පණුවා සහ බෝනික්කා (ඉගෙනුම් ආධාරක)

 ඡායාරූපය:

පණුවා සහ බෝනික්කා (ඉගෙනුම් ආධාරක)

අධ්‍යාපන ක්‍රියාවලියේදී ඉගෙනුම් උපකරණවලට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයක් බව කිව යුතු නෑ. පාඩම ඉතාමත් නිවැරදිව හා වලංගුතාවකින් යුතුව සිසුන්ගේ සිත් තුළට ඇතුළු කිරීමේදී එම ආධාරක ගුරුවරයාට දෙන්නේ මහඟු උපකාරයක්. එහෙත් ඇතැම් අවස්ථාවලදී ගුරුවරයා නොදැනුවත්වම වාගේ ආධාරකය නිසා පාඩම අරමු‍ණෙන් ඉවතට ගමන් කරන අවස්ථා තියනවා. එවැනි විටක පාඩම විධිමත්ව හා නිවැරදිව ඉගැන්වීමට ගුරුවරයා අපොහොසත් වීමට ඇති ඉඩකඩ වැඩියි.

එමෙන්ම තමා උගන්වන්නේ විද්‍යා පාඩම වෙනුවට සාහිත්‍ය පාඩමක් බව ගුරුවරයාට වැටහෙන විට පාඩමේ වලංගුතාව ගිලිහී ගිහින්. හරියට වැරදි රුධිර සාම්පලයක් රෝගියකුට එන්නත් කරන්නාක් වගේ. උදාහරණයක් හැටියට සමනල කන්දේ උස කීයද යන්න සාහිත්‍ය ප්‍රශ්නයක් ලෙස ඇතුළත් කළොත් එහි වලංගුතාවක් නැහැ. එය සාමාන්‍ය දැනුම මනින ප්‍රශ්නයක් නිසයි.

මේ සියල්ල කීවේ වැරදි ඉගෙනුම් ආධාරක නිවැරදි නොවන ලෙස භාවිත කළ ගුරුවරු කිහිපදෙනකු ගැන කියන්නටය. එක් ගුරුවරයෙක් විද්‍යාවේ ප්‍රායෝගික පාඩමක් කරන්නට සැරසුණා. ඔහුට වුවමනා වූයේ මද්‍යසාර කොතරම් සිරුරට හානිකරද විෂ සහිතද කියලා ළමයින්ට පැහැදිලි කරන්නටයි.

ඔහු ප්‍රථමයෙන් බීකරයකට මද්‍යසාර කුඩා ප්‍රමාණයක් දමා ජලය ටිකක් එකතු කොට එය තනුක කළා. මුළු පන්තිය පුරාම මද්‍යසාර සුවඳ පැතිරී ගියා. ළමයින් උනුනුන්ගේ මුහුණු බැලුවා. ඊළඟට ගුරුතුමා කළේ තමා විසින් කලින් සොයාගෙන ආ පණ ඇති පණුවකු අර මද්‍යසාර බඳුනට දැමීමයි. සිසුන් සියලුම දෙනා ඇසත් කටත් ඇරගෙන බලා සිටිද්දී ගුරුතුමා අඬුවකින් අර පණුවා රැගෙන එහි මේසය මත වූ වීදුරු තහඩුව මත තැබුවා. පණුවා මැරී සිටියා.

දුටුවා නේද මද්‍යසාර කොතරම් විෂක් ලෙස ප්‍රතික්‍රියා කරනවාද කියා? ගුරුතුමා ඉතා බැරෑරුම් ලෙස සිසුන් දෙස බලා ඇසුවා. කිසිවකු කිසිවක් කතා කළේ නැහැ. ඒ පන්තියේ සිටියා චානක කියලා කටකාර කොල්ලෙක්. මිනිහා කට වහන් හිටියේ නැහැ. එයා ගුරුතුමාගෙන් අපූරු ප්‍රශ්නයක් ඇසුවා.

සර් ඔය කියන විදියට පණු අමාරුවටත් ඔය මද්‍යසාර හරි යයි නේද?

ළමයි සියලු දෙනාම සිනාසෙන්නට පටන් ගත්තා. ගුරුතුමාගේ මෙතෙක් පැවති ජයග්‍රාහී සිනාව අතුරුදන් වුණා. ඔහු ප්‍රශ්නයෙහි පැටලුණා. තම පාඩමෙන් අපේක්ෂා කළ දෙය වෙනුවට වෙනත් දෙයක් සිසුන් වෙත සම්ප්‍රේෂණය වී ඇති බව ඔහුට වැටහුණා.

