වාරණය හා සත්‍යය

 ඡායාරූපය:

වාරණය හා සත්‍යය

ගුරුගොඩ සිරිවිමල හිමි

ශක්තික සත්කුමාර ලියූ “අර්ධ” කෙටි කතාව සමාජයේ මහත් ආන්දෝලනයකට ලක් විය. එහි නිර්මාණාත්මක රසයන් විවේචනය නොකරමින් දෘෂ්ටිවාදය හෝ නොගනිමින් යම් සිවුරු දරාගත් කණ්ඩායමක් (ඔවුන් භික්ෂූන් යැයි පැවසීම වරදකි) ශක්තිකට එරෙහිව අධිකරණයේ කරුණු ඉදිරිපත් කරමින් මේ මහපොළොවේ නිර්මාණාත්මකව පැළවිය යුතු දෘෂ්ටිවාදයක් සහමුලින්ම මුලිනුපුටා දැමීය. ඒ නිර්මාණය මා කියවාගත් පරිදි වත්මන් භික්ෂු පරපුරේ අර්බුදය ගැන යම් ඉඟියක් දෙන නිර්මාණයකි. එකී දෘෂ්ටිය මේ මහපොළොවේ පැළවූවා නම් හෙට බිහිවෙන තරුණ භික්ෂූන් ඛේදාන්තයකට නොයා ඉන් මිදීමට අවැසි අවකාශය සාධනය වෙනවා යැයි මම විශ්වාස කරමි.

කෙ‍‍සේවුවද පාඨක සිවුරු දරන්නන් කණ්ඩායම මෙකී දෘෂ්ටිය නැමැති සර්පයාගේ නැට්ටෙන් අල්ලාගන්නට විය. ඉන් නිර්මාණයටත් සකල නිර්මාණකරුවන්ටත් සෘජු අසාධාරණයක් විය. එය නැවත කෙසේ නිවැරදි කළ හැකිද යන්න පිළිබඳව මට අදහසක් නැත. මන්දයත් තවදුරටත් පාඨක සමාජයක් ලෙස පාඨකයා ඉල්ලා සිටින්නේ කාකි නිල ඇඳුමෙන් වසා ගත් නෛතික විචාරයක්ම වන නිසාය.

එකී විචාරය ඔවුන්ටම තබා ගන්න යැයි කියමින් ශක්තික නැමැති ලේඛකයා, සැමියා, පියා යන සකල වගකීම් නියෝජනය කරන මේ මහපොළොවේ මිනිසත්කම් පැළකරන්නට උත්සුක වන්නා පිළිබඳ යමක් ලියමි.

ඔහු ලියූ කෙටි කතාව ඉතා නීරස එකකි. එය ඔහු විසින් ලියන ලද කෙටිකතා කලින් කියැවූ මා වැන්නකුට ශක්තික නම් නිර්මාණකාරයාගේ අවසාන සමය දැයි සිතෙන තරමටම අදහස් පහළ විය. අනවශ්‍ය ලෙස රැඩිකල් වීමට ගොස් පොට වරද්දාගත් ලේඛකයකු ලෙස මට ඔහුව දැනේ.

මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ නිර්මාණයේ ඇති හොඳ නරක නොවන නිසා ඒ පිළිබඳව කතා නොකරමි. මේ ලියන්නේ ශක්තික නම් නිර්මාණකාරයාට සිදු වූ අසාධාරණය පිළිබඳවය.

මෙතුවක් කල් සාහිත්‍ය නිර්මාණයන්හි විචාරයන් සිදු කළේ ඒ සඳහා වෙන් වූ පාඨකයා සහ සාහිත්‍ය උගතුන්ය. එකී සමාජයට පොලිස්, ලෝයර්, හාමුදුරුවරු, පූජකවරු, විවිධ විෂයප්‍රාප්ත මහාචාර්යවරුන්ගේ සිට සමාජයේ සෑම ක්ෂේත්‍රයකම අය උනන්දු විය. එය හුදෙක් සාහිත්‍ය තුළින් පුද්ගල කෝන්තර පිරිමසා ගැනීමට එල්ල කරන ලද අවියක් නොවීය.

