විවාහකයාගේ ප්‍රේමප්‍රාප්තිය අපේම මුහුණුවරයි

 ඡායාරූපය:

විවාහකයාගේ ප්‍රේමප්‍රාප්තිය අපේම මුහුණුවරයි

කිසියම් ජීවිත සන්ධිස්ථානයකදී ස්වකීය ජීවිතය දෙස සිංහාවලෝකනයෙන් බැලීම ඕනෑම මිනිසෙකු විසින් දැන හෝ නොදැන සිදු කරන කාර්යයකි. එහිදී මග දෙපස මගහැරුණ හෝ අතැරදමා ගිය යම් යම් දේ පිළිබඳව සියුම් නිරීක්ෂණයන් සිදු කෙරෙන්නේද ඒවා පිළිබඳ වූ නොස්ටැල්ජියානු රසයට ඇති ලොල් බව නිසාමය. සංවේදී පුද්ගලයෙකු මේ හැම අත්දැකීමක් තුළම පෙරළා ජීවිතය දකියි. කවියෙක් වැනි සියුම් නිරීක්ෂණාක්ෂියක් ඇත්තෙකු මේවා විනිවිද ගොස් ජීවිතය පතුලේ ඇති හරයාත්මක දෙයක් ඩැහැගනී. ඒ තුළින් යළි ජීවිතය කියවා ගැනීමට රසික පර්ශදවලට හඬ ගසයි.

ජයන්ත කහටපිටිය නම් වූ ලේඛකයාගේ පළමු කවිපොත වන “විවාහකයා ගේ ප්‍රේමප්‍රාප්තිය” ජීවිතයේ අති සියුම් කලාපයන් තුළ නොස්ටැල්ජියානු පින්සලකින් අඳින සිතුවම්වලින් ගහන කාව්‍ය එකතුවකි. මෙහිදී කවියා ගේ මූලික අධ්‍යාශය වන්නේ ප්‍රේමය නම් අති සියුම් මානව බැඳීම විවිධ මානයන්ගෙන් තේරුම් ගැනීමට රසිකයා කැඳවීමයි. විවාහකයෙකුට සිය විවාහයෙන් පසු අහිමි වන ප්‍රේමය මෙන්ම, සමාජය විසින් විවාහකයෙකුට ප්‍රේම කිරීම අහිමි කිරීම යන දෙයාකාරයෙන්ම උපන් සංවේදනාවන් කහටෙගේ නිර්මාණ තුළ යටින් ගලන ඉකිබිඳුමයි.

තණ බිම්, දෙනි පෙත් මැදින් දුවන

හුදකලා දුම්රිය සැරියක අතර

ඇගේ ඇඟිලි

මගේ මූණු පොත් බිත්තිය මත දුවනවා

 

ගෙවා ගත නුහුණු මගේ රාත්‍රිය

ඇගේ දහවල යාකරන

අන්තර්ජාලයක අප හමු වෙනවා

(මගේ රාත්‍රිය ඇගේ දහවල - පිටුව 09)

නිවස තුළ හුදකලා වන විවාහකයා දුරු රටක සිටින සිය පෙම්වතිය මුණ ගැසෙන්නේ නූතන තාක්ෂණය ඔස්සේය. ඔහුට මතකයට එන්නේ ඇන්ටන් චෙකෝෆ් ගේ බල්ලා කැටුව යන කාන්තාව කෙටිකතාවේ එන පෙම්වතුන්ය. එහෙත් මේ ප්‍රේමයේදී කිසිදිනෙක පෙම්වතුන්ට භෞතිකව හමුවීමට නොහැකිය. එවිට ප්‍රේමයට පැවැත්මක් තිබේද?

අතථ්‍ය යථාර්ථවාදී ප්‍රේමයක

සනීපය

කොතෙක් කල් රැඳෙයිද?

තොල් සිපුමක ගිනියම් සිසිල

කෙඳිරිල්ලක් සුසුමක් නොවිඳ

ගිවිස ගත්තත් ඉන්න හැකිවෙද?

රචකයා අසන්නේ මේ ප්‍රේමයටද අවසානයේ අත්වන්නේ ගුරෝෆ්ට- ඇනාට අත්වෙන ඉරණමද කියාය.

කහටෙගේ නිර්මාණ තුළ දැකිය හැකි අනෙක් කාරණය වන්නේ දාර්ශනික මතවාදයන්හි සියුම් ගලායෑමයි.

දුක් සළුව පොරෝගත් මගියෙකුට

හුදකලා දුම්රිය නැවතුමක

කොහේ සිට හෝ

සැනසීම අසුන් ගත් දුම්රියක්

එනු ඇතැයි මග බැලූ

දීර්ඝතම රාත්‍රියක් වාගේය ජීවිතය

(මගේ හැඬුම් වාරය පැමිණ ඇත - පිටුව 18)

ජීවිතය තුළින්ම නිපන් නොපැවතීම, ක්‍රමක්ෂයවීම, අවසානයේ අංශූන් බවට පත් වී වියැකී යෑම වැනි පොදු ධර්මතාවන් දෙස සාන්දෘෂ්ටිකවාදී දෘෂ්ටිකෝණයෙන් බැලීම කහටෙගේ නිර්මාණ රැසක දක්නට ලැබේ.

