කුණ්ඩලකේශීගේ කේශ කලාපය

 ඡායාරූපය:

කුණ්ඩලකේශීගේ කේශ කලාපය

මිනිස් සිරුරෙහි ඇති අංග අතුරින් හිස කෙස්වලට ලැබෙන්නේ වැදගත් තැනකි. සියලු දේ අනිත්‍ය බව මෙනෙහි කරන බෞද්ධයා ශරීරයේ එක් එක් අංගය සිහි පත් කරමින් පිළිකුල් භාවනාවක යෙදෙන විට මුලින් සිහි පත් කරන්නේ 'කෙස්' ය.

"කේසා ලෝමා නඛා දන්තා ..."

මේ පාඨයෙහි එන 'කේසා' යන පදය පාලි පදයකි. ඊට අනුරූප සංස්කෘත පදය 'කේශ' යන්න යි. ඒ පද දෙකම පද්‍ය රචනය සඳහා යොදා ගත නොහැකි ය. පද්‍යයෙහි එන්නේ 'කෙස්' යන පදය පමණකි. ඉංගිරිසියෙන් කෙස් හැඳින්වෙන්නේ 'hair' යන පදයෙනි.

'කේශ' යන සංස්කෘත පදය මුලට යෙදීමෙන් සැදුණු සමාස පද කිහිපයකි. ඉන් සමහරක් මෙසේ ය:

කේශ කලාපය - හිස අලංකාර කරන කෙස් සමූහය 'කේශ කලාපය' යි.

කේශ කල්‍යාණය - කාන්තාවක රූමත් වන්නේ ශරීර ලක්ෂණ පහක් නිසා යැයි අදහසකි. ඒ පඤ්ච කල්‍යාණය අතුරෙහි එකක් 'කේශ කල්‍යාණය' යි. නොපැසුණු, නිල්වන් පැහැයෙන් යුක්ත, උකුල තෙක් දික්ව වැවුණු කෙස් කලඹ, කේශ කල්‍යාණය ‍සේ සැලකේ. 'නිල්වන් පැහැය' සේ මෙහි ලා සැලකෙන්නේ තද කළු පැහැය යි.

කේශ ධාතු - බුදුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා අතුරින් එකක් 'කේශ ධාතු' යි. එනම් උන් වහන්සේගේ හිසෙහි වූ කෙස් රොදකි. එවැනි එක් කේශ ධාතූන් වහන්සේ නමක් බුදුන් වහන්සේ මහියංගණයට වැඩම කළ අවස්ථාවෙහි දී සමන් දෙවියන්ට දුන් බවත් එය මහියංගණ සෑයෙහි තැන්පත් කෙරුණු බවත් කියවේ.

එහෙත් බුදුන් වහන්සේ මුලින් ම ස්වකීය කේශ ධාතු දුන්නේ සමන් දෙවියන්ට නොව තපස්සු හා බල්ලුක යන වෙළඳ දෙබෑයන්ට ය. එයින් කීපයක් තිරිකුණාමලයට උතුරින් පිහිටි ගිරිහඬු සෑයෙහි ද කිහිපයක් බුරුමයෙහි රැංගූන් නුවර පිහිටි ස්වේදගොන් චෛත්‍යයෙහි ද තැන්පත් කළ බව කියවේ.

කේශ රචනාව - අංග රචනයෙහි දී පීරීම් හා ගෙතීම් ආදියෙන් හිස කෙස් සකස් කිරීම 'කේශ රචනාව' නමින් හැදින්වේ.

කේශ රංජනය - හිස කෙස් වඩ වඩාත් කළු පැහැ ගැන්වීම 'කේශ රංජනය' නම් වේ.

