ගල්, වැලි හා පස්

 ඡායාරූපය:

ගල්, වැලි හා පස්

ගල්, වැලි හා පස් ප්‍රවාහනයේදී ක්‍රියාත්මක බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට කැබිනට් තීරණයක් ගෙන තිබුණේ පසුගිය මාසය තුළය. ගල්, වැලි හා පස් ප්‍රවාහනයේදී බලපත්‍ර අනිවාර්ය කර තිබීමෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින බව ඇමතිවරු කිහිප දෙනකුම පෙන්වා දී තිබීම මෙයට හේතු වී තිබිණි. ඔවුන් පවසා සිටියේ ප්‍රවාහන බලපත්‍ර නිසා ගල්, වැලි සහ පස් මිල විශාල ලෙස වැඩි වී සාමාන්‍ය ජනතාවට ගෙයක් දොරක් පවා සාදා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන අතර මෙය මාෆියාවක් බවයි.

එහිදී තීරණය ගෙන තිබුණේ ගල්, වැලි හා පස් ප්‍රවාහනයේදී ක්‍රියාත්මක බලපත්‍ර ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අහෝසි කළ යුතු බවයි. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කර මේ ගැන සමාලෝචනයක් කළයුතු බවත් සාර්ථක අසාර්ථක බව බැලීමට මෙය ටික දිනක් ක්‍රියාත්මක කළ යුතු බවත් වැඩිදුරටත් තීරණය කර තිබිණි. එහෙත් පරිසරයට, සතා සිවුපාවාට මෙන්ම ජන ජීවිතයටද මෙයින් එල්ලවන බලපෑම පිළිබඳව ගැඹුරින් විමසා බැලීම වැදගත් බවයි ලියුම්කරුගේ අදහස.

මහා පරිමාණයෙන් සහ අවිධිමත් ආකාරයෙන් ගංගාවල වැලි ගොඩදැමීම නිසා මුහුදු ජලය රට තුළට පැමිණීම කැලණි, කළු සහ නිල්වලා වැනි ගංගාවල බරපතළ ප්‍රශ්නයක් බවට පත්වී ඇති බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ හේතුවෙන් ගොවිතැන් කිරීමේ අපහසුතා මෙන්ම පානීය ජල ගැටලුත් මතුවී තිබෙනවා. වියළි කාලයට කළු ගඟෙන් ජලය ලබා ගන්නා කළුතර හා තදාසන්න ප්‍රදේශවල ජනතාවට පරිභෝජනය කරන්න වෙලා තියෙන්නේ කරදිය මිශ්‍ර ජලය. ඒ වගේම නිල්වලා ගඟ ආශ්‍රිතව රට තුළට කිඹුල් උවදුර පැතිර යෑමටත් ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ වැලි කැණීම නිසා කරදිය රට ඇතුළට ගලා ඒමෙන් ජලයේ ලවණතාව ඉහළ ගිහින් ගැට කිඹුලන්ට නුසුදුසු පරිසර තත්ත්වයක් ඇතිවීම බව අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම ගංගා ඉවුරු ඛාදනය වීමෙන් මාර්ග, පාලම්, නිවාස, ගොඩනැඟිලි වැනි යටිතල පහසුකම් පවා අවදානමට ලක්වූ වාර අනන්තයි. ඒ වගේම ජලජ පරිසර පද්ධතිවල සමතුලිතතාව බිඳ වැටිලා ජීවී විශේෂවලට බරපතළ තර්ජන එල්ලවෙන්නත් මෙය හේතු වෙනවා. අක්‍රමවත් ආකාරයෙන් කළුගල් කැඩීමේ ආදීනව ගැනත් අමුතුවෙන් කියන්න ඕනෑ නැත්තේ පසුගිය කාලෙදී වලපනේ, මලපට්ටාව ප්‍රදේශයේ මිනිස් ජීවිත තුනක් රටට අහිමි වන්නට මෙවැනි අවිධිමත් ගල් කොරියක් හේතුවුණු නිසා. පස් කැණීම නිසා සිදුවන පාංශු ඛාදනය, රොන් මඩ තැන්පත් වී ජලාශ ගොඩවීම, වනජීවී වාසස්ථාන විනාශ වීම සහ නාය යෑම වැනි විපත්තිත් එහෙමයි.

