ජනයා අතරට යෑම!

 ඡායාරූපය:

ජනයා අතරට යෑම!

අද මෙරට සෑම සතියකම කොහේ හෝ තැනක පොත් දොරට වැඩීමේ උලෙළක් පැවැත්වේ. සාහිත්‍ය මාසයේ හෝ ඊට ආසන්නයේ නම් සතියකට පොත් දොරට වැඩුම් කිහිපයක් පැවැත්වේ. පොත් සඳහා ලේඛකයන් මෙවැනි උත්සව පවත්වන්නේ ඇයි? ඒ, පොත පිළිබඳ ප්‍රසිද්ධියක් ලබාදීමටමද? නැත. දිගු කාලයක් කාමරයකට වැදී ගෙවූ මානසික හුදකලාවෙන් අත්මිදීමටත්ය. තමන් ලේඛකයකු බව ‘කොඩිය’ ඔසොවා පෙන්වීමටත්ය.

ලේඛකයකුට ප්‍රසිද්ධ චරිතයක් වීම සාහිත්‍යකරණයට බාධාවක් වුවත් අප සාහිත්‍යකරුවන් එසේ සිතනු නොපෙනේ. අපට ප්‍රසිද්ධිය සියල්ලට වඩා වැදගත් වේ. මෙසේ කෙනෙකු පොතකට උත්සවයක් පවත්වන්නේ පොත වෙනුවෙන් නොව ප්‍රසිද්ධිය ඔස්සේ අන් කිසි අභිප්‍රායක් මුදුන්පමුණුවා ගැනීමට බවට සැකයක් නැති තරම්ය. එහෙත් සැබැවින්ම බැලුවහොත් පොතක් වෙනුවෙන් කළ හැකි හොඳම දේ ලේඛකයා නිහඬ වී පොතට කථා කිරීමට ඉඩ හැරීමය. අඩු තරමින් ලේඛකයා තමාගේ පුරාජේරුව ඉදිරිපත් නොකර පොතේ කොටසක් කියවමින් පොත් සැන්දෑවක් (Reading) පැවැත්වීමය. මා සිතන්නේ ලේඛකයකු එළිදක්වන්නේ නවකතාවක්, කෙටිකතා කෘතියක්, කාව්‍ය කෘතියක් නම් දොරට වැඩුමකට හොඳම විකල්පය කෘතිය කියවීමේ සන්ධ්‍යාවකි. එහිදී නිර්මාණයේත් නිර්මාණකරුවාගේත් හඬ අවදි වන බැවිනි.

පොතක් යනු වචන කථා කරන උපකරණයකි. එය නිශ්චල දේපොළකි. පොතකට විභව ශක්තියක් ඇති අතර එය ඊට හිමි වන්නේ එහි ඇති මේ නිශ්චල ස්වභාවය හේතු කොටගෙනය. එනයින් පොතක වචන කථා කිරීම වළක්වා ඊට බාහිරින් කෙනෙකු මැදිහත් වීම පොතේ නිසග ශක්තිය පිරිහෙළීමකි. තවද කෙනෙකු පොතකට දොරට වැඩුම් පවත්වන්නේ පොතේ වචනවලට හඬක් නැති නිසා යැයිද සිතිය හැකිය.කෙසේ වුව මුද්‍රිත පොත බිහි වීම මානව ශිෂ්ටාචාරයේ මිනිසා අත්කරගත් විසල් ජයග්‍රහණයක් වන්නේ ඊට කතුවරයාගෙන් ස්වායත්ත කටහඬක් තිබීම නිසාය. එසේ නම් කතුවරයාගේ මැදිහත් වීමකින් තොරව පොතක හඬට ඉඩ දීම ඊට කරන ලොකුම සාධාරණයයි.

මා දකින ලෙස සාහිත්‍ය කෘතියක් ආශ්‍රිත සෑම සියලු ක්‍රියාකාරකමක්ම හුදකලා කර්තව්‍යයකි. එක් පසෙකින් පොතක වචන තනිවම හඬ නඟන අතර ඒ හඬ ඇසිය යුත්තේද කෙනෙකු තනිවමය. ඒ එසේ ඇසිය යුත්තේ එය පාඨකයාට යමක් කියන මාධ්‍යයක් නොව දනවන මාධ්‍යයක් නිසාය. හඟවන මාධ්‍යයක් නිසාය. රසවාදය බිහි වන්නේත් පොතක වචනවල මේ හුදකලා භූමිකාව නිසාය. පොත් යනු හුදකලා වූවන්ගේ දේපොළකි. මෙහි කිසියම් උත්ප්‍රාසයක්ද තිබේ. පොත් විශ්ව පාඨක සමාජයක් ජනිත කරන්නේ - ඒ ඔස්සේ ඔවුනතර නිහඬ, අඥාත සන්නිවේදනයක් පවත්වා ගන්නේ - ලිවීම, කියවීම හුදකලා කාර්යයක් වෙද්දීය.

