ගැහැනුන්ට ඕනෑ මොනවාද?

 ඡායාරූපය:

ගැහැනුන්ට ඕනෑ මොනවාද?

 

ගැහැනිය සංවේදනය අතින් පිරිමියාට වඩා වෙනස් වන්නීය. ශාරීරික, මානසික කාරණා පමණක් නොව සංස්කෘතික ඉගැන්වීම්ද ගැහැනිය වැඩි සංවේදනයකට නැඹුරු කිරීමට පොලඹවයි. කුඩා වියේදී ගැහැනු දරුවන් අතට බෝනික්කන් දෙන විට පිරිමි දරුවන් සෙල්ලම් වාහන, සෙල්ලම් තුවක්කු වැනි දෙයින් සනසවයි. මෙහි සංස්කෘතික කියවීම ගැහැනිය මෘදු හදක් ඇත්තියක විය යුතු බවයි. මේ මෘදු හදවත නිසාම පිරිමින් "මේක අඬන්නටත් කාරණාවක්දැයි " හිස කසමින් සිතා බලද්දී ගැහැනිය ඉකි ගසමින් කඳුළු ගංගාවක්ද වගුරුවා අවසානය. බොහෝ ගැහැනු-පිරිමි සබඳතාවල පිරිමියාගේ වරදක් නැතත් ඔහුට නොවැටහෙන සංවේදී කාරණා එම සබඳතාව පළුදු කිරීමට සමත් වේ. ඒ නිසාම තමන් ගැන හිතන්නේ නැත යැයි සිතමින් ගැහැනු සුපුරුදු මැසිවිල්ලෙන් පසුවන විට වරද කුමක්දැයි සිතමින් පිරිමි නිරන්තර කලකිරීමෙනි.

බොහෝ යහපත් පිරිමි ගැහැනියට ගෘහයක් තනා දෙයි. රැකවරණය සලසයි. පෝෂණය සඳහා මුදල්, ආහාර ද්‍රව්‍ය සපයයි. වැඩ පහසු වන්නට උපකරණ, භාණ්ඩ රැගෙන දෙයි. නමුත් මේ සියල්ලත් ලැබෙන ඇතැම් තැනක දෙදෙනා නොරිස්සුමෙනි. හුදකලාව හෙළන සුසුම් බොහෝය. එකිනෙකාට විවෘත අදහස් දැක්වීම්, සුමුදු කතාබහ නැති පාළු අම්බලම් මෙන් ගෙවල්ය. රූපවාහිනියට, දුරකථනයට ඇබ්බැහි වීම් බොහෝය. බොහෝ කොටම මේ ගැටලු දුර දිග ගෙනියන්නේ කාන්තාවයි. ඒ ඇය හිතන පතනා දේ හි නොලැබීමක් නිසාය. සියල්ල සැපිරූ තැනක ගැහැනියකගේ නිරන්තර මිමිණිලි ඇය අන්‍යයන් අතර විශේෂයෙන් සැමියාගේ පවුලේ අය ඉදිරිපිට විවේචනයට බඳුන් වෙයි. මෙය දෙන්නදෙමහල්ලන් අතර සුළු නෝක්කාඩුව තවත් දුරදිගක යැවීමකි.

පිරිමින් ආතතියෙන් තොරව ජීවත් වීමට කැමැත්තෝය. ගැහැනුන් සියලු දේ සුන්දරත්වය දකින්නට වැඩි නැඹුරුව ඇත්තෝය. මෙනිසා පිරිමින් පතන ජීවිතය ලබන්නට ඇතැම්විට ගැහැනුන් ඉදිරියේ කරන්නට ඇත්තේ බොහෝ සුළු දේවල් බව වටහා ගැනීම වටී.

ගැහැනු ආදරය දැක්වීම, ස්පර්ශය ප්‍රිය කරන්නේය. අනපේක්ෂිත ආදරණීය වැලඳ ගැනීමකින්, හිස මත තබන මුදු හාදුවකින්, හිස අතගෑමකින් මේ බව දැන්විය හැකිය. දැන් තමන් එළැඹෙමින් සිටින්නේ මැදිවියටය හෝ දරුවන් සිටීය යන්න ආදරය නොදැක්වීමට හේතුපාඨ නොවේ.

ගැහැනු තමා නිරන්තරව අගයනවාට කැමතිය. ඉඳහිට කරන පොඩි වර්ණනාවක් පමණක් නොව ඇය වෙත හෙළන ආඩම්බරය, ගෞරවය මුසු බැල්මක්, ඉඟියක් වුවද සෑහේ. ගැහැනිය වඩාත් පිළිගැනීම ලබන්නට කැමති වන්නේ සිය පිරිමියාගේ දෑස අබියසයි.

