මුහුදු වතුර

 ඡායාරූපය:

මුහුදු වතුර

“මම කළේ අත්තප්පාගේ බෝට්ටුවෙන් මුහුද මැද්දට ගිය එක”

“තනියමද ගියේ” මම ඇසුවෙමි.

“ඔව් ඔව් තනියම. ගිහින් ඊට පස්සේ මං ගෙනිච්ච පෙති සීයක් විතර එකපාර බිව්වා”

“හරි භයානක වැඩක්නේ”

“ඒකනේ ඩොක්ට. ඒත් මැරුන්නෑනේ... මොකද දන්නවද ? ඒක ඔයා අහන්නම ඕන කතාවක් ” ඔහු සිනහවෙමින් කියන්නේය.

නිතර සිනහවකින්ම මුව සරසාගෙන සිටින මේ යෞවනයා මේ තරම් මානසික පීඩනයකින් සිටිනවා කියා සිතාගන්නට පවා බැරිය. මුහුණේ සිනහවට යටින් හිතේ ඇත්තේ මහා පෙරළියකි.

විශාදය ! හෙවත් ඩිප්‍රෙෂන් අද වන විට ලෝකයේ “නිහඬ මාරයා” ලෙසද හඳුන්වන්නේ එය හඳුනා ගැනීම හෝ ප්‍රතිකාරයට යොමු කිරීම ඒ තරම්ම අපහසු නිසාය.

දුක, අධෛර්යමත්වීම සහ එදිනෙදා කටයුතුවලදී උනන්දුවක් හෝ සතුටක් නැතිවීම අප සැමට විවිධ කාලවලදී ඇතිවිය හැකි පොදු සංවේදනා විය හැකිය. නමුත් ඒවා අපේ ජීවිතවලට සැලකිය යුතු ලෙස බලපානවා නම්, ගැටලු ඇති කරනවා නම් ඒ විෂාදය දක්වා දරුණු වී ඇති මානසික අවපීඩනය විය හැකිය.

විෂාදය පිළිබඳව නිරන්තරයෙන් අප කතා බහ කළද එය අදටත් අප සමාජයේ භීතිකාවක් බවට පත්වී තිබෙන නිසාම මානසික අවපීඩනයෙන් හෝ මනෝ ව්‍යාධියෙන් පෙළෙන පුද්ගලයන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමද අපහසුවී තිබේ.

“ඉතින් මං කලබලේ පෙති අරගෙන ඇවිත් බෝට්ටුවට නැග්ගට, වතුර බෝතලයක් ගෙනියන්න බැරි වෙලානේ ඩොක්ට.. මොනා කරන්නද ආයේ ස්ටාට් කරගෙන ගොඩබිමට ආවොත් ගෙදර ගියොත් මගේ අදහස් වෙනස් වෙයි කියලා හිතුණා. මොකක්වත් හරියන්නැති ජීවිතේක ඉඳලා මොකටද? ඉතින් මං අර පෙති ටික මුහුදු වතුර එක්ක බොන්න ගත්තා. පෙති සීයෙන් භාගයක් විතර බොනකොට වමනේ ගියා ගියා ගියා... ඔයා දන්නෑ එහෙම නම් අමාරුවක් මගේ ජීවිතේට වෙලා නෑ”

මෙතෙක් වේලාවක් තමන්ගේ ජීවිතේ හරිම අමාරුයි කාලකන්නියි කියමින් බැන වැදුණු තරුණයා කියන්නේ වමනේ දමමින් බඩේ රිදීමට ලක්වී සිටි ඒ අවස්ථාව තමාට ජීවිතයේ උදාවූ අමාරුම වේලාව කියාය. එසේ සිතුනද මම එය ඒ තරුණයට කියන්නට නොගියේ ඔහු තවමත් වික්ෂිප්තව සිටින නිසාය.

“ මුහුදු වතුර බොන්න පුළුවන්ද? අපොයි ඔයින් ගියා මදැයි” මම කීවෙමි.‍

“ඔව් ඒකනේ ඩොක්ටර්... ඔන්න ඉතින් වමනේ ගිහින් අව්වේ ඉඳලා මට පණ ගියා. මං ආයේ ස්ටාට් කරගෙන ගොඩට ඇවිත් බෝට්ටුවෙන් පැන්නා මතකයි... ඊට පස්ස් ඇහැරුණේ මේ ඇඳ උඩ”

“ඒකනේ හොඳ වෙලාවට ඔයාගේ අසල්වැසියෝ දැකලා තිබුණේ... ඇරත් ඔයා බිව්වේ මේ ආසාදනයට දෙන පෙතිනේ. වමනේ ගියා නම් ඒක ශරීරගත වෙන්න තරම් වෙලාවක් තියෙන්න නැතුව ඇති. සිහි මුර්ජා වෙලා තිබුණේ ඔයා දරුණු ලෙස විජලනයට ලක්වෙලා හිටි නිසයි.”

