මවාපෑම් නවතනු!

 ඡායාරූපය:

මවාපෑම් නවතනු!

ටයිම්ස් සඟරාවේ පසුගිය ජුනි කලාපයේ කවරය සකසා තිබුණේ එකසත් ජාතීන්ගේ සංගමයේ මහා ලේම්වරයා වන අන්තෝනියෝ ගුටේරස්ගේ රුවිනි. ලොව දේශගුණික විපර්යාසට අධි සංවේදී වෙරළතීරයක් වන තුවාලු රාජ්‍යයේ වෙරළතීරයක දණහිසක් ගැඹුරට මුහුදු ජලයේ ගීලී සිටි ඔහු ගේ රුව දකින ඕනෑම කෙනෙකුට ගෝලීය පාරිසරික විපර්යාසය කෙතරම් සංකීර්ණ අඩියකට පත්ව ඇත්ද යන්න අවබෝධ වෙයි. ඔහුට පෙර සිටි මහා ලේකම්වර බෑන්කී මූන්ද මේ පිළිබඳ අවධානය යොමු කළ අතරම ඔහු විසින් මේ පිළිබඳ හඩක් නැඟීම සඳහා දේශගුණ විපර්සාය පිළිබඳ දැනුවත් කිරීම සඳහා වූ එකසත් ජාතීන්ගේ සාම දූතවරයා ලෙස හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ පත් කරන ලද්දේය. එකී තනතුරට පත්වීමෙන් අනතුරුව ඔහු ගෝලීය දේශගුණික විපර්යාසයට ලක්ව ඇති අධි සංවේදී කලාප ගණනාවක සංචාරය කොට ලබාගත් අත්දැකීම් 2014 සැප්තැම්බර් මාසයේ 23 වන දින එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය විසින් පැවත්වූ ගෝලීය දේශගුණික සමුළුවට සහභාගී වූ රාජ්‍ය, ව්‍යාපාරික සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් විශාල ප්‍රමාණයක් ඉදිරියේ ප්‍රකාශයට පත් කළේය.

ඔහු තම කතාව ඉදිරිපත් කිරීමට පෙර දිනයක සංගමයේ මහා ලේකම්වරයා සමඟ සහ තවත් ලක්ෂ හතරක් පමණ වූ පරිසර හිතකාමී ජනකායක් සමඟ නිව්යෝර්ක් නගරයේ වීදී දිගේ ඇවිද යමින් සාමකාමී රැලියක්ද පැවැත්වූයේය. ඔහු තම කතාව සඳහා එමඟින්ද අනුප්‍රාණයක් ලැබූ අතර ඔහු විසින් කළ මෙම කතාව මේවන විට මිලියන ගණනක පිරිසක් නරඹා ඇත. එය දේශගුණ විපර්යාසයට එරෙහිවීම සඳහා වූ ‘ඩිකැප්‍රියානු සාධකයක්‘ බවට පත්වෙමින් ඒ සඳහා කටයුතු කරන දහස් ගණනක් වූ ක්‍රියාකාරීන්ට විශාල අභිප්‍රෙරණයක් ලබාදී ඇත.

ඔහු තම කතාව මෙලෙස ඇරඹුවේය.

-ගරු ලේකම්තුමනි, මම මෙහි නැඟී සිටින්නේ මෙම විෂය පිළිබඳ ප්‍රාමාණිකයෙකුටත් වඩා පෙර දිනයක නිව්යෝර්ක් නුවර වීදී දිගේ අත් අල්ලා ඇවිද යමින් ගෝලීය දේශගුණ විපර්යාසයට එරෙහි වූ, එහි ආදීනව පිළිබඳ වඩාත් සංවේදී වූන්ගෙන් එකෙකු වශයෙන් මෙන්ම ලොව පුරා විසිරී සිටින එබඳු බිලියන ගණනක් වූ වැසියන් නියෝජනය කරමිනි.

ගරු ලේකම්තුමනි, වෘත්තියෙන් මම නළුවෙක් වෙමි. මම දිවි සරිකරගන්නේ වෙනත් අයගේ ජීවිත අනුකරණය කරමින් මවා පාමිනි. ව්‍යාජ ප්‍රශ්න විසඳමින් ව්‍යාජ දිවියක් ගත කිරීම මගේ වෘත්තීය දිවිය තුළ මට උරුම වූ දෙයයි.

මට දැනෙන ආකාරයට මනුෂ්‍ය වර්ගයාද දේශගුණ විපර්යාස දෙස බලා ඇත්තේ එලෙසින් වන බව මඟේ හැඟීමයි. එනම් ඔවුන් එය ප්‍රබන්ධයක් ලෙස සලකා ඇත. එය මායාවක් ලෙස ගෙන ඇති ඔවුන් මෙකී මායාව කෙසේ හෝ වියැකී යන බව සිතන්නට පෙළඹී ඇති බව මඟේ හැඟීමයි.

