කැකිරි බීලා ලබුත් කාලා....

 ඡායාරූපය:

කැකිරි බීලා ලබුත් කාලා....

අම්පාරෙ හිට සියඹලාණ්ඩුව පහු කරාන එද්දි හැතැප්ම කීපෙකට මෙපිටදි උසාවිය පහුකරන්ඩ වෙනවා. ආං ඒ සාවියේ පත මාර ගහක් හෙවණෙ නැන්දා කෙනෙක් පලතුරු බීම විකුණනවා. දෙහි, දොඩම් වාගෙ පැඟිරි කුලේ බෝග එයිබ ගජ සාරෙට තියෙන්නැහේ උන්දැටත් ගම් තුලානෙ හක්කලං කෙරුවානම් එව්වා එක්කාසු කරාන ඇවිල්ලා පාරෙ යනෙන කාටහරි බීම වීදුරුවක් විකුණගෙන කාරිය බඩ රස්සා කරගන්ඩ ඉඩ ඇවිල්ලා තියෙනවා.

ඕං ඒ පාර සාරෙට දිවුලුත් ඵල ගන්නවා. කොයි කවුරුත් කැමතියි දිවුල් කිරි වීදුරුවක් බොන්ඩත්. අර නැන්දා මොන ජාතියෙ බීමක් වුණත් ගම්මිරිස් කුඩු ඩිංගිත්තකුත් උඩින් ඉහින්ඩ අමතක කරන්නෙත් නෑ. ඒ විසිතුරු මැද්දෑවෙ කහ පාටට පැලෙන්ඩ ඉදිලා හතර දිබ්බාගෙ සුවඳ පතුරුවන සීනි කැකිරි ගොඩකුත් ඒ මේසෙ උඩ බුදියගෙන ඉන්නවා. මං මුලිම්ම හිතුවෙ සීනි කැකිරි කන්ඩයි දෙන්නෙ කියලා. ඒ හින්දා ඕං මං කිව්වා “නැන්දම්මෙ මටත් ඔය සීනි කැකිරි ගෙඩියක් කෝප්පෙකට හූරලා සීනි නැත්තං පැණි හරි දාලා දෙන්ඩ.” කියලා. එවුන්දැ කියනවා “ඇයි මහත්තයා හැමදාම සීනි කැකිරි කන එකේ අද බීමක් බීලා බලමු.” කියලා. හෙනම්මා කවද්දෑ සීනි කැකිරි බීලා තියෙන්නේ මං කිව්වා රහයි නම් මක් වෙනවදෑ කියලා. නැන්දා යස සීරුවට කැකිරක් දෙබෑ කරලා ඇට අහක් කරලා මදේ හූරලා කෝප්පෙකට දැම්මා.

ඊට පස්සෙ සීනි දිය කරලා තනා ගත්ත පැණි හැන්දකුත් දාලා ගම්මිරිස් කුඩු ඩිංගකුත් දැම්මා. ඕං දැන් පරිස්සමට පෙට්ටියක අඩුක් කරගෙන හිටපු අයිස් කැට තුන හතරකුත් දාලා කකාරන්ඩ තිබා ගත්තා. ඩිංග වෙලාවකට පස්සෙ දෙනවා, “මේං මහත්තයා බීලා කියන්ඩකො හෙනම් බඩට දැනෙන සිහිල.” කියලා. අප්පච්චියේ ආයෙ මොනවා කියන්ඩද බඩ නිවීගෙන යන හැටි දැනෙන තරම. ඒ එක්කම මට දැනිච්ච රහ මොනතරම්ද කියනවා නම් පස්සෙන් පහුවදා වෙනිං ගමනක් ගොහිං එද්දි වීරකැටියෙ කඩ මැස්සකින් සීනි කැකිරි ගෙඩි දෙකක්ම ගත්තා ඇති පදම් කන්ඩ. ඔය බඩේ දැවිලි ඇති උන්දැලට නං මේක දිවිය අවුසදයක් වෙනවට සැක නෑ.