කේශච්ඡෙදනය - හිස කෙස් කැපීම හෝ සිඳීම 'කේශච්ඡෙදනය' යි. සිදුහත් කුමරු අනෝමා නදියෙන් එතෙර වුණු පසු තම අතින් ම තම හිස කෙස් කපා ගත් බව කියවේ. ඔහු සිය දකුණු අතින් කඩුව ගෙන වම් අතින් කෙස් වැටිය අල්ලා 'ඉතින් මා බුදු ‍වෙනවා නම් මේ කෙස් වැටිය අහසේ සිටිනවා ඇත, බුදු නොවනවා නම් බිමට වැටෙනවා ඇත' කියා කෙස් වැටිය ඡේදනය කළේය. කෙස් වැටිය යොදුනක් පමණ අහසට විහිදිණ. සක් දෙවිඳු මේ සියල්ල බලා හිඳ රන් කරඬුවකින් ඒ කේශ ධාතු පිළිගෙන තව්තිසාවෙහි දාගැබක තැන්පත් කළේය. එය 'සිළුමිණි සෑය' යන නමින් හැඳින්විණ. මේ සිද්ධිය හැඳින්වෙන්නේ 'කේශච්ඡෙදනය' යන පදයෙනි.

කේශ-කම්බිලි - බුදුන් වහන්සේ ජීවත් වූ සමයෙහි ම වූ උන් වහන්සේගේ ශාස්තෘවරයන් හය දෙනාගෙන් එක් කෙනෙකු හැඳින්වුණේ 'කේශ කම්බිලි' යන නමිනි. එතුමා ඒ නමින් හැඳින්වුණේ මිනිස් කෙසින් සකස් වුණු පොරෝණයක් පැලඳ සිටි හෙයිනැයි කියවේ. එතුමාගේ සම්පූර්ණ නාමය 'අජිත කේශකම්බිලි' විය.

කේශාග්‍රය - කෙස් වැටියේ කෙළවර '‍කේශාග්‍රය' නම් වේ. එය සැදෙන්නේ 'කේශ' හා 'අග්‍ර' යන පද දෙක සන්ධි වීමෙනි.

කේශාන්තයේ සිට පාදාන්තයට - ශරීරයෙහි උඩු කෙළවර පිහිටියේ කෙස් ය. පහළ කෙළවර පිහිටියේ පාද ය. එබැවින් මුළු ශරීරය ම අදහස් කරන විට 'කේශාන්තයේ පටන් පාදාන්තය දක්වා' යන වහර යෙදේ.

කුණ්ඩල කේශී - බුදුන් දවස ජීවත් වූ මහ ස්ථවිරීන් වහන්සේ ලා අතුරින් එක් නමක් හැඳින්වුණේ 'කුණ්ඩල-කේශී' යන නමිනි. ඕ තොමෝ දිවැස් ලත් තෙරණින් වහන්සේලා අතර අග තැන්පත් වූහ. ගිහිව සිටින කාලයෙහි ඈට නැමුණු කෙස් කලඹක් තිබුණු හෙයින් මෙනමින් හැඳින්වුණු බව කියවේ.

කේශර - සිංහයෙකුගේ බෙල්ලෙහි ඇති දික් ලොම් හැඳින්වෙන්නේ 'කේශර' යන පදයෙනි. එබැවින් එවැනි ලොම් ඇති සිංහයාට 'කේශර සිංහ' යන නම පට බැඳේ. ඔහුට 'කෙසරිඳු' යන ලැබෙන්නේ ද එහෙයිනි. ඒ පදය සැදෙන්නේ 'කෙසර' හා 'ඉඳු' යන දෙපදය සන්ධි වීමෙනි. කෙසර ඇති රජු ඔහු බැවිනි.

කෙස් - 'කේශර' යන සංස්කෘත පදය සිංහලයට ආවේ 'කෙස්' යනුවෙනි. ඒ පදය සහිත සමාස පද රැසක් සිංහලයෙහි යෙදේ:

කෙස් කලඹ - කේශ කලාපය 'කෙස් කලඹ' හෝ 'කෙස් කළඹ' යි.

කෙස් රොද - එක් කෙස් ගසක් 'කෙස් රොදක්' ය.

කෙස් වැටිය - කෙස් සමූහය 'කෙස් වැටිය' යි.

හිස කෙස් - හිසේ ඇති කෙස් 'හිස කෙස්' ය. එය කට වහරෙහි 'ඉස කෙස්', 'ඉස කෙයා', 'ඉස කෙය්යා', 'ඉස කේ' යනුවෙන් යෙදේ.

කෙසඟ - සිහින් සිරුරක් ඇත්තා 'කෙසඟ ' ය. කෙස් ගසක් තරම් සිහින් ඇඟක් ඇති නිසා විය හැකි ය.

[ජේ. බී. දිසානායක]

මාතෘකා