නිදහසේ සීමාව

 ඡායාරූපය:

නිදහසේ සීමාව

නිදහසේ යම් නිර්මාණයක් රස විඳින්නට, යළි යළිත් ආවර්ජනය කරමින් සංවාදයක යෙදෙන්නට ඇති යම් යම් කරුණු අතර කලාත්මක නිර්මාණයන්ට හිමි වන්නේ ප්‍රමුඛ තැනක්. ඒ ගැන අවිවාදාත්මකයි. එවන් නිර්මාණයක් වින්දනය කිරීමෙන් පසු කෙනකු සිතිවිලි ගොන්නක් හිතේ කෙළවරක බර දැනෙන තරමට රඳවා ගනිද්දී තවත් අයෙක් තමන් මෙතෙක් උසුලාගෙන හුන් සිතිවිලි පොදියක් නිදහසේ පා කර හැර සැහැල්ලුවක් හිමි කර ගන්නවා. එවන් නිදහස් විඳීමකදී තමන්ගේ හිමිකම, සීමාවන් නොදැන සිටීම නිසා තවකකු පත් වන්නේ කිව නොහැකි තරම් අසීරුතාවකටය.

දෙසැම්බර් පාසල් නිවාඩුව වසරේ ඇති අනෙක් පාසල් නිවාඩු කාලයන්ට වඩා සුවිශේෂයි. වසරක් පුරා දිගහැරුණු බොහොමයක් දේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවත් සුරක්‍ෂිතව පසෙකින් තබා නැවුම් වූ සියල්ලක් වැළඳ ගන්නට මඟ බලමින් ඉන්නා මාසයක් පුරා දිවෙන නිවාඩු කාලයක් වීම ඒ අතරින් පුමුඛයි. කෙනකු පීඩාකාරීව ගෙවීයන වසර දෙස හැරී බලද්දී තවත් කෙනකු අරමුණු ඉටුවීමේ තුටු සිත් ඇතිව නව වසර දිහා බලාගෙන ඉන්නවා. පාසල් දරුවන්ගේ මනසින් කඩයිම් විභාග පසුකර යෑමෙන් දැනෙන මානසික සතුට දෙසැම්බර් මාසයට අයිති දෙයක්.

සිනමා ශාලාවට ඇතුළු වෙන්න දිගු පෝළිමක්. විභාග මාසයකටම උචිත මාතෘකාවක් ඔස්සේ දිවෙන සිනමා සිත්තමක් නරඹන්න පෙළට එක් වුණු සහෝදර සහෝදරියන්ගේ සිතිවිලි සැහැල්ලුවෙන් එහා මෙහා පියාඹන බව පැහැදිලියි. ඔවුන්ගේ දෙබස්, යහළුවන් මුණ ගැසීමේ සතුට ආදිය ඒ සිතිවිලිවලට තටු දුන්නු සාධක. බැල්කනියට ඇතුළුවෙන දොරකඩ පටන් ආසන තෙක් ඇති පටු ඉඩ තීරුව මැද්දෙන් ගමන් කරන්න ඇත්තේ අපහසුවක්. දර්ශන වාරය ඇරඹිලා නොතිබුණත් ශාලාව පුරා අඩ අන්ධකාරය පැතිරිලා. පටු ඉඩ තීරුවක ගමන් කරන්න ඇති අපහසුව මැද්දේ නොපෙනෙන පරිසරයක ආසන හොයා ගන්න එක අභියෝගයක්. කෙනෙක් පියවර කිහිපයක් විසිවෙමින් ගමන් කරනවා. තවත් කෙනෙක් තමන්ගේ ජංගම දුරකථනයේ තිරය වීදි ලාම්පුව බවට පත් කරගෙන. අන්ධකාරයට දෑස් හුරු වෙන තුරු ඒ දිහා බලාගෙන ඉන්න කෙනෙක් තමන්ගේ අරමුණට සමීප වෙනවා.

පසුපස ආසනවල වාඩිවුණු සහෝදරයන් පිරිසක් තමන්ගේ නිදහසේ සතුට විඳිනවා. “අම්මෝ, විභාගෙන් පස්සේ දැනෙන නිදහස...” ඒ සංවාදය හොඳටම ප්‍රමාණවත්. ඔවුන් අවසන් වුණු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සහෝදරයන්. මේ හැම දෙයක්ම අතරේ ශාලාවේ වායු සමන යන්ත්‍රය අරගලයක් කරන බව අපේ ඇඟට දැනෙන කාලගුණ වෙනස්වීමෙන් පැහැදිලියි. විටෙක ශාලාවම සීතලෙන් ගැහෙන තරම්. ඒත් එක්කම මද්දහනේ ග්‍රීෂ්මය පැතිරෙනවා.

“මේ ළමයින්ට තේරෙන්නේ නැද්ද? අපි කොහොමද පැයක් දෙකක් මේ රස්නේ මැද්දෙන් හුස්ම ගන්නේ? අපට මැරෙන්නද කියන්නේ?” ඒ හඬ මඳක් ආවේගශීලීයි.

