කටු (ඔටුනු) පොල්

 ඡායාරූපය:

කටු (ඔටුනු) පොල්

ලොව පුරා විවිධ රටවල වගේම ශ්‍රී ලංකාවෙත් සමාජ ආර්ථික සහ පාරිසරික ව්‍යසනයන් රැසකට හේතුවී ඇති කටුපොල් වගාව ජනාධිපතිවරයා විසින් පවා තහනම් කර ඇති පසුබිමක නීති විරෝධී ආකාරයෙන් රහසේ කටුපොල් වගාවන් ව්‍යාප්ත කිරීමට ඇතැම් පෞද්ගලික සමාගම් මේ මොහොතේත් ඉතා නින්දිත උත්සාහයක් දරන බව නොරහසකි. ඒ වගේම එම සමාගම්කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක නොවන මේ රටේ නීතිය, මෙම විනාශයන් පිටුදැකීමට අරගල කරන යතිවරුන් සහ ප්‍රජා නායකයන් මර්දනය කිරීමට කිසිදු විලිබියකින් තොරව ඉදිරිපත්වන බවත් අමුතුවෙන් කිවයුතු නැත. ඊට ආසන්නතම උදාහරණය නමුනුකුල වතු සමාගමේ බද්දේගම, ඉඳිගස්කැටිය වල්පිට වත්තේ කටුපොල් වැවීමට එරෙහිව නැඟී සිටි ගාල්ල දිස්ත්‍රික් පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අඳුරත්විල චන්ද්‍රජෝති හිමියන්, නිශාන්ත අල්විස් සහ පී.කේ. සමන් කුමාර යන පරිසර ක්‍රියාකාරීන් ඉකුත් මස අගදී පොලිස් අත්අඩංගුවට පත්වීම.

කටුපොල් අලුතින් වගාකිරීමට අවසර ලබා නොදීමට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ලබාදුන් උපදෙස් අනුව ගත් ඇමති මණ්ඩල තීරණයක් තිබියදී මෙම වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීම ජාතික ආර්ථික සභාව මගින්ද ප්‍රතික්ෂේප කර තිබියදී ඒ වාගේම මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන හතක් කටුපොල් වගාවේ අහිතකර බලපෑම් සම්බන්ධයෙන් වාර්තා කර තිබියදීත් මෙරට වතු සමාගම් හොර රහසේ කටුපොල් වගාව සිදු කරගෙන යෑමත් බලධාරීන් ඒ සම්බන්ධව කිසිදු පියවරක් නොගැනීමත් නිසා ජනතාව විසින් බද්දේගම, ඉදිගස්කැටිය වල්පිට වත්තේ කටුපොල් පැළ ගලවා ඉවත් කිරීමට පසුගියදා කටයුතු කළා. උක්ත සමාගම විසින් හොර රහසේ සිදු කළ මෙම කටුපොල් සිටුවීම ගම්වැසියන්ගේ මැදිහත් වීමෙන් පරාජයට පත්කිරීමට හැකියාව ලැබුණත් එම ප්‍රදේශයේ වගේම දිවයිනේ විවිධ ප්‍රදේශවල රාත්‍රී කාලයේ සිදු කරන මෙවැනි කුප්‍රකට කටු පොල් ආක්‍රමණයන්ට තිත තැබීමට කිසිදු බලධාරියකුට මෙතෙක් හැකියාව ලැබිලා නෑ. ඒ වෙනුවට සිදු වුණේ චන්ද්‍රජෝති හිමියන් වැනි පරිසර ක්‍රියාකාරීන්ට සිරබත් කෑමට සිදුවීම පමණයි.

ගිනිකොනදිග ආසියාවේ රටවල් බොහොමයක වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් විනාශ කිරීමෙන් නොනැවතී ආදිවාසී ජනතාවගේ සියලු අයිතීන්ද අහිමි කළ කටුපොල් වගාව අද වන විට අපේ රටෙත් තෙත් කලාපයේ රබර් ඇතුළු වගා බිම් බොහොමයක් ශීඝ්‍රයෙන් ආක්‍රමණය කරමින් සිටින්නේ එම සමාජ ආර්ථික සහ පාරිසරික බලපෑම අපේ රටටත් නොඅඩුව එල්ල කරමින්. ජාත්‍යන්තර ග්‍රීන්පීස් සංවිධානය ‘කුරිරු බවේ සංකේතය’ නමින් හඳුන්වන කටුපොල් වගාව පරිසරයේ පැවැත්මට දැඩි බලපෑම් එල්ල කරන වගාවක් බව හඳුනාගෙන තිබුණත් ඒ ගැන කිසිදු තැකීමක් නොකර මෙරට තෙත් කලාපයේ සරුසාර වගාබිම් දංගෙඩියට යවමින් කටුපොල් වගා කිරීමට පසුගිය කාලයේ රාජ්‍ය අනුග්‍රහය ලැබීම බරපතළ තත්ත්වයක්. වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් හා ජෛව ප්‍රජාව කටුපොල් වගාවෙන් සහමුලින්ම වනසා දමන බවට ලොව පුරා ඕනෑ තරම් සාක්ෂි තිබියදී අප රටේ තෙත් කලාපයත් එහි ගොදුරක් බවට පත් කරමින් මෙරට පාලකයන් කුරිරු බවේ සංකේතය අපගේ මාතෘ භූමියේ ස්ථාපනය කිරීමට කටයුතු කළේ කිසිදු පැකිළීමකින් තොරවයි.