එහෙත් සත්‍ය එය නොවෙයි. සෑම සතියකට වරක් මෙම තත්ත්වය වඩාත් සංකීර්ණ වන බව අපි අත්දකිමු. ලොව එක් තැනක පීඩාකාරී නියඟ තත්ත්වයන් වර්ධන වෙමින් පවතින අතර, මුහුදු පතුලෙන් නැඟන මීතේන් වායුවෙන් මුහුදු දිය ආම්ලික වී ඇත. පෙරදී විද්‍යාඥයින් විසින් පුරෝකතනය කළාට දශක ගණක පෙරදීම බටහිර ඇන්ටාර්ක්ටිකාවේ සහ ග්‍රීන්ලන්තයේ හිම තට්ටු දිය වීමට පටන්ගෙන ඇත.

මේ කිසිවක් වගාලාප හෝ හිස්ටෙරික ප්‍රකාශයන් නොව, එය අප අත් දකින සත්‍යයි. කර්මාන්ත, විවිධ රජයන්, එක්සත් ජනපද හමුදාව පවා එය හොඳට දන්නා කරුණකි. එක්සත් ජනපද නාවික හමුදාවේ පැසිෆික් කලාපීය අණ දෙන්නා වන අද්මිරාල් සැමුවෙල් ලොක්ලියර් මෑතකදී ප්‍රකාශ කළේ, දේශගුණ විපර්යාස අප මුහුණ දී ඇති වඩාත් දරුණුම ආරක්ෂක ගැටලුව බවයි.

මගේ මිත්‍රවරුනි, මෙම සංගමයට ඇතැම් විටක ඉතිහාසයේ බිහි වූ අන් කවර එකමුතුවකටත් වඩා මෙම ගැටලුවට සෘජුවම මුහුණ දීමට සිදු වී ඇති අතර මෙය සැබවින්ම ජයගත හැකි කාර්යයකි. ඔව්, සත්‍ය වශයෙන්ම අපට නව ඉතිහාසයක් නිර්මාණය කළ හැකිය, නැතිනම් කිසිවක් නොකළා සේ ඉතිහාසගත විය හැකිය.

පැහැදිලිවම කිව්වොත් මම මේ කතා කරන්නේ, ජනතාවට තම නිවෙස් වල විදුලි බුබුළු වෙනස් කිරීමට හෝ හයිබ්‍රිඩ් මෝටර් රථයක් මිලදී ගන්නා ලෙස දැනුවත් කිරීමට එහා ගිය දෙයකි. සැබවින්ම මෙම අර්බුදය එබඳු පුද්ගල තෝරාගැනීම් වලට එහා ගිය දෙයකි. එය ගෝලීය රාජ්‍යයන් සහ බහු ජාතික සංගම්වලින් ගනු ලබන තීරණාත්මක වඩා පුළුල් ක්‍රියාකාරීත්වය මත තීරණය වීම දක්වා වර්ධනය වී ඇත. මෙයට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා මේ සුදුසුම මොහොතයි.

කාබන් ඩයොක්සියිඩ් වායුව පරිසරයට මුදාහැරීම වෙනුවෙන් අප මිලක් නියම කළ යුතුය. ෆොසිල ඉන්ධන, ගල් අඟුරු ලබාගැනීම වෙනුවෙන් විවිධ රජයන් විසින් එකී සමාගම්වලට කරනු ලබන දිරිදීමනා වහා නතර කළ යුතුය. නිදහස් වෙළඳ ආර්ථිකය නාමයෙන් කාර්මික දූෂකයන් වෙනුවෙන් ලබාදී ඇති සියලු වරප්‍රසාද වහා වැළකිය යුතු වෙයි. සැබවින්ම ඔවුන්ට අපගේ බදු මුලින් ශතයක් හෝ හිමි නොවිය යුතුය. අවසානයේ අපගේ පාරිසරික පද්ධතිය බිඳ වැටුණොත් ඒ සියලු අර්ථක්‍රමයක්ම බිඳ වැටෙනු ඇත.

මෙය බලය බෙදා වෙන් කිරීම පිළිබඳ විවාදයක් නොව, මනුෂ්‍යත්වය සහ එහි අනාගතය පිළිබඳ විවාදයකි. අනෙක් අතට මෙම අර්බුදය විසඳීම දේශපාලන කාරණයක් නොව, එය අප සමස්ත මානව වර්ගයාගේ පැවැත්ම පිළිබඳ කාරණයක්ද වෙයි. පිරිසිදු වාතය, ජීවත්වීමට සුදුසු පරිසරයක් යන දෑ සෑම මනුෂ්‍යයකු සතු අනුල්ලංඝනීය අයිතිවාසිකම් වෙයි.

ගෞරවණීය සමාජිකයිනි, ලෝක නායකයිනි, ව්‍යාජ දිවියක් මවා පෑම මගේ රැකියාවයි. නමුත් ඔබ සියලු දෙනා එසේ නොකරන බව මගේ විශ්වාසයයි.

මෙම ගැටලුවට ධෛර්යමත්ව සහ අවංකව මුහුණ දෙන මෙන් මම ඉතා කාරුණිකව ඔබ ගෙන් ඉල්ලා සිටිමි.

මාතෘකා