“දරුවනේ, මේ සීතල වැඩියි. අපි නිකම්ම ගල් වෙයි.” තවත් සංවාදයක්.

නිදහස බුක්ති විඳින සහෝදරයන් අතට වායුසමන යන්ත්‍රයේ දුරස්ථ පාලකය ලැබීම අපට දැනුණු කාලගුණ වෙනස්වීමේ සාධකය බව දැන් රහසක් නෙවෙයි. “අනේ ඇන්ටි හොඳට හුස්ම ගන්න. නැත්තන් අපි ෆිල්ම් එක බලලා හමාරයි” ඒ හඬ උපහාසය මුසු කරන තරම්.

මේ හැම දෙයක් මැදින් චිත්‍රපට දර්ශනය ඇරඹිලා. සිහින් සංගීත නාදය පැරණි ඉන්දියානු චිත්‍රපටයක් සිහිපත් කරන්න සමත් සිත් ගන්නා සුළු සංගීත රාවයක්. එක් රූප රාමුවක් දිගහැරෙන්නේ පංති කාමරයේ ගණිත ගුරුවරයාගේ බැරෑරුම් මුහුණ මුළු තිරයම වසාගෙනයි. ශිෂ්‍යයාගේ අසරණ හැඟීම් පෙනෙන මුහුණ ඒ තිරයෙම පුංචි ඉඩක් හොයද්දී ගුරුවරයාගේ තරවටු කිරීම මැද්දෙන් ශාලාවේ නිහඬ බව බිඳෙනවා.

“අනේ ඇත්තටම මෙහෙමත් ගුරුවරු. ඒ ළමයා මොනතරම් අසරණද?”

“ අම්මේ, කට පියාගෙන ඉන්නකෝ...”

දර්ශනයේ ඉන්න සිසුවාගේ මුහුණේ ඉරියව්වලටත් වඩා ඒ ඉල්ලීම නැඟුණු හඬ අසරණයි. මේ සිදුවීම් කිසිවක් නෙදෙන්න චිත්‍රපටය හෙමින් තමන්ගේ රාමු එක එක ලිහා දානවා.

“මමත් ළමයි දාස් ගාණකට උගන්නලා තියෙනවා. මෙහෙම සැර වැර කරලා ගණන් උගන්නලා නැහැ. මෙහෙම ඈයෝ සාපයක්.”

චිත්‍රපටය ගැන විචාරයන් දැන්මම ලැබෙනවා. රූප රාමු එකින් එක පුරුද්දන මගේ ඇස් ටික වෙලාවකට මේ උණුසුම් සංවාද ඇහෙන තැන් හොයනවා.

“මේ ඇන්ටි, අපි මේ ෆිල්ම් එක බලන්නද? එහෙමත් නැත්නම් ඇන්ටිගේ විචාරය අහන්නද...? ”

මේ වචන හරඹ මැද්දෙන් කාලය ගෙවිලා. චිත්‍රපටයේ සහභාගිත්වය ගැන සඳහන් නාම ලේඛනය දිගහැරෙන්න කලින් ශාලාව හිස් වෙලා. ඇත්තටම ඒ චිත්‍රපටයේ මාතෘකාව වගේම නරඹන්නන්ගේ අදහස් විෂමයි. සිනමා සිත්තමක රසය විඳින්න ශාලාවට ගොඩවැදුණු බොහෝ දෙනකුට ඒ රසය විඳින්න ලැබුණාද කියන දෙය නම් සැක සහිතයි.

අත්දැකීමෙන්, වයසින් පරිණත වැඩිහිටියන් කිහිප දෙනෙක් නිසා සිනමා කතාවේ රසය තබා දවසේ නිදහසවත් විඳගන්න නොලැබීම නම් කනගාටුවක්. අපට අපේ නිදහස බුක්ති විඳින්න අයිතියක් තියෙන බව නම් සත්‍යයක්. ඒත් ඒ නිදහසේ සීමාව කවුද සලකුණු කළ යුත්තේ. අප අපමයි.

“දැන් කාලේ හැදෙන ළමයින්ගේ කිසිම චාරයක් නැහැ...”

“මේ ළමයින්ගේ ආකල්ප හරි විෂමයි...”

මේ අදහස් දැක්වීම් කරන ඔබම තමන්ගේ සීමාවන් දැනටමත් වැරදි විදිහට සලකුණු කළ බව වටහා ගන්නට හැකි ඉසව්වකට පිය නැඟුවා නම් මේ සියල්ල මොනතරම් සුබදායි වෙයිද?

ඒත් එක්කම පැරණි කියමනක් මගේ මතකයට නැඟුණා. “ඔබේ නිදහසේ සීමාව, ඔබ අත රුඳෙන සැරයටියේ දිග අනෙකාගේ නාසය අසලින් නිමා වෙන සීමාවයි.”

මල්වර සඳ යට අපේ සිතිවිලි මල්වරද...?

මාතෘකා