ජනතාව රජ කරවීම

 ඡායාරූපය:

ජනතාව රජ කරවීම

පසුගිය සතියේ මාතෘකාව වූයේ “නීතිය වන්නේ රජුය” යනුවෙනි. එය “නීතිය යනු රජුය” යනුවෙන් නිවැරිදි විය යුතුය. තෝමස් පේන්ගේ ප්‍රකාශයේ සඳහන් වූයේ “නීතිය යනු රජුය” (Law is the King) කියාය. ව්‍යවස්ථාවක් උත්තරීතර කිරීම මගින් නීතිය රජු බවට කරන අතර එම නීතිය පුද්ගල නිදහස ආරක්ෂා කරන ව්‍යාකරණයක් ලෙස සැකසිය යුතු බව ඔහු සඳහන් කළේය.

එම අදහස් තුළ ව්‍යවස්ථානුකූල පාලනයේ පදනම් මූල ධර්ම ඉදිරිපත් විය. ඒ අනුව නියම ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ හැක්කේ ව්‍යවස්ථාව මගින් අපේක්ෂා දෙකක් ඉටු කර දුනහොත්ය. පළමුවැන්න ජනතාව විසින් තෝරා පත් කර ගන්නා පාලකයින්ට අසීමිත බලයක් ලැබීම වැළැක්වීමය. දෙවැන්න පාලකයින් සඳහා යොදන සීමාවන් මගින් පුද්ගල නිදහස උපරිම වශයෙන් භුක්ති විඳීමට පුරවැසියන්ට අවස්ථාව සලසා දීමය.

ඇමරිකානු ව්‍යවසථා සම්පාදනය පමණක් නොව සමකාලීනව ව්‍යවස්ථාවකට යටත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ඇති කිරීමට මැදිහත්වූ ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය යන රටවල සිදු වූ ආණ්ඩු පෙරළිවලදී සිදු වූයේත් මෙයයි. පරමාධිපති ජනතාව විසින් ඡන්දයෙන් තෝරා ගත් නිසා අපට ඕනෑම දෙයක් කරන්නට හැකිය යන අදහස පාලකයන් විසින් ඉදිරිපත් කිරීම මේ පෙරළි වලදී ප්‍රතික්‍ෂේප කරන ලදි. පාලකයන් ද ජනතාවද නීතියට යටත් කරන ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍ර වාදය හඳුන්වා දෙන ලදි. මේ මගින් ව්‍යවස්ථානුකූල පාලන ක්‍රමය ජනතාව නියම වශයෙන් රජුන් බවට පත් කරන්නට තිබෙන හොඳම ක්‍රමය බවට පත් කරන ලදි.

ජනතාව රජ කරවීම තමන්ගේ ප්‍රාර්ථනය බව අපේ දේශපාලන නායකයින් නිතර කරන ප්‍රකාශයකි. නිදහස ලැබුණ අවස්ථාවේදී අපට විදේශයක උපත ලැබූ ව්‍යවස්ථාවක් ලැබුණේ යයි කියමින් අප “දේශජ ව්‍යවස්ථාවක්” (දේශීය උපතක් ඇති ව්‍යවස්ථාවක්) සොයා ගෙන ගිය ගමනේදී ප්‍රකාශ වූයේත් මෙයයි. 1972දී සහ 1978දී ජනතාව රජ කරවීමට යයි කියමින් සැකසූ “දේශජ ව්‍යවස්ථා” අවසානයේදී සිදුකළේ ජනතාව රජ කරවීම නොවේ. ඔවුන්ගේ ඡන්දයෙන් පත්වන පාලකයන් රජුන් බවට පත් කරවීමය.

1972 ව්‍යවස්ථාව බලතල බෙදාහැරීම වෙනුවට බලතල සංකේන්ද්‍රණය මූලික ලක්ෂණය බවට පත් කර ගත්තේය. ජාතික රාජ්‍ය සභාව නමින් හැඳින්වූ මහජන මණ්ත්‍රණ සභාව අතට ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ යන ත්‍රිවිධ බලතල කේන්ද්‍රගත කරන ලදි. එය රාජ්‍යයේ උත්තරීතර ආයතනය යයි හඳුන්වන ලදි. එහෙත් ප්‍රායෝගිකව සිදු වූයේ ආණ්ඩුවේ බලතල සියල්ල විධායකයේ ග්‍රහණයට නතු කර ගැනීමට අවස්ථාව සලසා දීමය. ජාතික රාජ්‍ය සභාව එහි බහුතරය අයත්වූ පක්ෂයේ විධායක නායකයින් විසින් මෙහෙයවූ නිසා සිදු වූයේ අගමැති විධායකය ජාතික රාජ්‍ය සභාව සතු බලය තමන්ගේ දේශපාලන බලය ගොඩ නැගීම සඳහා යොදා ගැනීමය.

