බිළිඳුන්ගේ නින්ද

 ඡායාරූපය:

බිළිඳුන්ගේ නින්ද

මේ කතා කරන්නේ අවට ලෝකය ගැන කොහෙත්ම වැටහීමක් නොමැති කුඩාම බිළිඳුන් ගැනය. අවුරුදු 4 -5ක පසුවූ වැඩුණු දරුවන් ගැන නොවේ. එනමුත් ඔබේ දරුවාගේ වර්ධනය අනුව ඔවුන් ගැන ඔබ තීරණ ගන්න.

අද වන විට ලෝකයේ බොහෝ අය (විශේෂඥ වෛද්‍යවරුන් පවා) කියන්නේ වඩාත් සුදුසු වන්නේ මව සහ ළදරුවා එකම කාමරයේ නිදාගැනීම බවය.

ස්වාධීනත්වය ඇතිවන්නේ ළදරුවාගේ අවශ්‍යතා ප්‍රමාණවත් පරිදි සපුරාලීම තුළින් ඇතිවන සුරක්ෂිත බව මුසු වූ මවුපිය දූදරු සම්බන්ධතාවකින් බවද ඔවුහු වැඩිදුරටත් පවසති.

කිසිවක් කරගත නොහැකි ළදරුවකුට සහ කුඩා දරුවකුට නොසැලකීම හා නොසලකා හැරීම මඟින් ඉතා ආවේගාත්මක පීඩනයක් සිතට ගෙන දේ. එය සුළු මානසික ආතතියෙන් පටන්ගෙන ඔවුන්ට දරාගත නොහැකි තරම් මානසික ආතතියක් ඇති කිරීම මොළයේ වර්ධනයට හානිකර බවද සොයාගෙන ඇත.

මාස 6ට අඩු ළදරුවන් සඳහා නිදාගැනීමේ වැඩසටහන් ක්‍රමානුකූලව සමාලෝචනය කරන ලද සංවර්ධන හා හැසිරීම් යන අංශ රැසක පර්යේෂණ පත්‍රිකා මෑතකදී ප්‍රකාශයට පත් කර තිබිණ. එම පර්යේෂණ පත්‍රිකාවක සඳහන් පරිදි ළදරුවන් වෙනම නිදිකිරීමේ උපාය මාර්ගයන් මඟින් එම ළදරුවන් මුල් ළමාවියේදී හෝ පසු ළමා කාලය තුළදී තනිව හොඳින් නිදාගැනීම හෝ ඇඬීම අඩුවීම හෝ හැසිරීමේ ගැටලු වළක්වා ගැනීම වැනිදෑවල වෙනසක් සිදු නොවන බව පෙන්නුම් කර තිබේ. ළදරුවා මෙන්ම මවද දරුණු මානසික අවපීඩනයෙන් ආරක්ෂා වීම එකට නිදාගැනීම තුළින් සිදුවන බවද සඳහන් වේ. සැබවින්ම ළදරුවන්ගේ ජීවිතයේ මුල් සති හා මාසවලදී තනිව නිදාගැනීමේදී SIDS ( sudden infant death syndrome) හෙවත් හදිසියේ සිදුවන ළදරු මරණ ඇතිවීමේ අවදානමක් ඇතිවීම, මවුකිරි දීමේ ගැටලු වැඩිවීම, මවගේ කනස්සල්ල වැඩිවීම වැනි දෑ එහිදී අනාවරණය වී ඇත.

නෝත්‍ර ඩෑම් විශ්වවිද්‍යාලයේ මවු-බිළිදරු චර්යාත්මක නින්ද පිළිබඳ පර්යේෂණ විද්‍යාගාරයේ අධ්‍යක්ෂ මහාචාර්ය ජේම්ස් මැකෙනා පවසන්නේ ජීව විද්‍යාත්මකව නිවැරදි ක්‍රමය නම් මව ළදරුවා එක ළඟ නිදාගැනීම හෙවත් co sleeping බවත් එය කිසිසේත්ම sleep training හෙවත් නින්ද පුහුණු කිරීම නොවන බවත්ය.