එදා වීරකැටියෙන් කැකිරි ගද්දිම හැඩ දිය ලබ්බක් ගත්තා හරිම ලාබෙට. මං කොහොමත් ලබු මැල්ලුම් කන්ඩ මනාපයි. එදා එයික ගන්ඩම හිතිච්ච තවත් කාරණාවක් තිබ්බා. ඒ දුමේ වේළාපු වැව් කරවලයෙක් ගෙයි දැපලා ඉඳීම. ඒකා රෝගුවෙක්. මං උහාන ආවෙ ඉලුප්පඩිචේන පැත්තෙන්. ඉතිං ආයෙ මොනවා කියන්ඩද සුදු කැකුළු හාලේ උණු බතට ලබු මැල්ලුමයි, තෙල් දමාපු දුම් කරවලයි, ලුණු දෙහි ඇබින්දකුයි මුහු කරලා ගත්තාම දිවිය භෝජනයක් නෙව. ලබු මැල්ලුම හදන්ඩ ඕන මේං මෙහෙම. මුලින්ම ලබ්බෙන් පලුවක් ඇන්න ලෙලි ගහලා ඇට මදෙත් අහක් කර ගන්නවා. ඉන්පස්සෙ ඒක පුළුවන් තරම් හීනියට ලියා ගන්නවා. ඊට පස්සෙ කහයි ලුණුයි විතරක් දාලා වතුර ටිකක් එක්කාසු කරලා තැම්බෙන්ඩ අරිනවා. එයික තැම්බෙනකල් ලබුවල තරමෙ හැටියට පොල් ගාලා අබයි, සුදු ලූනුයි, ගම්මිරිස් ඇට ඩිංගකුයි දාලා ඒ සේරම ගලේ අඹරා ගන්නවා. මේ ඇඹරුම තැම්බිච්ච ලබු මාලුවට දාලා කූරු ගාගෙන මුහු කරගන්නවා.

ඉනිබ්බෙ මේ මැල්ලුම ඇතිලියෙන් අප්පල්ලෙකටවත් අහක් කරාන ඇතිලියට තෙල් ටිකක් දාලා ඔය කරපිංචා කොළ ටිකක් මිරිස් කරලක් හෙම බැදෙන්ඩ ඇරලා තෙම්පරාදු කරගන්නවා. වැව් කරවලයා නං ඉව්වෙ මෙහෙම. මුලින්ම ඒකාගෙ හංකඩේ ගලවාලා අහක් කෙරුවා. මොකදෑ හීන් කොරළ තියෙන්ඩ ඉඩයිනෙ. ඊට පස්සෙ කෑලි කපලා උණු දිය ටිකක් දාලා සෝදාගෙන තෙල් ඩිංගක් දාපු තාච්චියක බැදෙන්ඩ ඇරියා. බැදිලා පුසුඹ එද්දි කරපිංචා කොළ අහුරකුත් එක්කහු කෙරුවා තලා ගත්ත සුදු ලූනු බික් දෙක තුනකුත් එක්ක. තව ඒකටම දැම්මා දික් අතට පලා ගත්ත අමුමිරිස් කරල් දෙක තුනකුත්. ඒ වෙනකොට බොම්බයි ලූනු ගෙඩි දෙකක් හීන් වෙන්ඩ ලියලා තිබා ගත්තෙ. ඉතිං ඒකත් කරවලයටම පුදලා කෑලි මිරිසුයි ලුණු ඩිංගකුයි දාලා තක්කාලි කෑල්ලකුත් එක්කාසු කරලා තැම්බෙන්ඩ ඇරියා. ආයෙ මොනවද ඉතිං. සුවඳත් එක්ක බත් බුදිතෑකි. මේ මැස්ස යට ගින්දර පත්තු කරලා ගිනි දුමෙන් වේලන කරවලයි උයද්දි ලුණු ටිකක් දාගන්ඩ ඕන. මොකදෑ උන් වේළන්නෙ ලුණු දමාලා නෙවෙන හින්දා ලුණු රහක් දැනෙන්නෙ නැතුවා.

ඉතිං මං කිව්වනෙ එදා බත්වේලට ලුණු දෙහි කෑල්ලකුත් එක්කහු වුණා කියලා. මං මනාප ලුණු දෙහි බෝතලේට ගම්මිරිස් ඇට ටිකකුත් දාලා තියෙනවට. අර ලුණු ඇඹුලෙ පදම් වෙච්ච ගම්මිරිස් ඇටයක් හැපෙද්දි දිවට දැනෙන්නෙ හරි පුදුමාකාර රහක් නෙව.

මං මීට ඉස්සර කියලා තියෙනවා අලිගැටපේර දලු ටිකක් දාලා කැඳ හැදුවම අගෙයි කියාලා. අර මොකද එව්වා දැම්මම කැඳ උකු වෙනවා. ඔයාකාර ළපටි අලිපේර දලු හීනිවට ලියලා පොල් ටිකක් එක්කහු කරලා මැල්ලුම කන්ඩත් පුළුවන්. ඒ වග මට කිව්වෙ ඌව ගුවන්විදුලි සේවෙට පුහුණු වෙන්ඩ ආපු සසංක කියලා ඉලන්දාරි හාදයෙක්.

මාතෘකා