ්ඩායමට ලොකු ශක්තියක් ලබා දෙනවා. සමහර වෙලාවට තරඟ පරාජයවෙන වෙනත් කණ්ඩායම් මේ ප්‍රේක්ෂක පීඩනය ගැනත් කතාකරලා තියෙනවා.

දිරිමත්කරන වදන් තුළින් අපිට ලැබෙන ශක්තිය දැවැන්තයි. එනිසායි බොහොමයක් ආයතනවලට සහ සංවිධානවලට පවා ආවේණික මෙවැනි වදන් තියෙන්නේ. එවැන්නකින් සිය අරමුණ සහ ඉලක්ක සිහිපත් කරන අතර එය සපුරාගන්නට අවැසි ශක්තිය ජනනය කරනවා. බාලදක්ෂ ව්‍යාපාරයේ ආදර්ශ පාඨය වන්නේ "සූදානම්ව සිටිනු" යන්නයි. ඉන් සෑම විටම අවශ්‍ය දැනුම, ශක්තිය, උපාංග ඇතිව සිටිය යුතු බව අඟවනවා.

ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය "නියතයි ජය" යටතේ කටයුතු කරනවා. කොමාන්ඩෝ බලකාය සිය ආදර්ශ පාඨය කරගෙන තිබෙන්නේ "නොහැක්කක් නොමැත" යන්නයි. මෙවැනි වදන් තුළ තියෙන අසීමාන්තික ශක්තිය පිළිබඳව වටහාගැනීමට ඔවුන් නිරතවන කාර්යය කිහිපයක් දැනගැනීම ප්‍රමාණවත්. මේ වදන් තුළ තියෙන ශක්තිය ගැන විවාදයක් නැහැ.

ලොව මෙතෙක් පහළ වූ විශිෂ්ටයන්ගේ කියමන් තුළින් ජීවිතයේ විවිධාකාර අවස්ථාවලට මුහුණදීමට අවශ්‍ය ශක්තිමත්භාවය මනසට ළඟා කර දෙනවා. එම පිරිස් සිය ජීවන අත්දැකීම්, උගත් දැනුම ආශ්‍රයෙන් කියූ කියමන්වල ආලෝකය අපි ජීවිත කාලය පුරා ලබනවා. මේ වදන් නිතර ඇසුරු කිරීම ජයග්‍රාහී මිනිසුන්ගේ පුරුද්දක්. එවැනි වදන් නිතර ඇස ගැටෙන පරිදි තබාගන්න ඔවුන් කටයුතු කරනවා. මෙවන් වදන් ඕනෑ තරම් සොයාගන්නට ඇති බැවින් දිනකට එක වදනක් කියවා එහි අරුත ජීවිතයට ගළපාගන්න හැකිනම් එය කලකදී විශිෂ්ටයකු ලෙස ගොඩනැඟීමට ඔබ කළ ආයෝජනයක් වනු ඇති.

මේ වදන්වල තියෙන ශක්තිය හරියාකාරව වටහාගන්නට වගේම නිශේධනීය වදන් නෑසුකන්ව ඉන්නත් හැකියාව තියෙන්න ඕන. කොයිතරම් අධෛර්යමත් වදන් ඇසුණත් එය දිරිමත් වදන් සේ සලකන්නට පුරුදු වෙන්න හැකි නම් එයින් පවා මහ ශක්තියක් හිතට ඇතිකරගන්නට පුළුවන්.

මේ පොඩි කතාන්දරය ඔබට ඒ ගැන කියාදෙනවා.

ගෙඹි රංචුවක් කැලෑවක් ඔස්සේ දියකඩිත්තක් සොයා යනවා. කලක් තිස්සේ නියඟයක් පවතින නිසා ඔවුන් කලින් හිටපු විල වියකිලා ගිහින්. මේ විදියට නියං කාලේට වෙන විලක් සොයාගෙන යන එක ඔවුන් කරනවා.

