උපාධි!

 ඡායාරූපය:

උපාධි!

නන්දා මාලිනී ප්‍රවීණ ගායන ශිල්පිනිය වෙත පසුගියදා සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමිණි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන්ම මීට පෙර ප්‍රේමසිරි කේමදාස, වික්ටර් රත්නායක, රෝහණ වීරසිංහ, මාලිනී ෆොන්සේකා යන කලාකරුවනටද සම්මාන ආචාර්ය උපාධි පිරිනැමිණි. තවද ඉතිහාසය සලකතොත් කොළඹ විශ්වවිද්‍යාලයෙන් මාර්ටින් වික්‍රමසිංහයනට සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමුණු අතර පසුව

කේ. ජයතිලක, ඩබ්ලියු.ඒ. අබේසිංහ ආදීනටද එවැනි ආචාර්ය උපාධි පිරිනැමිණි. ගුණදාස අමරසේකරයනට සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමුණේ ඔහුගේ සාහිත්‍ය සේවය සලකාය - එහෙත් ඒ වන විට ඔහුට දන්ත වෛද්‍ය උපාධියක් තිබිණි. ආචාර්ය උපාධි හෑල්ලුවට ලක්ව ඇති අද වැනි යුගයක මේකී ආචාර්ය උපාධි සමාජ කතිකාවක් ඇති නොකළත් එය විශාල කතාබහක් ඇති කළ යුගයක් තිබිණි. ඒ, මර්වින් සිල්වා දේශපාලනඥයාට කොතැනින් හෝ ආචාර්ය උපාධියක් පිරිනැමුණු අවස්ථාවේදීය - ඔහු ආචාර්ය මර්වින් සිල්වා යැයි වැහැරීමට පටන්ගත් අවස්ථාවේය. සැබැවින්ම විශ්වවිද්‍යාලයකින් කෙනෙකුට ආචාර්ය උපාධියක් පිරිනමන්නේ ඇයි? සම්මාන ආචාර්ය උපාධිය හා සාමාන්‍ය ආචාර්ය උපාධිය අතර වෙනස කුමක්ද?

ආචාර්ය උපාධියකින් සිදු කෙරෙන්නේ නව දැනුමට පිළිගැනීමක් ලබාදීමය. නව දැනුම යනු මෙතෙක් අප අතර නොතිබුණු දැනුමකි. ඇලෙක්සැන්ඩර් ෆ්ෙලමින් 1942 වසරේ පෙනිසිලීන් ප්‍රතිජීවක ඖෂධය සොයා ගත් අතර ඔහු ඒ පිළිබඳ නිබන්ධනයක් - එය සොයාගත් ආකාරය පිළිබඳ ශාස්ත්‍රීය විවරණයක් - විශ්වවිද්‍යාලයකට ඉදිරිපත් කළේ නම් ඊට එම විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පිරිනැමීමට තිබිණි. ආචාර්ය උපාධියක් පිරිනැමීමට හේතුකාරක වනුයේ නව නිපැයුම නොවේ, නිපැයුම සොයාගත් ආකාරය පිළිබඳ ලිඛිත විවරණයය. ආචාර්ය උපාධිය පිරිනමනුයේ භාණ්ඩයකට නොවේ, ලේඛනයකටය. එය ශාස්ත්‍රීය ලේඛනයක් විය යුතුය. ඒ ලේඛනයෙන් විද්‍යාර්ථියා එක්කෝ මෙතෙක් නොතිබුණු දැනුමක් සම්පාදනය කළ යුතුය. නැත්නම් තිබෙන දැනුමක අඩුවක් පිරවිය යුතුය - දම්වැලක ගිලිහුණු පුරුකක් සවි කළ යුතුය. මීට එමට නිදසුන් දැක්විය හැකිය. ආදි මානවයා රූපාක්ෂරවලින් සාමාන්‍ය අක්ෂරවලට මාරු වීම අප දැනුම් පරාසයේ මෙතෙක් නොපැහැදිලි දැනුමකි. විද්‍යාර්ථියකුට මේ නොපැහැදිලි දැනුම ශාස්ත්‍රීය නිබන්ධනයකින් පැහැදිලි කිරීමට හැකි වුවහොත් ඊට ආචාර්ය උපාධියක් පිරිනැමිය හැකිය. එහිදී ඔහු සන්නිවේදනයේ නව හිඩැසක් පුරවන නිසාය. විද්‍යුත් මාධ්‍යයේ භාෂා භාවිතය අද අවුල්සහගතය. මේ අවුල ඇති වූ ආකාරය හා අවුල් නොවී ඒ යා යුතුව තිබූ දිශාව, වාග්විද්‍යාත්මක නිවැරදි බස් වහර කෙනෙකුට පැහැදිලි කිරීමට හැකි වුවහොත් ඊට ආචාර්ය උපාධියක් පිරිනැමිය හැකිය. මෙරට ආදිවාසියා හා ඔස්ට්‍රේලියානු ආදිවාසියා එකම දැනුම් වපසරියකින් යුතු වීම විද්‍යාත්මක, ශාස්ත්‍ර ගවේෂණයකින් පැහැදිලි කළ හැකි වුවහොත් ඊට ආචාර්ය උපාධියක් පිරිනැමිය යුතුය.