‘තාමත් ඇය ළඟ අසුන හිස්’ වැනි නිර්මාණයක් අපට ජීවිතයේ මඟහැරෙන ඉතා සියුම් අවස්ථාවන් පිළිබඳ අපූරු සිතුවමකි. මඟ හැරීම හා ඒ තුළින් උපදින හිස්කම මෙම නිර්මාණයේ ආත්මයයි. ඇය අසල හිස් අසුනේ හිඳ සිටියද අප්‍රකාශිත ආදරයකින් පසු වූ තරුණයාට වසර 20කට පසුවද අර කාන්තාව මුණ ගැසේ. එවරද ඇය අසල බස් අසුන හිස්ය.

හෝරාවක් තරම් තත්පරයකට පසුව

ඇය පළමු වරට පැනයක් අසන්නී

‘ඇයි ඒ පුටුවෙ ආයිත් වාඩි වුණේ නැත්තේ?’

 

අවුරුදු විස්සක්ම මට වද දීලත්

පිළිතුරක් කල්පනාවට නාව ප්‍රශ්නය.

(තාමත් ඇය ළඟ අසුන හිස් - පිටුව 22)

‘ඇය ඉන්නේ ළංවෙන්න බැරි ඈතක’, ‘විවාහකයාගේ ප්‍රේමප්‍රාප්තිය’, ‘ආගන්තුකයන්ගේ අහඹු හමුවීම් ජීවිත දිශාව වෙනස් කරයි’, ‘කාටත් මග ඇරුණු අරවින්දගේ ලිපිය’, ‘තාමත් ඒ සපත්තුව මගෙ අතේ’ වැනි නිර්මාණ තුළ අපට හමු වන්නේ ජීවිතයේ විවිධ අවස්ථාවන් මඟහැරගත් මිනිසුන් හා ගැහැනුන් ගේ වේදනාවන්ය.

‘තරු මිදුල’ වැනි කවියක කහටෙගේ දාර්ශනික මුහුණුවර මතු වී පෙනේ. ග්‍රීක දර්ශනවාදයෙන් හා තාරකා ශාස්ත්‍රයෙන් අලෝලනය වූ ඔහුගේ මනස මෙම නිර්මාණයෙන් මනාව ප්‍රතිනිර්මාණය වේ.

තාරකා ඔබට මග කියනු නොපෙන්ද?

සුමේරියානුවෙක් තරුවකින් මිදුලට බසියි.

තරු අතර තැබූ විට වීරයන්

අමරණීයයි.

ග්‍රීකයෙක් උගුරැස්ස ගහට මාරු වෙයි

( තරු මිදුල - පිටුව 50)

“විවාහකයාගේ ප්‍රේමප්‍රාප්තිය” කෘතියේදී කහටෙ නිර්මාණය කරන කවි බසෙහි අපූරු නව්‍ය රූපක හා උපමා කිහිපයක් හමුවේ. එය කවියෙකු භාෂාව සිය අන්තේවාසිකයකු කර ගැනීම ප්‍රකට කරන්නකි.

‘වලාවක් යෝධ බිම්මලක් සේ’, ‘තාර ගෑවුණු අහස යට’, ‘දම්පාට සීක්වීන්ස් ඇල්ලූ මන්දාකිණි අහසක’, ‘කාන්සිය සර්පයෙකු සේ’, ‘මිය යමින් ගී ගයන පක්ෂියෙකු සේ’, ‘තරු ගවුම හැඳි අහස’, ‘ඩිජිටල් මතකයන්’ වැනි රූපකාර්ථවත් යෙදුම් කවියේ රුව ගුණ නිරන්තරයෙන් ඔසවා තබයි. භාවිත කොට යල්පැනගිය උපමා - රූපකයන්ට වඩා මේවායින් හමන්නේ නැවුම් සුවඳකි.

ආදරය හා මුසු වන දාර්ශනික බව ආදරයේ ඇති සෞම්‍ය ස්වාභාවයට හානිකර වන බව ගැබ් වූ නිර්මාණයකි ‘පණ්ඩිතයෙකුට ඒදණ්ඩකි ආදරය’ කවිය.

ගොඩාක්ම ආදරයෙන් ඉන්න මොහොතක

පනිමුද ලෝකාන්තයෙන් පහළට

හැබැයි අත් අල්ලාගෙන

 

ඇයි අත් අල්ලා ගන්නේ..?

පිළිතුරේ සැඟවුණ ප්‍රශ්නය

ඇය මගෙන් අසයි

 

මට ඔයා සැකයි.

ඔයා ඒ පිළිතුරට කැමති ද?

(පණ්ඩිතයෙකුට ඒදණ්ඩකි ආදරය - පිටුව 31)

කෙසේ වෙතත් ජයන්ත කහටපිටිය නම් වූ කවියා සිය ප්‍රථම කෘතියෙන්ම අපට පවසන්නේ ඔහු වෙනස් මගක් ගත් කවියෙකු බවයි. “විවාහකයා ගේ ප්‍රේමප්‍රාප්තිය”කාව්‍ය නිර්මාණ එකතුව මිනිස් ජීවිතයේ සියුම් තලයන් කවියට හසුකරගෙන පෙරළා ඒ තුළින් අපම කියවා ගන්නට අපව පොළඹාලන කවියෙකුගේ ආගමනය කාටත් සොරෙන් සටහන් කරයි.

[කපිල එම්. ගමගේ]

මාතෘකා