මේ තත්ත්වයේ බීත ස්වභාවය වැඩීමට පටන්ගත් අතර එහි ප්‍රතිඵලය වූයේ සාහිත්‍යකරුවාගේ සැබෑ මෙහෙවර කරමින් සිටි නිර්මාණකරුවන් කුදලාගෙන ගොස් සිරගත කිරීමය. එකී තත්ත්වයට පත්වෙමින් ශක්තික සත්කුමාරද පසුගිය දිනෙක නීතිමය ප්‍රශ්නයකට මැදි වී සිරබත් කන්නටද සිදු විය. එය ඉතා ඛේදජනක සිදුවීමකි. මෙකී අර්ධ නම් කෙටිකතාව යම් අයකුට විවේචනය කළ යුතුව තිබුණේ සාහිත්‍ය විචාරයක් ලෙසින්ය. ඒ වෙනුවට පොලිසියෙන් හෝ ආගමික වහන්තරා තුළ සිරගත වෙමින් සිටින අන්ධ භක්තික මන්ද බුද්ධිකයන්ගේ හොඳ හෝ නරක කීම කෙටි කතාවකට අවශ්‍ය වන්නේම නැත. තම සීමාව ඉක්මවා යමින්, බුදුන් වහන්සේට අපහාස වෙනවා යැයි කියමින් සැබැවින්ම බුදුන් වහන්සේට අපහාස කළේ සංඝරත්නය යැයි කියා ගන්නා; ප්‍රශ්නයක් ඇති කළ චීවරධාරීන්මය. ඔවුහු සිය ශාස්තෘන් වදාළ ධර්මය උල්ලංඝනය කරමින් සාහිත්‍යයත්, ආගමත්, දර්ශනයත් එකට පටලවා ගනිමින් දැනටමත් අච්චාරුවක් වී සැදැහැවත් බෞද්ධයාටද බෞද්ධකම එපා කරවන්නට වූහ.

මෙහිදී සාහිත්‍ය හුදෙක්ම සාහිත්‍යයක් ලෙසින් දැකිය යුතු වීම සිදුවිය යුතුව තිබුණත් එය අවියක් කරගනිමින් මං පොර මානසිකත්වයෙන් බුදුන් වහන්සේට අපහාස වනවා යැයි නඩු දැමීම යුක්ති යුක්තද යන්න පිළිබඳව සාකච්ඡා කළ යුතුය. බුදුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතරින් “කොපුව තුළ සැඟවුණු පුරුෂ නිමිත්ත” යන්න ශක්තිකගේ කෙටි කතාව තුළ ප්‍රශ්න කර ඇත. එය ලේඛකයාගේ භාෂණයේ අයිතියකි. මෙහිදී පළමු වැන්න නම් බුදු දහම යනු කිසිලෙසකින්වත් ප්‍රශ්න කිරීම නොකරන්න යැයි කියූ දහමක් නොවේ යන්නයි. ඒ අනුව ශක්තිකට දහම් පොත පතේ පැනෙන යම් දෙයක් වෙත්නම් ප්‍රශ්න කිරීමේ අයිතිය ඇත. එසේම එය බුද්ධකාලීන සංඝයා විසින්ද සිදු කරන ලද බවට තොරතුරු ලැබේ. දෙවැන්න නම් එවැනි පුරුෂ ලක්ෂණ බුදුන්ට ඇත්තෙන්ම තිබුණාද යන්නයි. එය සාහිත්‍යාත්මකව බුදුන් වහන්සේගේ දහම බමුණු සමාජය තුළත් පසුකාලීනව හින්දූන්ට මුහුණ දීම පිණිසත් රැගෙන ආ එකල සාහිත්‍යයේ පැනෙන්නකි. එය සැබෑ බුදු දහම ලෙස ගැනීම සැබෑ බෞද්ධයකුට කළ නොහැකි දෙයකි. භික්ෂුවකට නම් තරම් නොවේමය.