සම්මාන ආචාර්ය උපාධිය කෙබඳු එකක්ද? වෙසෙසින් කලාකරුවනට පිරිනමන සම්මාන ආචාර්ය උපාධිය කෙබඳුද?

ආචාර්ය උපාධිය දැනුම පිළිබඳ යමක් නම් දැනුම දෙආකාර බව කිව යුතුය. එක් දැනුම් විශේෂයක් අපේ මනසින්, බුද්ධියෙන් ග්‍රහණය කරගන්නා දැනුමය. විද්‍යාත්මක දැනුම, භාෂා ශාස්ත්‍ර දැනුම ඒ ආකාරය. අනෙක් දැනුම අප හදවතින් පසක් කරන දැනුමය. ප්‍රබන්ධයකින්, සිනමා කෘතියකින්, නාට්‍ය කෘතියකින්, සංගීත සන්ධ්වනියකින් අප ගන්නා අවබෝධය මේ ආකාර හදවතින් පසක් වන දැනුමකි. එය දැනුමක් නොවේ යැයි කිසිවකුට කිව නොහැකිය. සැබැවින්ම ඕනෑම සම්භාව්‍ය කලා කෘතියක් පිළිබඳව ශාස්ත්‍රීය අධ්‍යයනයක්, උපාධි පර්යේෂණයක් කළ හැකිය. එසේ කළ හැක්කේ එම කලා කෘතිය නව දැනුමක් සම්පාදනය කරන නිසාය - සෑම කලා කෘතියක්ම චින්තාවකි. කලාකරුවකුට සම්මාන ආචාර්ය උපාධියක් පිරිනමනුයේ ඔහුගේ මේ චින්තාව,

භාවාත්මක දැනුම ඇගයීමටය.