මේ ක්‍රියා මාර්ගයෙන් පහර වැදුණේ අධිකරණයට සහ රාජ්‍ය සේවාවටය. එම ආයතන දෙක සඳහා පැවති ස්වාධීන කොමිසන් සභා ඉවත් කොට කැබිනට් දේශපාලන බලයට යටත්ව ක්‍රියා කළයුතු ආයතන පිහිටුවන ලදි. මේ අන්දමට ව්‍යවස්ථාදායකය හරහා ගොනු කළ බලය අගමැති සහ ඇමති මණ්ඩලයේ බලය ශක්තිමත් කර ගැනීමට යොදා ගන්නා අතර අධිකරණය ආණ්ඩුවේ තුන්වැනි ආයතනයේ තත්වයෙන්ද පහළට දමන ලදි.

අවසානයේ සිදු වූයේ යටත් විජිත යුගයේ සිට තහවුරු කරන ලද ව්‍යවස්ථානුකූල ආණ්ඩුක්‍රමය අපට අහිමි වීමය. 1972 දී සමාජ සහ ආර්ථික ප්‍රශ්න ව්‍යවස්ථාව මගින් විසඳිය හැකිය යන මිත්‍යාව පසුපස යමින් සමාජවාදී සමාජයක් පිළිබඳ සුන්දර ප්‍රාර්ථනය ඉදිරිපත් කළේය. එහෙත් සිදුවූයේ හිතුවක්කාරී පාලනයක් සඳහා අවස්ථාව උදා කර දීමය. පාලනය කොතරම් සුන්දරවූයේද යත් 1977 දී මැතිවරණයේදී හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් ලබා ගැනීමට විපක්ෂයට හැකි විය.

එසේ පැමිණි එජාප ආණ්ඩුව මාස හතරක් ඇතුළත පිටු කිහිපයක සංශෝධනයකින් අගමැතිට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබුණ ස්ථානයට ජනාධිපතිවරයාව ගෙන එමින් විධායක ජනාධිපති ධුරය ඇති කරන ලදි. 1972 දී ව්‍යවස්ථාව බල මධ්‍යගත කරණය ලියා තිබුණ අන්දමට විධායක ජනාධිපති ක්‍රමයට මාරු වීමට අවශ්‍ය වූයේ වචන එහා මෙහා කිරීම පමණි. අවසානයේ නීතියට ඉහළින් සිටින විධායක ජනාධිපතිවරයකු අතට මධ්‍යගත කළ බලය හිමි විය. ලංකාවේ පාලන ක්‍රමය තුළ ජනතාව රජ කරවීමේ මුවාවෙන් දේශපාලකයන් රජ කරවීමේ යුගය එහි මස්ථකප්‍රාප්තිය වෙතට ගෙන ගියේය.

නිතිය රජු නොවන විට රජ වන්නේ ජනතාව රවටා ගත හැකි කපටි කථිකයන් යයි එදා ඇරිස්ටෝටල් කළ සඳහන අපේ දේශපාලන ක්‍රමය විසින් සනාථ කර ඇත. නීතිය නවන්නට හැකි බලයක් පාලකයන්ට ලැබෙන ආකාරයට ව්‍යවස්ථා ලිවීම මගින් රටකට ඇති වන්නේ නීතියක් නැති පාලනයකි. රට පුරා නීතිය අතට ගත් පුජකයන්ද පොලිස් කාරයන්ද රජයේ නිලධාරීන්ද මැර දේශපාලකයන්ද කරන කියන දේවලින් මෙය අපට පසක් වෙයි. ජනතාව දැන් ජීවත්වන්නේ මොවුන්ට බයේය. නීතියේ පාලනය නැති තැන ජනතාව රජ කරවීම යනු පට්ට පල් බොරුවකි. ජනතාව රජ වන්නේ නීතිය රජ වූ විටය.

ජනතාව රජ කරවීමට කථා කරන කපටි ආරක්ෂකයන් අවස්ථාව ලබා නොදෙන නව ව්‍යවස්ථාවක් මගින් මෙම උගුලෙන් ගැලවීමට ක්‍රමවේදයක් සකසා ගැනීම ගැන සිතනවානම් අනාගතය මීට වඩා යහපත්වනු ඇත.

මාතෘකා