ඩාවින්චිගේ දැනුම් ප්‍රභවය

 ඡායාරූපය:

ඩාවින්චිගේ දැනුම් ප්‍රභවය

ලියනාඩෝ ඩාවින්චිව බොහෝ දෙනකු හඳුනන්නේ චිත්‍ර ශිල්පියකු ලෙස වුවත් පුනරුද සමයේ ජීවත්වූ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රඥයකු වූ ඔහු නව නිමැයුම්, චිත්‍ර ශිල්පය, මූර්ති ශිල්පය, ගෘහ නිර්මාණ ශිල්පය, විද්‍යාව, සංගීතය, ගණිතය, ඉන්ජිනේරු විද්‍යාව, සාහිත්‍යය, ව්‍යච්ඡේදය, භූ විද්‍යාව, තාරකා ශාස්ත්‍රය, උද්භිද විද්‍යාව, භූගෝල විද්‍යාව, සාහිත්‍යය වැනි විෂයන් සම්බන්ධ ප්‍රවිණයෙකි. එමෙන්ම පාෂාණිය ධාතු විද්‍යාවේ, දෘශ්‍ය රූප විද්‍යාවේ මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පයේ පියා ලෙස හැඳින්වෙන්නේද ලියනාඩෝය.

එහෙත් මුලින් පැවසුවාක් මෙන් ලියනාඩෝ ජනප්‍රිය වූයේ චිත්‍ර ශිල්පියකු ලෙසයි. සුප්‍රකට මොනාලිසා සිතුවම ඩාවින්චිගේ නිර්මාණයකි. ඔහුගේ ‘අවසන් භෝජන සංග්‍රහය’ යන සිතුවම ලෝකයේ වැඩිම වාරයක් නැවත ප්‍රතිනිර්මාණය කරන ලද ආගමික චිත්‍රය ලෙස හැඳින්වෙන අතර ඔහු විසින් අඳින ලද චිත්‍ර රැසක්ම එසේ ලොව විශිෂ්ටතම ඡායාරූප අතරට එක්විය.

මෙලෙස ලියනාඩෝ නිර්මාණශීලී බුද්ධිමත් මිනිසකු වීමට ඔහුගේ පවුල් පසුබිමින් යම් බලපෑමක් තිබුණේද යන්න පිළිබඳව පසුකාලීනව විද්‍යාඥයෝ පරීක්ෂණ සිදුකළහ. එහිදී ලියනාඩෝගේ පවුලේ මූලයන් ස්පඤ්ඤ හා මොරොක්කෝව වෙත පැතිර ගිය බවට තහවුරු වූ අතර වැඩිදුරටත් කියවුණේ ඔහුගේ සීයා වන අන්තෝනියෝ ඩාවින්චිගේ බලපෑම ලියනාඩෝට ලැබුණු බවයි. ලියනාඩෝ වැඩිවියට පත්වන තෙක් ඔහුගේ බාරකරුවා ලෙස කටයුතු කළේද අන්තෝනියෝය.

වින්සි කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ඇලෙසැන්ඩ්‍රෝ විසෝසි පවසන්නේ ඩාවින්චිගේ පවුල් ගස ට්‍රස්කන් ගම්මානයේ සිට බොහෝ ඈතට විහිදෙන බවයි. ඔහු ‘ලියනාඩෝ ඩී.එන්.ඒ. මූලය’ (Leonardo DNA: The Origins), නම් කෘතියේ සම කතුවරයකුද වේ.

එමෙන්ම මූලාශ්‍රවල දැක්වෙන පරිදි ලියනාඩෝගේ ඥාතීන් අතරින් විදෙස්ගතවී සිටියේ අන්තෝනියෝ පමණක් නොවේ. ලියනාඩෝ පියාගේ සීයා වන ගියෝවන්නි 1406දී බාසිලෝනාවේදී මියගිය අතර ගියෝවන්නිගේ පුතු වන ‍‍ෆේසිනෝ ස්පාඤඤයේ ජීවත්ව තිබිණි.