කලාවෙන් බිහි වන දැනුමට පරතෙරක් නැත. එහි සීමාමායිම් බොඳය. අප නන්දා මාලිනීගේ ගීතයක් සලකා බැලුවහොත් ඊට ඇගේ කටහඬින් දෙන භාවයන් හා ඈ නිපයන රස අන් ගායන ශිල්පිනියකට දීමට හෝ නිපයීමට නොහැකිය. වික්ටර් රත්නායක ඔහුගේ භාවාත්මක ගීතයකින් නිපයන රස නව දැනුමකි, උත්පාදනය කරන්නේ. මහගම සේකරගේ කාව්‍යයක ඇත්තේ රස පමණක් නොවේ. එහි අපරිමිත දැනුම් පදාසයක්ද තිබේ. ප්‍රේමසිරි කේමදාසගේ සංගීතය තුළ ජීවිතය සේම ලෝකයම ඇත. කෆ්කාගේ නවකතා දැනුම් ආකරයකි. දොස්තොයෙව්ස්කිගේ නවකතා, කෙටිකතා නිපයන දැනුම අපරිමිතය. සාංදෘෂ්ටිකවාදය (Existentialism) දාර්ශනික දැනුම් පදාසයකි. එය දාර්ශනික ඥාන මීමංසාවක් ලෙස ගොඩනැඟුයේ ෂොන් පොල් සාර්ත්‍රය. ඔහු චින්තකයෙකි. එහෙත් එම සාංදෘෂ්ටිකවාදයේම නිම්වළලු පුළුල් කළෝ කලාකරුවෝය. සාහිත්‍යකරුවෝය. සොරේන් කියැකගාර්ඩ්, දොස්තොයෙව්ස්කි, ඇල්බෙයා කැමූ ඊට නිදසුන්ය. ඔවුන් ඒ දැනුම කෙතරම් පුළුල් කර ඇද්ද යත් මේ වන විට කියැකගාර්ඩියානු සාංදෘෂ්ටිකවාදයක්, දොස්තොයෙව්ස්කියානු සාංදෘෂ්ටිකවාදයක් හා කැමූ සාංදෘෂ්ටිකවාදයක් වෙන වෙනම ඇත. සාහිත්‍යකරුවන් වීත් ඔවුනට දාර්ශනික ඥාන මීමංසාවක් ගොඩනැඟිය හැකි වූයේ කෙසේද? කලාවේ දැනුම් වපසරියක්ද ඇති නිසාය. චින්තකයකු නිමවන දැනුම හැම විටම නිශ්චිත සීමාවකින් අවසන් වේ. එහෙත් කලාකරුවකු නිපයන දැනුමේ සීමා මායිම් නැත. එය දේදුන්නක් වැනිය. නරඹන්නා අනුව එහි වර්ණ හඳුනාගත හැකිය. තවද කලාවේ දැනුම කාලය සමඟ ස්වභාවයෙන් යාවත්කාලීන වේ. නැතහොත් නව අරුත් ලබා ජීවමාන වේ. කෆ්කාගේ නවකතාවල ඥාන විභාගය අවබෝධ වන්නට වූයේ ඒ කෘති පළ වූ මුල් කාලයේ නොව පසු කාලයේය. දොස්තොයෙව්ස්කිගේද එසේය. මාර්ටින් වික්‍රමසිංහගේ නවකතා, කෙටිකතා නැවත කියවීමකට ලක් කළ යුතුය. ඉදින් මේ දැනුමට අප වටිනාකමක් දිය යුතුය.

අද ආචාර්ය උපාධිධරයන් මෙරට රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට විශාල වැටුප්තලවලට බඳවා ගනු ලැබේ. ආචාර්ය උපාධියක් ඇත්නම් ලොව ඕනෑම විශ්වවිද්‍යාලයක ආචාර්යවරයකු වශයෙන් බැඳිය හැක්කේ එරට පුරවැසිභාවයද සමඟය. ඒ එසේ විය යුතුය. එහෙත් ඒ පිළිගැනීම කලාකරුවනටත් - සැබෑ කලාකරුවනටත් - හිමි විය යුතුය.

උපාධිධරයකු තක්සේරු කෙරෙන්නේ දැනුම කියාපාන ඔහුගේ උපාධි නිබන්ධනය මතය. කලාකරුවකු තක්සේරු වන්නේ ඔහුගේ ප්‍රතිභාව මතය. ගැටලුව නම් කලාකරුවාගේ ප්‍රතිභාව මිනීමට හැම දෙනාටම නොහැකි වීමයි. අද නම් කලාකරුවන්, සාහිත්‍යකරුවන් තක්සේරු වන්නේ ඔවුන් ලැබූ සම්මානවල හා ඔවුනගේ ජනප්‍රියභාවය කරණ කොටය. කෙනෙකු සම්මාන වැඩි ගණනක් ලබා සහ පාරට ගිය විට හැම දෙනාම හඳුනන තරමට ජනප්‍රිය නම් ඔහුට අද පිළිගත් ආයතනයක ඇගයීමක් - ඇගයිය හැකි වැටුපක් - ලබා ගැනීම දුෂ්කර නැත. එහෙත් සෙසු අවස්ථාවල එසේ නැත. වරක් කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාවට ආරාධිත දේශකයන් බඳවා ගැනීම පිළිබඳ ගැටලුවකදී විශ්වවිද්‍යාලයෙන් පරිබාහිර ප්‍රවීණයකු ඊට සම්බන්ධ කර ගැනීම බැහැර කෙරුණේ විශ්වවිද්‍යාලයේම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු “එයාට උපාධියක් නැහැ” යි ඔහුට විරෝධය පෑමෙනි. කලාකරුවාගේ ගමන් පථය වෙනස් බව, ඔහුගේ ජීවන අධ්‍යාශය සනාතනික සත්‍යයක් වෙනුවෙන් බව ඔවුනට අවබෝධ නොවීය. කලාකරුවකු මිනිය හැක්කේ ඔහුගේ උපාධි සහතිකවලින් නොවේ. ඔහු හඹා යන්නේ උපාධියට වඩා පරමාදර්ශී දේකි. කලා කෘතිවලින් උපාධි ලබා ගැනීමට යුරෝපීය රටවල ඉඩ ප්‍රස්ථා තිබේ. එය අපේ නම් ඇති නොවිය යුතු යැයි හැඟෙන්නේ අද සැබෑ කලා කෘතිවලට වඩා ඇගයෙන්නේ ව්‍යාජ කලා කෘති බැවිනි. කෙසේ වුව කලාවේ ඥාන මීමංසාව, සැබෑ කලාකරුවාගේ අගය අප අවබෝධ කටයුතුය.

