සුළඟ මහමෙරක

 ඡායාරූපය:

සුළඟ මහමෙරක

88, 89 යැයි කියූ සැණින් මතකයට එන්නේ භීම සමයකි. එම භීම සමයේ සිදුවුණා වූ බොහෝ දේ අපි අත්දැක ඇත්තෙමු. එම භීම සමයෙන් ඉනික්බිතිව නගරයෙන් එපිට හද්දා පිටිසර ගමක සිදුවන්නා වූ සමාජ විපර්යාසයන් පාදක කොටගත් ටෙලි නාට්‍යයකි සුළඟ මහමෙරක. සුදත් දේවප්‍රිය විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද මෙකී නිර්මාණය සති අන්තයේ 8.30 වැනි නිමේෂයේදී ජාතික රූපවාහිනී තිරයේ දිගහැරේ.

සුළඟ මහමෙරක ඉතා නොමේරූ අවධියේ යම් සටහනක් සිදුකළත් කතාව දලු ඉතිලා වැඩෙන විට තවත් නිහඬව සිටිය නොහැකිය. ඉන් මතු කරන සමාජ, දේශපාලනික, සංස්කෘතිකමය කතිකාවතින් මඟහැර යා නොහැකිය. 88, 89 කලබැගෑනිය සිදු වූ හේතුව, ඊට පසුබිම සකස් කළ දේශපාලන ප්‍රවාහය, ඉන් ඉතිහාසයට එක් කරන ලද කළු පැල්ලම් යනාදිය කොතකුත් සාකච්ඡා කර තිබේ. එහෙත් මෙම නිර්මාණය වඩා රසවත් වන්නේ එම මූලාශ්‍රයන් මඟහැර ගොස් වෙනත් හද්දාපිටිසර අහිංසක ගමක කතාව ස්ථානගත කිරීමයි. සහෝදරයන් දෙදෙනකුගේ පවුලක් වටා කතාව දිග හැරෙයි. පෙර යම් දිනක එකිනෙකා අතින් වූ යම් යම් දේ පිළිබඳව කාටකාටත් අඩු වැඩි වශයෙන් පසුතැවිල්ලක් ඇත. එය කරමත ලා ගත් කුරුසයක් ලෙසින් පසුපසින් පැමිණේ. නාට්‍යයෙහි ගැටුම ගොඩනැඟෙන්නේ අතීත සිදුවීම් සමඟ වර්තමානයේ එළඹෙන අවස්ථාවන්ට මුහුණ දීමේදීය.

හැටදහසක් තරුණයන් මියගොස් තිබේ. රට, ජාතිය පිළිබඳව අසීමාන්තික ප්‍රේමයෙන් විසූ හැටදාහක් මියගොස් අවසන්ය. ඉතිරි වූ උදවියගේ ජීවිතද ඇත්තේ පිරී ගිය ඛේදාන්තයකිනි. මූසල, මුඩුම දිවි පැවැත්මක් අබියස තව තවත් දේශපාලන සූදු කෙළීම්වලට ගම යොදා ගන්නා කසිප්පු මුදලාලිලාද දේශපාලන හෙංචයියලාද අභිමුව හෘද සාක්ෂිය විවර කරගත නොහැකිව ලතැවෙන තාරුණ්‍යයක් නාට්‍යයෙහි දිග හැරේ.

වරක් බලය වෙනුවෙන් ගමේ සිටි කොල්ලන් කෙල්ලන් දුසිම් ගණනක් පැහැරගෙන ගොස් මරා දැමූ දේශපාලනමය සල්ලි වෙනුවෙන් නැවත ගම විනාශ කරමින් තිබේ. කසිප්පු මුදලාලිලා විසින් පාසල වසා දමා එහි තම ව්‍යාපාර ඇරැඹීම නිසා පාසල් ගමන අහිමිවන දරුවන් පිළිබඳව කිසිවකුට කිසිදු නිනව්වක් නැත. අධ්‍යාපනය, අධ්‍යාපනයේ ඇති වැදගත්කම, අධ්‍යාපනය රටේ ජීවනාලිය යනාදී මෙකී නොකී කතා ඡන්ද කාලයේදී ඇසුනද ඉන් පසුව ජයග්‍රහණය කරන උදවියට හෝ පරාජය වූ කිසිවකුට එහි වගේ වගක් නැත. ඒ වෙනුවෙන් අරගල කරන මිනිසුන්ටද යා හැකි මඟ සීමාසහිතය. සමාජයක් වශයෙන් අප දිනෙන් දින පෙළෙමින් සිටින්නේ උපතින් ලද කර්මය නොව, අප විසින්ම ඡන්දයෙන් පත්කරගත් කර්මයයි. එය බිහිසුණුය, වේදනාකාරීය. එහෙත් අප ඒ බිහිසුණු අත්දැකීම අපි කැමැත්තෙන්ම නැවත නැවත උරුම කර ගනිමින් සිටින්නෙමු.

ටෙලිනාට්‍ය යැයි කියූ සැණින් අප සිත් තුළ මතුවන්නේ අපුල හැඟීමකි. සුළඟ මහමෙරක ප්‍රේක්ෂක සිත් ගැඹුරු දේශපාලනික කියවීමකට රැගෙන යා හැකි නිර්මාණයකි.

මාතෘකා