සාහිත්‍යයේ ඇති එවැනි මිථ්‍යා කතාන්දර යථාර්ථවාදීව ප්‍රශ්න කිරීමට ලේඛනයේ යෙදෙන්නකුට අයිතියක් ඇත. එහිදී එය සාහිත් ප්‍රබන්ධයක් ලෙස ගන්නා පාඨකයා මෙහි යථාවාදය විමර්ශනය කරනවා විනා බුදුන්ට අපහාස වී යැයි ආදී ගොන් කතා කීම පාඨක කාර්යය නොවන සේම උගත් පොලිස් මහත්වරුන්ද දත යුතු කරුණකි. සාහිත්‍ය විචාල කළ යුත්තේ හිරකූඩුවල හෝ පොලිස් ස්ථානවල නොවේ. ඉන් පිටත වූ ශිෂ්ට පරිසරයේය. එහිදී රසඥතාවකින් යුත් පාඨකයන් පමණක් විචාරය සිදු කළ විට හොඳටෝම සෑහේ.

එසේම මෙහිදී වැදගත් වන කරුණක් වන්නේ මින් බෞද්ධ හුදී ජනයාගේ හැඟීම්වලට හානියක් සිදුවීද යන්නයි. එය කිසිසේත්ම සිදුවී නොමැත යන්නට බෞද්ධ පාඨකයකු ලෙස මමද පෙනී සිටිමි. මගේ හැඟීම්වලටනම් අර්ධ නිර්මාණය තුළින් හානියක් නොවීය. තවද ශක්තික විසින් කරන ලද මේ කෙටි කතාව හැර අනෙකුත් කවි සේම කෙටි කතා තුළින්ද කිසියම් පාර්ශ්වයකට හානියක් නොවූ බව කිව යුතුය. මාගේ පෞද්ගලික විශ්වාසය නම් පවත්නා දැඩි අන්තවාදී මත ස්වරූපයන් නිසා මෙවැනි තත්ත්වයක් නඩු දැමූ චීවරධාරීන් තුළද තිබෙන්නට ඇත. එය හොඳින් පැහැදිලි වන්නේ නඩු දැමීම සඳහා ඉවහල් කරගන්නා පනත් කෙටුම්පතය. ඒ පිළිබඳව මට වැඩි කියැවීමක් නොමැති නමුත් බරපතල චෝදනාවකට වරදකාරයකු කිරීම සඳහා ගෙන්වන පනතකින් කෙටිකතාවක් වැනි කිසිදු ආකාරයක හිංසනයක් නොවන සාහිත්‍යානන්දය ඇති කරවන දෙයකට නඩු පැවරීම ඉතාමත් වැරදිය.

අනික නම් මෙය සන්නිවේදනය කර ඇති මාධ්‍යයද සැලකිය යුතුය. එය මුද්‍රිත නොවන මුහුණුපොත වැනි සමාජ මාධ්‍යයක සංසරණය කරවූවකි. පසුව එයද නිර්මාණකරුවා විසින්ම ඉවත් කරගන්නා ලද්දකි. එය නැවත නැවතත් ප්‍රසිද්ධ වූවා නම් වූයේ ප්‍රතිපාක්ෂිකයා විසින්ම සමාජ මාධ්‍යයට එය නැවත මුදා හැරීම තුළිනි.

මෙවැනි කාරණා තුළින් නිගමන කිහිපයකට එළැඹීමට මට හැකියාව ඇත.

01. ශක්තිකට වැටුණු සාහිත්‍ය වාරණය හුදු ආගම්වාදී ස්වරූපයකි.

02. පිරිනිවන් පෑ බුදුන්වහන්සේට හා ශක්තික වැනි චූල මිනිසකුට බුදුන්වහන්සේ වැන්නකුට අපහාස නොකළ හැකි බව.

03. ප්‍රතිපාර්ශ්වය විසින්ම ඔවුන් ගෙනෙන තර්ක අමු අමුවේම බිඳහෙළා ඇති බව‍

මාතෘකා