අද වන විට තෙත් කලාපයේ රබර් වතු හා අත්හැර දැමුණු තේ වතු එළිපෙහෙළි කරමින් කටුපොල් වගාව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කරමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. මෙරට ප්‍රධාන පෙළේ වැවිලි සමාගම් ගණනාවක් කටුපොල් වගාවට අතගසා ඇති අතර හෙක්ටයාර 10,000ක පමණ ප්‍රදේශයක් දැනට මෙම විනාශකාරී වගාවට නතුවී හමාරයි. මාතර, ගාල්ල, කළුතර, කොළඹ, රත්නපුර, සහ කෑගල්ල දිස්ත්‍රික්කවල මේ වන විට ශීඝ්‍රව ව්‍යාප්ත කෙරෙමින් පවතින මෙම වගාවට එරෙහිව දැනටමත් ප්‍රාදේශීය වශයෙන් ජනතාව ඒකරාශීව තිබුණත් තවමත් බලධාරීන් මේ සම්බන්ධයෙන් මුනිවත රැකීම නිසා තම ලාභය ගැන පමණක් සිතන පෞද්ගලික සමාගම් තමන්ට රිසිසේ අපගේ මවුබිම කෙළෙසමින් තම මඩිය තරකර ගැනීම දිගින් දිගටම සිදුකිරීම කනගාටුවට කරුණක්.

කටුපොල් ශාකය නිවර්තන කලාපීය ශාකයක් වුවත් එම ශාකය වාණිජ වගාවක් ලෙස ස්ථාපිත කිරීමේදී ගැටලු බොහෝමයක් ඇති වන බවට ඕනෑතරම් සාක්ෂි තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම භූගත ජලය අහිමි කිරීම, ජල උල්පත් සිඳීයෑම හා පාංශු ඛාදනය උග්‍ර කිරීම වැනි තත්ත්වයන් ඇති කිරීමට කටුපොල් වගාව හේතුවී තිබෙනවා. බොහෝ කටුපොල් වගා බිම්වල පස යටි වගාවකින් තොරව නිරාවරණය කර තිබීම හා ශාක අතර පරතරය වැඩිවීම හේතුවෙන් වර්ෂා සමයේදී ජලය පසට උරා නොගෙන මතුපිටින් ගලා යෑම නිසා භූගත ජල සංචිත පෝෂණය නොවීමෙන් භූගත ජලය අහිමි වීමට සහ ජල උල්පත් සිඳී යෑමට කටුපොල් වගාව හේතු වෙනවා. ඒ වගේම මතුපිටින් ගලායන ජලය මගින් පාංශු ඛාදන උග්‍ර වෙනවා. එමඟින් පරිසරයට සහ ජන ජීවිතයට බරපතළ බලපෑම් එල්ල වෙනවා. එසේම කටුපොල් මගින් ලබා ගන්නා තෙල්වලට ලැබෙන ඉහළ මිල නිසා මෙම වගාවන් සඳහා මහා පරිමාණයෙන් වනාන්තර විනාශ කිරීම ලොව පුරා විවිධ රටවල ජෛව විවිධත්වයට මරු පහරක් එල්ල කර තිබෙනවා.

එබැවින් ආගමික නායකයන්, වියතුන් සහ පොදු ජනතාව අපගේ මාතෘභූමියේ සිරස මතද කටු ඔටුනු පලඳ වන කටුපොල් ආක්‍රමණයට එරෙහි අරගලය ජයගැනීමට සක්‍රීයව මැදිහත් වීම යුගයේ අවශ්‍යතාවක් බව අවසන් වශයෙන් ලියා තැබිය යුතුය.

මාතෘකා