“අනේ ඩොක්ටර්, වඳින්නම් මාව මානසික වාට්ටුවට යවන්න එපා. මම මේ පොඩ්ඩක් දුක හිතිලා ඔහොම කරගත්තේ. කෙල්ල තරහා වුණාම තවත් කළකිරුනා. අම්මත් බනිනවා මොකුත් නොකර නිකම්ම ඉන්නවා කියලා”

ඔහු පින්සෙන්ඩු වන්නේය. මෙලෙස සියදිවි නසාගැන්මට තැත්කළ අය මෙන්ම යම් මානසික ව්‍යාධියක් ඇතැයි අපට වැටහෙන කවර හෝ පුද්ගලයකු මනෝවෛද්‍ය ඒකකය වෙත යොමු කිරීම අත්‍යාවශ්‍ය විය. යුද්ධය අවසන් වීමෙන් පසු ඒ කාලයේ අවතැන් කඳවුරුවල සිටි අය මෙන්ම බොහෝ අහිමි වීම් හමුවේ මේ උතුරු කොන වැසියන් හැමෝම වාගේ සිටියේ දැඩි කම්පනයකින්ය.

“මානසික වාට්ටුව කියන්නේ භයානක තැනක් නෙමෙයි. මේ අපිත් ගිහින් එතන ඉන්න වෛද්‍යවරු, උපදේශිකාවන් එක්ක අපේ ප්‍රශ්න ගැන කතා කරනවා”

“ඇත්තට…. ඩොක්ටර්ස්ලත් යනවද ? ආ එහෙනම් කමක් නෑ” ඔහු පවසන්නේ අස්වැසීමක් ලද අයුරිනි.

අසරණභාවයේ සහ බලාපොරොත්තු රහිත හැඟීම්, අරමුණක් නැති බව, එදිනෙදා කටයුතුවලට ඇති උනන්දුව නැතිවීම, ආහාර රුචිය හෝ බර වෙනස් වීම, සැලකිය යුතු බර අඩු වීම හෝ බර වැඩිවීම - මාසයක් තුළ ශරීර බරෙන් සියයට 5කට වඩා වැඩි වෙනසක් ඇතිවීම, නිදිමත හෝ නින්ද නොයෑම කෝපය හෝ නුරුස්නා බව, ශක්තිය නැති වීම, තෙහෙට්ටුව, අලස බව සහ ශාරීරිකව සිඳී යන බවක් දැනීම, ස්වයං-පිළිකුල. වැදගැම්මකට නැති බව හෝ වරදකාරීත්වය පිළිබඳ දැඩි හැඟීම, නොසැලකිලිමත් හැසිරීම. මත්ද්‍රව්‍ය අනිසි භාවිතය, බලහත්කාරයෙන් සූදුව, නොසැලකිලිමත් ලෙස රිය පැදවීම හෝ භයානක ක්‍රීඩා වැනි පලායෑමේ හැසිරීම්වල නිරත වීම, අවධානය යොමු කිරීමේ ගැටලු, තීරණ ගැනීම හෝ දේවල් මතක තබා ගැනීම අපහසු වීම, පැහැදිලි කළ නොහැකි වේදනාවන් සහ වේදනාවන්, හිසරදය, පිටුපස වේදනාව, මාංශ පේශි කැක්කුම සහ බඩේ වේදනාව වැනි ශාරීරික පැමිණිලි වැඩි වීම ආදී ලක්ෂණ වැඩි හෝ අඩු වශයෙන් අපට ජීවිත කාලය තුළදී අත්දකින්නට සිදුවේ.

එහෙත් වඩාත්ම වැදගත් වෙන්නේ ඒවා හඳුනාගෙන උදව් උපකාර ලබා ගැනීමය. තමන්ගේ ළඟින්ම ඇසුරු කරන්නන්ට පවා ඔවුනොවුන්ගේ මේ කරදර කලබල වැටහෙන්නට නොහැකි වන්නට පුළුවන. එහෙත් යම් පීඩාකාරී ලක්ෂණ හඳුනාගත් සැණින් උපකාර කීරීම අත්‍යවශ්‍ය වේ. මා ඉදිරියේ සිනහවෙමින් බොහෝ විනෝදකාමීව සිටින කෙනෙක් ලෙස පෙනෙන මේ තරුණයාද මට කියා සිටින්නේ එයමය.

“හොඳ වෙලාවට මම ප්‍රතිකාරවලට යොමු වුණේ ඩොක්ට... හොඳ වෙලාවට එදා වතුර බෝතලයක් තිබ්බේ නැත්තේ?” සමුගනිද්දී ඔහු පැවසුවේය.

බොහෝ කලබල පිරුණු සමාජයෙන් නිරන්තරයෙන් එල්ලවෙන්නේ හිත බිඳෙන සුළු ආමන්ත්‍රණයන් ය. කිසිවකු අනෙකා ගැන සුමටව නොසිතන ලොවක මනසේ යුද්ධය ජය ගන්න බොහෝ වෙර වෑයමින් සිත හදාගත යුතුමය.

වෛද්‍ය [බෝධිනී සමරතුංග]

මාතෘකා