ගැහැනු තම සැමියාගේ, පෙම්වතාගේ ඇසට තමන් රූපත්ව දිස් වෙනවාට කැමතිය. විවාහයකින් හෝ දීර්ඝ ආශ්‍රයකින් පසුව සබඳතාව ස්ථාවර වන විට බොහෝ පිරිමින් සිතන්නේ ගෘහීය යුතුකම් හැර තව දුරටත් ඇය දෙස ආදරණීය බැලුම්, ඉඟි වැදගත් නොවන බවයි. නමුත් බොහෝ ගැහැනුන් පිරිමින්ගේ මේ අවධානය මඳ කමෙන් පීඩා විඳිති. ප්‍රේම කරනා අවධියෙහි පිරිමියාගේ පසුම්බියෙහි තම ඡායාරූපය, සිහිවටන තබා ගන්නවාට බොහෝ ගැහැනු ආසා කරති. මුහුණුපොතෙහි ගැහැනු බහුල ලෙසම තම ආදරවන්තයාගේ හෝ සැමියාගේ ඡායාරූප ප්‍රදර්ශනය කරද්දී ඇතැම් පිරිමි ඒ ගැන සංවේදීතාව රහිතව සිටිති. ඉඳහිටක හෝ ඇයගේ රුවින් මුහුණුපොත සැරසීමකින්, ඉල්ලීමකින් තොරව ඇයගේ රූපය කැමරා කාචයකට ගැනීමකින්, විශේෂයෙන් ඇය සැරසුණ දිනක කනට ළංව සුන්දරත්වය වර්ණනා කිරීමෙන්, තව ලස්සන වන්නට කුඩා ආයිත්තම් දීමෙන් ඇයගේ වත තවම ඔබට සුන්දරව දිස්වන බවට විශ්වාසයක් ජනිත වනු ඇත. බොහෝ සැක කිරීම් දුරුව යනු ඇත.

ගැහැනු , පිරිමියා තමා ඉදිරියේ විවෘත වනවාට කැමතිය. ප්‍රේම කරන අවධියේ කෙසේ වුවද දෙන්නා දෙමහල්ලන් වූ පසු පිරිමි බමුණු වත සපුරන්නෝය. පිරිමි සිතන්නේ තම රාජකාරීමය හෝ දෛනික කටයුතුවලින් ගැහැනියට වැඩක් නැති බවයි. ඇරැත් ඇය ගෘහ කටයුතුවලින් කාර්යබහුල වන විට අසා සිටින්නේ නැති බවයි. නමුත් ගැහැනිය ද්විත්ව කාර්යයන් කිරීමට මනස සැකසී ඇත්තියකි. උයමන, දරුවන්ගේ වැඩ සමඟ ඔහුට ඇහුම්කන් දෙන්නට ඇය බලා සිටී. ආතතීන් හෝ කතාබහ අවශ්‍යතා සිතෙහි තෙරපා නොගෙන ඇය හා කුලුපගව දිනපතා කතා කිරීමෙන් ඔහු තමන් විශ්වාස කරන බවට හැඟීම ගැහැනිය තුළ දලුලනු ඇත. එය ශක්තිමත් සබඳතාවක ඉදිරි පියවරකි.

ගැහැනු ඉඳහිට ලබන ත්‍යාග, පුදුම කිරීම්වලට කැමතිය. මේ කැමත්ත මිල අධික භාණ්ඩ, තරුපහේ හෝටල්වල නවාතැන් හෝ භෝජන පමණකින් කළයුතු ඒවා නොවේ. දෙදෙනාට හෝ ඇයට වැදගත් වන සැමරුම් නැති දිනක ඇය රුචි කරන යම් දෙයක් රැගෙන දීමම ප්‍රමාණවත්ය. මේ සඳහා සමහර විට පිරිමියා කිසිදු උපයෝගීතාවක් නැතැයි සිතන කුඩා විසිතුරු භාණ්ඩයක් විය හැකිය.

ගැහැනු ප්‍රේම කරන අවධියේ මෙන් තමන්ට කොන්දේසි විරහිත රැකවරණය ලැබෙනවාට කැමත්තෝ වෙති. ඇය පෙළන යම් ගැටලුවකදී තමා වෙනුවෙන් ඔහු සිටිතියි උදක්ම බලාපොරොත්තු වේ. ඇයගේ ගැටලුවට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය වෙත කඩුපොලු අමෝරා ගැනීම නොව ඇය ළඟ හිඳ දයාබර ආමන්ත්‍රණයකින් සැනසීම එහිදී වටිනාම දේ වනු ඇත.

මේ සියල්ල ගැහැනු විෂයයෙහි ඇයගේ ඇසින් දැක කරන කතා වන අතර පිරිමින්ටද පිළිගැනීම, ආදරය දැක්වීම, ගෞරවය සම්බන්ධ අපමණ චෝදනා, යෝජනා ඇති බවද සපුරාම විශ්වාස කරමි. වඩා සුහදශීලී කතාබහකින් ඒ සියල්ලම විසඳාගත හැකි දේ වන බව ද දක්වමි.

 

[සජිනි උයන්ගොඩ]

මාතෘකා