ඉගෙනුම් උපකරණ ඉතා පරිස්සමෙන් පරිහරණය කළ යුතු දෙයක්. මඳක් හෝ නොසැලකිලිමත් වුවහොත් අපේක්ෂිත අරමුණු වෙනුවට එය පරිබාහිර අරමුණු වෙත ඇදී යෑමට ඇති ඉඩ කඩ වැඩියි. ඇතැම් ගුරු මහත්මීන් දිය ඇල්ලක් හා පර්වතයක් පෙන් වීමට වතුර බේසම්, විශාල ගල් ඔසවා ගෙන පැමිණි අවස්ථා තිබෙනවා. ඔවුන් ඒවා ගෙන එන්නේ බොහෝ දුර පළාත්වල සිට වීම කනගාටුදායක කාරණයක්.

ඉගෙනුම් ආධාරක ගැන කියන විට අපූරු සිදුවීම් දෙකක් මගේ මතකයට නැඟෙනවා. ඉන් එකක් සිදු වුණේ පාසලේ විද්‍යාගාරයේදී.

විද්‍යා ගුරුතුමාට ඕනෑ වුණා අංගාරිකාම්ල ජලය හා මුසු වුණාම සිදුවන ප්‍රතික්‍රියාව සිසුන්ට පෙන්වන්නට. ඒ සඳහා ඔහු ජලය පිරවූ බීකරයකට කුඩා බටයක් දමා ළමයින්ගේ අතින් අත යවා එයට පිඹින්නට සැලැස්සුවා. අවාසනාවකට වගේ එතුමාගේ ඒ ඇස්බැන්දුම් බීකරය ගියේ මා ළඟ සිටි සුමනදාස දක්වා පමණයි. සුමනේ ටිකක් විහිළුකාර දඩබ්බරයෙක්. තමා වෙත පැමිණි බීකරය අතට ගත් සුමනේ හැකි තරම් හුස්මක් ගෙන එයට පිම්බා. ජලය උතුරා පිටට පැන අවට මුහුණු හා ඇඳුම්ද නාවා ගෙන මේසය පුරා විසිරී ගියා. ගුරුතුමාට කොතරම් කේන්ති ගියාද කිවහොත් පරීක්ෂණය නවතා අපව පන්තියෙන් එළවා දැම්මා.

දෙවැන්න සිදුවූයේ ඉතිහාස පාඩමකදී. ඉතිහාසය උගන්වන ගුරුතුමා බොහොම ජනප්‍රිය පුද්ගලයෙක්. සිසුන්ගේ අවධානයට වඩාත් ලක්වූයේ ඔහු සෑම දිනකම වාගේ නිල්පාට ටයි පටියක් පලඳින නිසයි. එදා ඉතිහාස පාඩමේදී ඔහු පෘතුගීසි යුගයේ අසවේදු සෙන්පතියාගේ නපුරුකම් ගැනයි කතා කළේ. ඒ වෙලාවේ ඔහු හිටි ගමන් අප නොසිතූ දෙයක් කළා. එක විටම ඔහු කලිසමේ සාක්කුවෙන් අත පය සෙලවෙන කුඩා ප්‍රමාණයේ රෝස පැහැති බෝනික්කකු එළියට ගත්තා. ඔහු එය උඩට ඔසවා අපට පෙන්වා මෙසේ කීවා.

මෙන්න මේ වගේ කිරිකැටි දරුවන් ඒ මෘගයා උඩ දමා කඩුතුඩෙන් ඇන්නා.

එවකට 8 වැනි වසරේ සිසුන් වන අප ඇස් දල්වා ඒ දෙස මවිතයෙන් බලා සිටි හැටි අදත් මගේ මතකයට නැඟෙනවා. ඔහු ඉගෙනුම් අාධාරක මැනවින් පරිහරණය කිරීමේ දැනුමැත්තකු බව මා වටහා ගත්තේ කලකට පසුවයි.

ඉගෙනුම් අාධාරකය පාඩමට කලින් ඉදිරිපත් කිරීම නොකළ යුතු දෙයක්. එසේ වුවහොත් ප්‍රස්තුත පාඩමේ අවධානය වෙනතකට හැරී පාඩම අයාලේ යෑමට ඉඩ තිබෙනවා. මතක තබා ගත යුතු දෙයක් නම් ඉගෙනුම් ආධාරක පාඩම ඉගැන්වීම සඳහා පමණක් භාවිත කළ යුතු බවයි.

පාඩමට වඩා වැඩි අවධානයක් එයට දෙන්නට හොඳ නෑ. එමෙන්ම සෙල්ලම් බඩු, ටේප් රෙකෝඩර්, ටොෆි, චොකලට්, රසකැවිලි වැනි දේ ආධාරක ලෙස භාවිත කරනවා නම් පරිස්සමෙන් කළ යුතුයි. එමෙන්ම ඉතා වැදගත් ඉගෙනුම් ආධාරකයක් ඔබේ පසුපසින් තියෙන බව අමතක කරන්න එපා. ඒ කළු ලෑල්ලයි. මෙහිදී ඔබට වැරදුණොත් එයාට හිනාව නවතා ගන්නට බැරිවේවි.

මාතෘකා