මේ ගෙඹි රංචුව "බක බක"ගාමින් කතාබහේ යෙදෙමින් යන අතර ඉන් දෙදෙනෙක්, පැරණි වළකට වැටුණා. ගෙම්බන් පනින්නට සූරයන් වුණත්, එය ලේසියෙන් තරණය කළ හැකි ගැඹුරක් නොවෙන බව වට වී වළට එබුණ අනෙක් ගෙම්බන්ට අවබෝධ වුණා. වියළී ගිය ඒ වළේ කිසිම දෙයක් මේ දෙන්නාගේ ජීවිතේ ගෙනියන්න ප්‍රයෝජනවත් නොවෙන බව ඒ දෙන්නටත් අවබෝධ වුණා.

ගෙම්බන් රංචුවම එතැන වාදකරන්න පටන් ගත්තා. මේ අතර වළේ ඉන්න ගෙම්බන් දෙන්නා ඉහළට පනින්න පටන් ගත්තා. කොහොමත් ජීවත්වෙන්න නම් මේ වළෙන් ගොඩ යන්නම වෙන නිසා ඒ උත්සාහය කරන්නම වෙනවා.

"බොරුවට මහන්සි වෙලා වැඩක් නෑ. ඔයාලට මෙච්චර උඩට පැනගන්න බැහැ" එක ගෙම්බෙක් මේ දැකලා කිව්වා.

"ඔහොම උඩ පැනලා පැනලා නිකං මහන්සිවෙලා ඉක්මන්ට මැරෙන්නයි වෙන්නේ" තව ගෙම්බෙක් කිව්වා.

මේ කතා අතරේ එක ගෙම්බෙක් වළෙන් ගොඩ එන අදහස අතෑරලා දාලා එක තැනකට වෙලා ඉන්නවා.ඒත් අනෙත් ගෙම්බා උත්සාහය අතාරින්නේ නැහැ. ගොඩ ඉන්න ගෙඹි රංචුව මහ හඬින් කෑගසමින් එය නිෂ්ඵලයැයි කියනවා.

ගෙඹි රංචුවේ වයසකම ගෙම්බා මෙහෙම කියනවා

"අපේ ඉතිහාසයේ ගෙම්බෙක් මෙච්චර උඩ පැන්න කියලා වාර්තාවෙලා නැහැ" එයනම් නියත තීරණයක් වැනියි. කොහොමත් ගෙම්බො දෙන්නා වළේ මියයන එක ස්ථිරයි.

තව දුරටත් එක ගෙම්බෙක් උඩපනිනවා.අනෙකා නම් මේ උඩ ඉන්න ගෙම්බන්ගේ කෑකෝ ගැසීම් එක්ක අධෛර්යයට පත්වෙලා. නොකඩවා උත්සාහ කළ ගෙම්බා එකවරම ඒ අවශ්‍ය ඉලක්කයට ළඟාවුණා. වළෙන් ගොඩ එන්න සමත්වෙච්ච ගෙම්බා ළඟට කිට්ටු වුණේ ගෙඹි මාධ්‍ය අංශයේ තරුණ ගෙම්බෙක්.

"අපේ ඉතිහාසයේ කවුරුවත් කරලා නෑ කියලා ගෙඹි ඉතිහාසය ගැන විද්වත් ගෙඹි නයිදේ කියද්දීත් ඔබ කොහොමද ගොඩට ආවේ"

"ඈ එහෙමත් කිව්වද? මගේ කන ඇහෙනවා හොරයි. ඔයාලා වටවෙලා මට චියර් කරනවා වගේ ඇහුණේ. ඉතින් මට හිතුණා මේක කරන්න පුළුවන් වැඩක් කියලා" ගොඩට ආව ගෙම්බා කිව්වා.

වළේ ඉතුරුවුණ ගෙම්බා හොඳට කන් ඇහෙන එකෙක්. ඉතින් අනෙක් පිරිසේ කතා හින්දා ඌ ඉක්මනින්ම උත්සාහය අතහැරලා දානවා. කන ඇසීම දුර්වල ගෙම්බා හිතන්නේ අනෙක් ගෙම්බෝ තමාට ජය පතනවා දිරි වඩනවා කියලා. ඌ තව ශක්තිය ගනිමින් උත්සාහ කරනවා. අන්තිමේ ජයගන්නවා.

දිරිමත් වදන් තෙපලන්න. එවන් වදන් ඇසුරු කරන්න. පසුපසට අදින වදන් නෑසුකන්ව ඉන්න.

[මේනක මදුජිත්]

මාතෘකා