තාක්ෂණික වශයෙන් එකට නිදා ගැනීම යනු ළදරුවා හා මවුපියන් එකිනෙකාගේ සංවේදන පරාසය තුළ ඇති තැනක නිදා ගැනීම ලෙස අර්ථ දැක්වේ. බොහෝ විට එය එකම ඇඳ බෙදාගැනීමක් ලෙස අදහස් කර නැත. එලෙස එකම ඇඳ බෙදා ගැනීමේදී අවදානම් බොහෝමයක් ඇත. වර්තමානයේ මහාචාර්ය මැකෙනා සහ තවත් බොහෝ අය එක්සත් ජනපදය තුළ කරන ලද පර්යේෂණ අනුව ළදරුවා සහ මවුපියන් එකම කාමර අවකාශයේ නමුදු වෙන් වූ මතුපිටක් ඇති හෙවත් වෙන් වූ ඇඳක, බැසිනෙට් එකක කොට් එකක නිදා ගැනීම නිවැරදි බව පවසයි. නිදසුනක් වශයෙන් බිලිඳු දරුවකු මවුපියන්ගේ ඇඳ උඩ වෙනම කූඩයක හෝ ඇඳ අසල කුඩා ඇඳක් තුළ තැබීම ගත හැකිය.

උපතෙන් පසු ළදරුවන් සහ මව විවිධ අවස්ථාවලදී භෞතිකව සම්බන්ධ වන අතර මෙම බැඳීම තුළින් ළදරුවන්ගේ මානසික වර්ධනය වඩා හොඳ වේ. උදාහරණයක් ලෙස මවුකිරි දීම, මොළයේ වර්ධනය හා අනාගතයේ දරුවාගේ සෞඛ්‍යය සඳහා ඉතා යෝග්‍ය වේ. මව රැය පුරා ඇහැරෙමින් කිරි දීමේදී ළදරුවා කාමරය හෝ ඇඳ අසල සිටීමෙන් එය වඩා පහසු වේ. ළදරුවන්ට සිදුවන හදිසි අනතුරු සහ හදිසි ළදරු මරණ සින්ඩ්රෝම් (SIDS) මවුකිරි දීම තුළින් අඩුවන බවද පසු කාලයේ දියවැඩියාව සහ වෙනත් බරපතළ සෞඛ්‍ය තත්ත්වයන් ඇතිවීම අඩු වන බවද අපි ඉගෙන ගතිමු.

මවුකිරි දීමෙන් මවුවරුන්ට පවා පසු ප්‍රසව මානසික පීඩන තත්ත්වයන්, හෘද රෝග, දියවැඩියාව හා අධි රුධිර පීඩනය අවම කරගත හැකි බවද පර්යේෂකයෝ පෙන්වා දෙති. පියයුරුවල කිරි අඩු කැලරි (නමුත් එය ජීර්ණයට පහසුය) මඟින් දරුවන් පැය දෙකකට හෝ දෙකහමාරකට පමණ පෝෂණය වේ. ළදරුවා සමීපයේ නිදා සිටින විට මවට වුවද සැහැල්ලුවෙන් නිදා ගන්නට පුළුවන් බවද ඔවුන් පෙන්වා දෙන්නේ මවගේ මනසේ ඇති අනාරක්ෂිත බව පිළිබඳ සැකය සහ ආතතිය ඉන් ඉවත් වන නිසා. ළදරුවා සමීපයට හෝ ආසන්නව සිටීමෙන් පහසු ප්‍රවේශයක්ද ලබා දේ. ළදරුවාට භෞතික වශයෙන් සුරක්ෂිත පරිසරයක්ද ඉන් සකස් වේ.

පෙර කාලයේ මෙන් අම්මලාට උදව් උපකාර ලබාගැනීමට නෑ හිතමිත්‍රාදීන් සොයා ගැනීමද අපහසුය.

මේ සටහන් බිළිඳුන් සහ ළදරුවන් ගැනය. දරුවන් වැඩී උස් මහත් වන විට ඔවුන්ට ස්වාධීන වීමට කියා දිය යුතුය. ඒ ක්‍රියාකාරකම් සහ කතා බහ කිරීම තුළිනි. ඔවුන් වෙනම නිදා ගන්නේ කොයි කාලයේදැයි මවුපියන් වශයෙන් ඔබ තීරණය කළ යුතුය. නමුත් ඒ සඳහා දරුවාට කිසිම දෙයක් නොතේරෙන කාලය සුදුසු දැයි ඔබම තීරණය කරන්න.

[වෛද්‍ය බෝධිනී සමරතුංග]

මාතෘකා