1452 අප්‍රේල් 15 වැනිදා ෆ්‍රැන්සිස්කෝහී විනිසාහී උපත ලැබූ ලියනාඩෝගේ පියා වන්නේ නොතාරිස්වරයකු වූ පියාරෝ ඩාවින්සිය. මව කත්රිනාය.

ලියනාඩෝ සිය පියාගේ නීත්‍යනුකුල දරුවකු නොවූ බව පැවසේ. ඔහු වසර පහක් පිරෙන තුරු අන්ඩ්‍රියානෝ නගරයේ ජීවත්වුවත් පසුව පියා වෙන විවාහයක් කර ගැනීම හේතුවෙන් වින්සිහි වෙසෙන තම සියා වන අන්තෝනියෝගේ බාරකාරීත්වය යටතට පත්වේ.

අන්තෝනියෝ ස්පාඤ්ඤයේ සහ මොරොක්කෝවල වෙළෙන්දෙක් ලෙස කටයුතු කර තිබේ. 1402දී ඔහු ලියූ ලිපියකට අනුව මොරොක්කෝවේදී ගම්මිරිස්, සායම්, ෆැබ්රික්, ලෙදර් හා මැලියම් ‍වෙළෙඳාමේ යෙදිණි. 1404දී ඔහු ස්පාඤ්ඤයේදී ආර්ගන්හි මාර්ටින් රජුට සේවය කළ සිය සොහොයුරා ෆ්‍රෙරෝසියෝ වෙනුවෙන් ඉතාලි වෙළෙන්දන්ගෙන් මුදල් එකතු කර ඇත.

පසුකලෙක ලියනාඩෝගේ සටහන් පරීක්ෂා කර බලන විට ස්පාඤ්ඤය ගැන බොහෝ තොරතුරු සටහන්ව තිබෙන අයුරු දක්නට ඇත. එහි මල්ඕර්කාවේ මිනිසුන් විසින් සොයා ගන්නා ලද නව යන්ත්‍රයක් ගැනද තොරතුරු සටහන්ව තිබේ. එසේම තවත් තැනක ‘ස්ට්‍රේට් ඔෆ් ස්පායින්’ සමුද්‍ර සන්ධියේදී වෙන තැන්වලට වඩා මුහුද රළු බව කියා තිබේ. මේ පිළිබඳව ලියනාඩෝ දැන ගත්තේ තම සීයා අන්තෝනි‍යෝ විසින් කියූ කතාවලින් බව පැහැදිලිය.

එමෙන්ම නෙපල්ස් සරසවියේ ඉතාලි සාහිත්‍යය පිළිබඳව කථිකාචාර්ය කාලෝ විසීට අනුව ලියනාඩොගේ මුල්කාලීන සිතුවම්වලට උදාහරණයක් ලෙස (Baptism of Christ) සිතුවමේ කාන්තාර පසුබිමට, (Annunciation) සිතුවමේ කඳු පන්තියට එරෙහිව ඇති මුහුදුබඩ නගරය සඳහාත් ඔහු සිය සීයාගෙන් ඇසූ කතාවල අභාසය ලැබී ඇත.

විශිෂ්ට ශාස්ත්‍රඥයෙක් බිහිවීම සඳහා බලපාන්නේ බුද්ධිමත්භාවයම පමණද? කුඩා කාලයේදී ලබන පාරම්පරික දැනුමෙන් හා ජානමය හේතූන් මතින් බලපෑමක් සිදුවන්නේ නැතිද? ලියනාඩෝ ඩාවින්චි විධිමත් අධ්‍යාපනයක් ලැබූවෙක් නොවීය. ලියනාඩෝ යනු විශ්විය මිනිසෙකි. බොහෝ මානව විද්‍යඥයන් පවසන ආකාරයට මහා මිනිසකු බවට පත්වීමට ඔහුට තම සියා වූ අන්තෝනියෝගේ ඇසුර බලපා ඇත. අප මේ කතා කළ කරුණුවලින්ද එය මනාව සනාථ වෙනවා නොවේද?

News Order: 
0
මාතෘකා