ගැහැනු තවමත් පූජනීයද?

 ඡායාරූපය:

ගැහැනු තවමත් පූජනීයද?

සමාජය තුළ ගැහැනියට හිමි වන්නේ විශේෂ තැනක්. ඒ හැම තැනකම ඇගේ ගැබ් දැරීමේ හැකියාව, මාතෘත්වය වැනි කාරණා ඉස්මතු වනවා. ඒ වගේම දියණියක් යනු පවුලටත් නිවසටත් සිරියාව මවන තැනැත්තියක් බව සමාජීය මතයයි. වර්තමානයේ අපි පීතෘ මූලික සමාජයක ජීවත් වුවත් ආදි යුගයේ පැවතුණේ මාතෘ මූලික සමාජ ක්‍රමයක් බවයි විශ්වාස කරන්නේ. මේ සියල්ලෙන්ම කියවෙන්නේ සමාජය විසින් ගැහැනිය පූජනීය බවකින් සැලකුම් ලැබූ බවයි.

නමුත් අද ලෝකයේ ගැහැනියට සමාජයේ හිමි ස්ථානය ගැන ඇත්තේ මීට වෙනස්ම අදහසක්. සංවර්ධන සංකල්පයේදී විතරක් නොවෙයි, පිරිමියාට වඩා ශාරීරිකව දුබල වීම නිසා ඔහුගෙන් ලබන කායික ලිංගික හිංසන නිසාත් රැකියාවේ හා අධ්‍යාපනයේදී දෙවැනි තැනට ඇද දමමින් කරන සැලකුම් නිසාත් සමාජයට බලපාන තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් කොන් කර ඇති නිසාත් යන කරුණු සියල්ල එකිනෙක සම්බන්ධ වීමෙන් අවසන් වශයෙන් මානසික හා කායිකව පීඩනයට ලක් වන්නේ පිරිමියාට වඩා කාන්තාව බවයි පිළි ගැනෙන්නේ. මේ නිසාම ලෝකයේ බොහෝ රටවල කාන්තාවන් සුරැකීම වෙනුවෙන් විශේෂ නීති වගේම ඒවා ක්‍රියාත්මක කිරීමට ආයතනත් ගොඩනැඟී තිබෙනවා.

මේ සියල්ලෙන් කියවෙන්නේ ගැහැනිය ඇයට හිමි ජීව විද්‍යාත්මක හා සංස්කෘතික වෙනස්කම් නිසා සමාජයේ විශේෂ වරප්‍රසාද ලබන පුද්ගලයකු බවට පත්වී සිටින බවයි.

නමුත් ගැහැනු තමන්ට ලැබුණ ඒ පූජනීය බව රැක ගන්නවාද?

එතැන තමයි ගැටලුව.

පසුගිය දවස්වල රටම කම්පා කළ ගැහැනු දෙදෙනකුගේ කෘර පහරදීමට ලක්වූ දැරියගේ සිදුවීම පිටුපස ඉන්නේත් ඔය කියන සමාජ වරප්‍රසාද අඩු නැතුව ලබන කාන්තාවන්ම තමයි. ඒ දෙදෙනාගෙන් කෙනෙක් ගැබ් දරන්නියක්. අනෙක් කාන්තාව රාජ්‍ය නිලධාරිනියක්. එතැනදී පීඩනයට පත්වන්නේත් නිවසක සිරියාව සහ ජීවය යනු 'දියණිය' යැයි අදහන අපේ සමාජයේම දියණියක්.

කාන්තාව සමාජයේ සුවිශේෂ පුද්ගලයකු කළ යුතු බවට සහතික ඉල්ලනවා නම් අර සිදුවීමට අදාළ වර්ගයේ කාන්තාවන් පාලනය කිරීම ගැනත් අපි විමසිය යුතුයි.

ප්‍රචණ්ඩකාරී පරිසරවල හැදුණු වැඩුණු, ජීවත්වන ඇතැම් කාන්තාවන්ගේ හැසිරීම් පිරිමින්ටත් වඩා සමාජ සම්මතයට එහා යන බව බොහෝ සිදුවීම්වලින් හඳුනාගත හැකියි. ඒ වගේමයි බොහෝම මෘදු සමාජ තලවලදී වුවත් කාන්තාවන් අතින්ම තවත් ගැහැනු දැඩි කුරිරුකම්වලට ලක්වන හැටිත් ඒ වෙනුවෙන් ඇතැම් කාන්තාවන්ම අසංවේදී සටහන් පළකරන ආකාරයත් අපිට දැකගැනීමට පුළුවන්. උදාහරණ විදියට ඔබට රාජ්‍ය ආයතනවල සේවය කරන ඇතැම් නිලධාරී මහත්මීන් සිහියට නඟාගත හැකියි.

මේ හැම දෙයකින්ම පෙනෙන්නේ මානව සමාජය හා සංස්කෘතිය විසින් ගැහැනියට නිර්ලෝභීව දී ඇති පූජනීයත්වය තව පැත්තකින් ඇය විසින්ම කෙලෙසා ගන්නා බවයි.

එම නිසා කාන්තාවන් ලෙස තමන්ට හිමි වරප්‍රසාද ගැන පමණක් වද නොවී අනුන්ට වදයක්, හිංසනයක් නොවෙන විදියට තමන්ගේ හැසිරීම් සහ වචන පාවිච්චි කරන්නට අදිටන් කරගන්නවා නම් එය තමයි සැබෑ ස්ත්‍රීත්වයේ පූජනීයත්වය. තවත් ගැහැනියකට නිගරු කරන්නට, චරිත සහතික, ලේබල් අලවන්නට පෙර ඇයද තමා වැනි ගැහැනියක බව වරක් හෝ සිහියට නඟා ගන්න.

[සජිනි උයන්ගොඩ]

මාතෘකා