රෝලන්ඩ් බාත් නම් ප්‍රංශ සාහිත්‍ය න්‍යායධරයා ප්‍රබන්ධය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ‘කතුවරයා මියයෑමේ’ (The Death of the Author) සංකල්පය මෙහිදී සිහි වේ. එහිදී ඔහු කියන්නේ සාහිත්‍ය කෘතියක් සම්බන්ධයෙන් කතුවරයාගේ ආකල්ප හා ඔහුගේ අර්ථකථන වැදගත් නැති බවත් කෘතියක් එහි වියමන (Text) විසින්ම තීරණය වන බවත්ය. එසේ නම් සාහිත්‍ය කෘතියකට - එය ලිවීමට පෙරත් පසුත් - කතුවරයා මැදිහත් වීම අර්ථහීන දේකි. ඇරත් සාහිත්‍ය කෘතියක් පාඨකයාට වින්දනය කළ හැක්කේ එය කතුවරයාගේ පෙනී සිටීමෙන් බැහැර වන තරමටය. ඇත්ත වශයෙන් මාර්ටින් වික්‍රමසිංහ මහතා ජීවත්ව සිටි අවදියට වඩා අපට අද ඔහුගේ නවකතා රස විඳිය හැකිය. සරච්චන්ද්‍ර දිවමන් අවදියට වඩා අද ඔහුගේ නවකතා, නාට්‍ය අපට වින්දනය කළ හැකිය. එනයින් ලේඛකයකු ලියන ප්‍රබන්ධ කතාවක් ඔහුම පුවත්පත්වලට, රූපවාහිනී චැනලවලට කථා කර - සම්මුඛ සාකච්ඡා දී - ප්‍රසිද්ධියට පත් කිරීම පාඨකයාට රස විඳීමට බාධා කිරීමකි.

ප්‍රබන්ධ කතාවක් පාඨකයාට ළං වීමේද පාඨකයාගෙන් දුරස් වීමේද උභතෝකෝටිකයක් තිබේ. එනම් කතුවරයාට සමීප පාඨකයා - ඔහු උපන් ප්‍රදේශයේ පාඨකයා - ඔහුගේ කෘතිය කියවන විට අන් පාඨකයාට හසු නොවන අරුත්, භාෂා ප්‍රයෝග ඔහුට ග්‍රහණය වේ. අනෙක් අතට එම පාඨකයා කතුවරයා වඩා හොඳින් දන්නා කියන නිසා ඔහුට කෘතිය කියවන වාරයක් පාසා කතුවරයාගේ රුව කෘතිය තුළින් විද්‍යමාන වේ. එවිට එය රස විඳීමට බාධාකාරී වේ. ජේ.කේ. රෝලින් යනු ‘හැරි පොටර්’ යොවුන් කතා මාලාව නිසා ලෝ ප්‍රකට වූ බ්‍රිතාන්‍ය ලේඛිකාවයි. ඇය 2007 වසරේ ‘හැරි පොටර්’ කෘති මාලාවේ අවසන් නවකතාව වන Harry Potter and the Deathly Hallows කෘතිය ලියූ පසු අපරාධ ප්‍රබන්ධ කතා මාලාවක් ලීවාය - The Cuckoo’s Calling (2013), The Silkworm (2014), Career of Evil (2015) හා Lethal White (2018) වශයෙනි. එහෙත් මේ කෘති රැස ඈ ලීවේ ජේ.කේ. රෝලින් නමින් නොව රොබට් ගැල්බ්‍රේත් (Robert Galbraith) නම් අන්වර්ථ නාමයෙනි. ඈ එසේ ලීවේ ඇයි? ඒ, කතාකාරියගේ ප්‍රසිද්ධියේ ප්‍රභාවෙන්/ ඇගේ කලින් කෘතිවල ඡායාවෙන් බැහැරව එය පාඨකයාට කියවීම සඳහාය. ඊට විචාරකයන්ගෙන් ස්වාධීන විනිශ්චයක් ලබා ගැනීම සඳහාය. මේ අනුව සාහිත්‍ය කෘතියක් හොඳින් වින්දනය කළ හැකි වන්නේ, ඊට විචාරකයන්ගෙන් හොඳ විචාරයක් ලබාගත හැකි වන්නේ එය කතාකරුවාගේ එළියෙන් අත්මිදුණු විට බව පැහැදිලි වේ.