නමුත් මේ සියලු බලපෑම් තඹ සතයකට මායිම් නොකර ගල්, වැලි හා පස් ජාවාරම මේ රට තුළ ක්‍රියාත්මක වෙන්නේ ඒ තුළ සංසරණය වන විශාල නීත්‍යනුකූල සහ නීතිවිරෝධී මුදල් සම්භාරය නිසා බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ මාෆියාව කෙතරම් බරපතලද කියනවා නම් ගල්, වැලි හා පස් මේ රටේ ක්‍රියාත්මක වන අන්ත දූෂිත ව්‍යාපාර බව හිටපු ජනාධිපතිවරයා පවා විවිධ අවස්ථාවල අවධාරණය කළා.

ඇතැමුන් මෙම තීරණය සාධාරණීකරණය කරන්නේ ‘ගල්, වැලි හා පස් ලබාගන්නා ස්ථාන සඳහා බලපත්‍ර ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක’ බව පවසමින්. නමුත් ඔය කියන බලපත්‍ර ක්‍රමය මේ දක්වාම ක්‍රියාත්මක වෙද්දීත් ඉහත සඳහන් කළ විපත්ති සියල්ල සිදුවී ඇත්තේ එම බලපත්‍ර කොන්දේසි නිසි පරිදි ක්‍රියාත්මක නොවන නිසා බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ වගේම මෙම බලපත්‍ර නිකුත්කිරීම සහ නියාමනය සිදුවන්නේ අන්ත දූෂිත රාජ්‍ය ආයතන හරහා බව වර්තමාන රජයේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වගකීමෙන් ප්‍රකාශ කරනවා.

හොරණ, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ වැලි ජාවාරමක් පිළිබඳව විමසා බැලීමට පසුගිය කාලේ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ගල්, වැලි හා පස් කැණීම සඳහා බලපත්‍ර නිකුත්කරන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සම්පූර්ණයෙන්ම ඉන්නේ ‘පට්ට හොරු ටිකක්’ බවයි. ඒ වගේම මෙවැනි පරිසරයට අහිතකර ව්‍යපෘති පිළිබඳව සොයාබැලීම සහ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පිහිටුවා ඇති මධ්‍යම පරිසර අධිකාරියෙහි ඉන්නේ ‘පට්ට හොරු’ බවත් ‘කොමිස් කුට්ටිය යනවා නම් උන් පර්මිට් දෙන’ බවත් ඔහු අවධාරණය කළා.

අවසානයේ සිදුවී ඇත්තේ මෙවැනි අන්ත දූෂිත ආයතන මඟින් නියාමනය කෙරෙන, මේ රටේ ක්‍රියාත්මක වන අන්ත දූෂිත ව්‍යාපාරයක් සඳහා තවදුරටත් සහන සැලසීම පමණයි.

ඒ අනුව කුමන හෝ කුප්‍රකට ක්‍රමයකින් ලොරියකට පටවා ගත් සැනින් සියලු ගල්, වැලි හා පස් නීත්‍යනුකූල බවට පත්වීම කනගාටුවට කරුණක්. එමඟින් සිදුවන්නේ ඉබ්බා දියේ දමා ඇන්නෑවේ කීවාට නොදෙවැනි දෙයක් බව වටහා ගැනීමට බලධාරීන්ට වැඩිකල් ගත නොවේවායි ලියුම්කරු පතනවා. මක්නිසාද එසේ නොවුණහොත් මෙම තීරණයෙන් පරිසරයට, සතා සිවුපාවාට මෙන්ම ජන ජීවිතයටද එල්ලවන බලපෑම් යළි නිවැරදි කිරීම සඳහා රටක් වශයෙන් අපට දරන්නට වන වියදම ගෙයක් හදාගන්න අඩු මිලට ගල්, වැලි හා පස් සපයාගැනීමෙන් සැලසුණු සොච්චම් ආර්ථික වාසියට වඩා ඉතා විශාල වන නිසා.

News Order: 
0
මාතෘකා