සොඳුරු මහැදුරු කාලෝ

 ඡායාරූපය:

සොඳුරු මහැදුරු කාලෝ

ඒ 1988 භීෂණ සමයයි, යක්ෂයින්ගේ, ලේ පිපාසිත පිසාචයින්ගේ සමයයි. මර්දනකාරී ආණ්ඩුවද, ඊනියා විප්ලවවාදීන්ද, තර්ක බුද්ධියේ හුස්ම හිර කැර තබා සිට සමයයි. කවර හෝ මිනිසෙකු ගේ ඝාතනය සාධාරනීකරණය වූ මූසල සමය යි, මිනිසකු මරා දමා මහ මග දමා ගිය විට එක්කෝ ඔහු ආරක්ෂක හමුදාවන්ට ඔත්තු සැපයූවකු ලෙස නැති නම් ‘විප්ලවවාදීන්ට’ කවර හෝ සම්බන්ධයක් ඇතැයි කියා හෘද සාක්ෂ්‍ය සනහා ගෙන ඝාතනය යුක්ති යුක්ති කැරුණු සමයයි.

සංවේදී බුද්ධිමතුන් කම්පිත මනැසින් තුෂ්ණීම්භූතව සිටි එ සමයේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ නම ‘විප්ලවවාදී’ ඝාතන ලැයිස්තුවට ඇතුළත් කැරුණේ සිහි විකල්වූවන් විසිනි. ඊට වෛද්‍ය ශිෂ්‍යයන්ගේද ‘ආශිර්වාදය’ ලැබී ඇති බව දැන ගත්, සියුම් වෙණ තතක් බඳු හදැති කාලෝගේ ආදර බර සරය අවදි විය. ඔහු කියා සිටියේ තමා මරා දැමුණහොත් තම සිරුරද කපා කොටා වෛද්‍ය විද්‍යා දැනුම වැඩි දියුණු කැර ගන්නා ලෙසයි! එ කල වෙද විදුහලේ සිටි, අද වෙදැදුරන් සේ කටයුතු කරන කාලෝගේ වෙද දූ පුතුන්ට එක්තරා සිහි කැඳැවුමෙකි, මේ.

සිය ආදර බර ළබැඳියන්ගේ අනේකවිධ ඇවිටිලිවලට අවසන අවනත වූ කාලෝ ෆින්ලන්තය සිය දිවි රක්නා බිම කැර ගත්තේය. පෞද්ගලික කරුණක් වුවද මෙම ලියුම්කරුට සඳහන් නොකැර මඟ හැරිය නොහැක්කක් ඇත. ඒ මා විසින් ලියන ලද ඉංග්‍රීසි කවි පොතක පිටපත් දෙකක් කාලෝට ලැබෙන්නට ෆින්ලන්තයට යැවූ පසු දෙමසක් ගතවීමට පෙර කාලෝගේ අදහස් දැක්වීමක් තැපෑලෙන් ලැබීමයි. ඔහු වෙසෙසින් දක්වා සිටියේ කවි පොතෙහි අනෙක් පිටපත එහි සරසවි පොත් ගුලට දුන් බවයි. දුහුනන් දිරි ගන්වන ගුණය කාලෝගේ ‘ඇඟෙන්ම’ එන්නකි.

ඔදවත්, තෙදවත්, රසවත්, පණවත් බසින් සව්වන් ඇමතීමේ සොඳුරු බුහුටිකමක් කාලෝ සතු විය. ඉංගිරිසි බසින් උගත් ඔහු සිංහල භාෂාවට අප්‍රමාණ ලෙස ඇලුම් කළේය. අපේ සරසවි සිංහල ඇදුරන්ට පවා දුලබ ව පිහිටන සුතීක්ෂණභාවයක් ඔහු සිංහල භාෂාව අරබයා වගා-දිගා කැර ගත්තේය. ඔහු විසින් ලියැවුණු එක් ගීයෙක එන ‘දෙවියො ඇයි ද මේ කළේ?’ යන පෙළෙහි නිවැරැදිව යෙදිය යුත්තේ ‘මෙය’ද ‘මේ’ද යන්න කෙරෙහි පවා ඔහුගේ අවධානය යොමු විය. එවක සරසවි සිසුවකු වූ මෙම ලියුම්කරු එම පද දෙකෙහි වෙනස පැහැදිලි කළ විට ඔහු එය නිහතමානී සතුටෙකින් පිළිගත්තේය.

කාලෝගේ දිවි සැරියෙහි රස මුසු තැන් දෝරේ ගලන ගඟක් වැනිය. අපට එසේ දැනේ නම් ඔහු හා සම වයසැති ළබැඳියන් හට එය රස සයුරක් වනු ඇත. එක් සිදුවීමක් පමණක් මෙහි සඳහමි.

ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘සුද්දිලාගේ කතාව’ සිනමා කෘතිය පිළිබඳ සම්මන්ත්‍රණයෙක් පැවැත්විණි. එහි දෙසුම් කාලෝටත්, මහැදුරු සුචරිත ගම්ලත්ටත් පැවැරී තිබිණි. කාලෝගේ දෙසුමෙන් පසු නැඟී සිටි මහාචාර්ය ගම්ලත් කාලෝට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේ කාලෝ සිනමා විචාරය නමැති විෂයය පෙර දින ටියුෂන් ගෙන පැමිණ ඇති බව කියමිනි. සම්මන්ත්‍රණය අවසන ශාලාවෙන් එපිට දෙදෙනා අතර සිංහල, ඉංගිරිසි දෙබසින්ම උණුසුම් වචන හුවමාරුවෙක් විය.

පසු දා උදෑසනම මට කාලෝ මුණ ගැසීමේ ඇවැසියාවක් විය. මා කාලෝගේ නිවෙසට ළඟා වූ විට මා දුටුවේ සුචරිත ගම්ලතුන් ගේට්ටුවෙන් පිටතට එන අයුරුයි. මා දුටු කාලෝ, ‘සුචරිත ඔහොම ටිකක් හිටපන්’ යැයි කීවේය. මා ඇමතූ කාලෝ ‘‘නීල්, ඊයේ මූ මහ ලොකු වීරයා වගේ මට බැන්නා. අද මුගේ හෘද වස්තුව ‘චෙක්’ කර ගන්ඩ ඇවිල්ලා, දෙන්ඩ තිබුණේ බේතක් මූට එලොවම යන්නැ’’ යි කීවේ සිනා සපිරි මුහුණෙනි. කුහකත්වය යනු කාලෝගේ පරම හතුරකු බව පසක් කැර ගත් මා අපේ පරපුරේ කුහක වත ගැන සිතුවේ කලකිරීමෙනි.

‘මහාචාර්ය’ යන පදය කාලෝට කිසිම කීර්තියක් ගෙන නොදුන්නේය. කාලෝ එම පදයට මහත් ම කීර්තියක් ගෙන දුන්නේය.

[නීල් ක්‍රිස්ටෝෆර්]

මාතෘකා