මෙසේ බැලූ විට කතුවරයකුගේ හොඳින්ම රස විඳිය හැක්කේ ඔහුගේ දෙවන, තෙවන, සිව්වන කෘති නොව පළමු කෘතියය. පසු කෘතිවලට එද්දී මුලින් ගොඩනැඟුණු කතුවර ප්‍රතිරූපය ඊට බලපාන නිසාය. අනෙක් අතට කතාකරුවාටද හරිම ප්‍රතිචාර ලැබෙන්නේ ඔහුගේ පළමු කෘතියටය. එහෙත් ප්‍රකාශකයනට නම් වාසියක් අත්වන්නේ මෙහි අනෙක් පසටය. එනම් ඔහුට වාසියක් ලැබෙන්නේ කතුවරයාගේ මුල් කෘතියෙන් පසු කෘතිවලින්ය - මුල් කෘතිවලින් ගොඩනැඟුණු කතුවර ප්‍රතිරූපයෙන්ය. ඒ අනුව ප්‍රකාශකයෙක් ලේඛකයකු පාඨකයා අතරට ගෙන යන අතර ඔහු පාඨකයාගෙන් ඈත්ද කරයි - ලේඛකයනට පොත් අත්සන් කිරීමේ උත්සව පවත්වන ප්‍රකාශකයින් කරන්නේ ලේඛකයන් පාඨකයාට සමීප කරවීම මෙන්ම ඔහු ඔවුන්ගෙන් ඈතටද ගෙන යෑමය. ලේඛකයා පාඨකයාට සමීප වීම තුළ කෘතිය ස්වාධීනව කියවීම අපහසු නිසාය.

මා සිතන්නේ සාහිත්‍යකරුවන්ද පාඨකයන්ද පාඩුවේ සිටීමට ඉඩ දිය යුතු පිරිසක් බවය. සාහිත්‍යකරුවන් හුදකලාවේ නිර්මාණකරණයේ යෙදිය යුතු අතර පාඨකයන් හුදකලාවේ එය රස විඳිය යුතුය. ඔවුන් ඒ හුදකලා ලෝකයෙන්

- කල්පනා ලෝකයෙන් - බැහැර වන තාක් සිදු වන්නේ ඔවුන්ගේ රස නිෂ්පත්තිය හා රස වින්දනය ඇද වැටීමය. ඔවුන්ගේ කාර්යයන් සඵල වන්නේ ඔවුන් එකිනෙකා අතර අන්‍යෝන්‍ය සබඳතා පවත්වා ගන්නා තරමටද නොව ඔවුන් එකිනෙකාගෙන් වියෝ වන තරමටය. ඇත්ත වශයෙන් සාහිත්‍යකරුවන්ට හා සාහිත්‍ය පාඨකයන්ට හිමි මේ භාග්‍යය සිනමාකරුවන්ට, වේදිකා නාට්‍යකරුවන්ට, ප්‍රසංග කලාකරුවන්ට නැත. ඔවුන් හැම විටම ප්‍රේක්ෂකයා අභිමුවට පැමිණෙන බැවිනි. අපගේ අභාග්‍යය අප අඥාත වී, ප්‍රසිද්ධියට නොපැමිණී තමාගේ කෘතිය වෙනුවෙන් පෙනී සිටිනු වෙනුවට පොත් දොරට වැඩුම් පවත්වමින් ජනගතම වීමය.

මීට පෙරද කියා ඇති පරිදි සාහිත්‍යකරණය හුදකලාවේ දෙනෝ දහක් අමතන මාධ්‍යයකි. හුදකලාව වෙනුවට දෙනෝ දහක් අතරට ගොස් ඒ ඇමතීම කරන තරමට එය ඔවුන්ගෙන් දුරස් වේ. කියවීමත් එසේය. කියවීමේ සංගම් ඇත. පාඨක කව ඇත. පොත් හුවමාරු කරගෙන කියවීමට ඒ සංගම් හොඳය. කියවීමේ ඵල ලැබීමට නම් එය හොඳ නැත. එහි ඵල ලැබිය හැක්කේ හුදකලාවේ රස විඳ හුදකලාවේම විවරණය කරන තරමටය. එක් අතකට සාහිත්‍යකරුවනුත් පාඨකයනුත් මේ ලෝකයේ අමුතු සත්ත්ව වර්ගයකි. ඔවුන් මේ ලෝකයේ සිටින අතර මේ ලෝකයේ නොසිටිනද සත්ත්ව කොට්ඨාසයකි. ඔවුනට උරුම චර්යා පද්ධතියක් ඇත. ඔවුනට උරුම බසක් ඇත. මේ බසින් එකිනෙකා අමතනු වෙනුවට සියල්ලන් අමතන පොදු බසින් අමතා ඔවුනට කිසි ප්‍රයෝජනයක් නැත. ඔවුනට සෙස්සන්ගෙන්ද ප්‍රතිලාභයක් අත් වන්නේ සෙස්සන් අතරට ගොස් කථා කර නොව ඔවුන් තම තමන්ගේ හුදකලා ලෝකවල, කල්පනා ලෝකවල හිඳ ක්‍රියාකාරී වන තරමටය.

[රවින්ද්‍ර විජේවර්ධන]

News Order: 
1
මාතෘකා