එක් අතකට කලාවේ ඥාන විභාගය කෙරෙන්නේ විචාරකයන් අතිනි. සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ නාටකයේ ඥාන විභාගය එදා විචාරකයන් අතින් කිසියම් දුරකට ඉටු වී ඇත. මට සිතෙන්නේ කලාකරුවකුට, ඔහුගේ කෘතියට හිමි නියම තැන ලැබෙන්නේ එවැනි ගැඹුරු විචාරවලිනි. කෆ්කාට, දොස්තොයෙව්ස්කිට හිමි තැන ලැබී ඇත්තේ එදා නොව අද බව කිව හැක්කේ මේ විචාර, විවරණවලිනි. අනෙක් අතට කලා කෘතියකට, කලාකරුවකුට තත් කාලීන සමාජයෙන් කිසිදු ඇගයීමක් නොලැබුණත් ඊට, ඔවුනට හිමි තැන අහිමි නොවන බව කිව යුතුය. උසස් සාහිත්‍ය කෘතියක් විචාරකයන් කෙසේ ගරහා අවප්‍රමාණ කළත් ඊට හිමි තැන අහිමි වන්නේ නැත. තවද අවර ගණයේ කෘතියක්, අවර ගණයේ සාහිත්‍යකරුවකු කෙතරම් මුදුන් අත්තේ තැබුවද ඒ එතැන පවතින්නේ නැත. මේ දිනවල කපිල කුමාර කාලිංගගේ ‘අදිසි නදිය’ නවකතාව ගැන සමාජ මාධ්‍යවලත් අන් තැන්වලත් කෙළවරක් නැති වැණීම්, ආවැඩීම් දක්නට ලැබේ. ඒවා බැලූ විට පැහැදිලි වන දෙයක් තිබේ. එක්කෝ ඔවුන් ඒ පොත කියවා නැති බවයි. නැත්නම් ඔවුන් අවරසිකයන් බවයි. කෙනෙකු සැබෑ කතාකරුවකු නම් ඔහුට මෙවැනි ආවැඩීම්වලින් මුළා නොවීමට හැකි විය යුතුය. ඇත්ත වශයෙන් ප්‍රබන්ධ කෘතියකට හිමි තැන දෙන්නේ පාඨකයන්, විචාරකයන් නොවේ, ප්‍රබන්ධ කෘතියමය. අප හැම දෙනාටම වඩා පොත ගැන දන්නේ පොතමය. පාඨකයන් කළ යුත්තේ පොත රහසින් කියන සැබෑ කතාව අසා ගැනීමයි. සාහිත්‍යකරුවා, කලාකරුවා උසස් නම් ඔහුට පාවාඩ එලූවද නොඑලූවද ඔහුට හිමි තැන නැති වන්නේ නැත. සැබෑ කලාකරුවා තමාගේ තැන මේ යැයි සොයා යන්නේද නැත. ආචාර්ය උපාධි ඔහුට සැලකිය යුතු දෙයක් නොවේ. ඔහුට සැලකිය හැකි එකම දේ ජීවිතයය. ඔහු සසල වන්නේ ජීවිතය හා මනුෂ්‍යත්වයෙනි. අප සැබෑ රසික ලෝකයක් නම් අප හිස නැමිය යුත්තේ බැවහැර ලෝකයේ කිරුම් මිණුම්වලට හසු නොවී ඔහු යන උත්තර ගමනටය.

මාතෘකා