අද එළිබසින ‘සිත්ඇස’ බ්‍රේල් සඟරාව

 ඡායාරූපය:

අද එළිබසින ‘සිත්ඇස’ බ්‍රේල් සඟරාව

‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’ යන්න පැරණි කියමනකි. පැරණි වුවත් එය සදාතනික සත්‍යකි. දෑස් පෙනෙන ඔබට කියවීමට ඕනෑවටත් වඩා පොත්, සඟරා, පුවත්පත් ඇත. ඔබ පවා ඒ සියල්ල නොකියවනවා ඇත. ඒ ඊට ඔබට ඉඩ ප්‍රස්තාව අහිමි වීම හේතුවෙන් විය හැකිය.

නමුත් දෑස් අහිමි දෘශ්‍යාබාධිත ශ්‍රී ලාංකේය පුරවැසියන්ට ඔබට මෙන් කියවීමට පතපොත නැත. ඔවුනට කියවීමට හැකිවන්නේ බ්‍රේල් මාධ්‍යයෙන් නිර්මාණය කළ විට හෝ ඕඩියෝ තාක්ෂණයට අනුව නිර්මාණය කළ පොතපත පමණි. එසේත් නැති නම් දෑස් පෙනෙන ඔබේ සහායෙනි. එහෙත් අප රට තුළ ඔවුනට අවැසි පහසුකම් අවම බව මා අමුතුවෙන් කිව යුතු නැත. ඒ වගේම ඔවුන් පිළිබඳ පවතින අල්ප අවධානය ද එක් හේතුවක් බව කීමට මා මැළිවන්නේ නැත.

දැනට ලංකාවේ ග්‍රන්ථ බොහොමයක් ඕඩියෝ තාක්ෂණයට නිෂ්පාදනය කර ඇති අතර තවත් ඉදිරියට එසේ ඕඩියෝ තාක්ෂණයට නිෂ්පාදනය කරමින්ද පවතී. පුවත්පත් ගත් කල එක් ළමා පුවත්පතක් පමණක් දැනට බ්‍රේල් ක්‍රමයට මුද්‍රණය වේ. ඒ හැර වෙනත් අමතර කියවීම් වශයෙන් සඟරා අත්පත්‍රිකා ආදී කිසිවක් ඔවුනට කියවීමට නැත. මෙය සිංහල, ද්‍රවිඩ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයටම පොදු වේ.

ලංකාවේ බ්‍රේල් මාධ්‍ය ඔස්සේ ඉගැන්වීම් සිදුකරන විශේෂ පාසල් 13ක් පවතින අතර ඒවායේ ඉගෙනුම ලබන සිසුන් බ්‍රේල් අධ්‍යාපනය ලබා පාසලෙන් ඉවත් වුවත් ඉන් පසුව ඔවුනට පරිශීලනයට පොතපත අහිමිය. මිනිසකුගේ කියවීමේ හා ලිවීමේ හැකියාව වර්ධනයට අමතර කියවීම අත්‍යවශ්‍ය වේ. එවිට පුද්ගලයාගේ කියවීමේ වේගය වර්ධනය වේ. ඊට අමතරව අක්ෂර වින්‍යාස දෝෂ, ව්‍යාකරණ දෝෂ පවා නිවැරදි කරගැනීමට කියවීම හේතුවේ. මීට අමතරව දැනුම අවබෝධය පුළුල් වීම ද එක් වාසියකි.

ඕඩියෝ (කථන) ග්‍රන්ථ දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට පැවතිය ද ඉන් ඉහත වාසි අතර වූ කියවීමේ වේගය වර්ධනය, ව්‍යාකරණ හා අක්ෂර වින්‍යාස දෝෂ නිවැරදි කරගැනීම ආදි තත්ත්වයන් ඇති නොවේ. අද බහුතරයක් දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ භාෂා වැරදි ඇති වීමට බ්‍රේල් කියවීම් අවම වීම ප්‍රධාන හේතුවකි. දැනට යම් යම් පුස්තකාල, පාසල්වල අපට හමුවන්නේ බ්‍රේල් කරන ලද ග්‍රන්ථ කිහිපයක් හා සෑම වසරක් පාසාම මුද්‍රණය කරන රජයේ අච්චු පොත් පමණි.

ඉදින් මේ ගැටලුවට විසඳුමක් ලෙස දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ කියවීමේ අයිතිය පුළුල් කිරීමට මංපෙත් එළිපෙහෙළි කිරීමට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ මණ්ඩලය පියවරක් ඉදිරියට තබා ඇත. ඒ අනුව ජපන් ජී.ජී.පී. ආයතනයේ ආධාර මත බ්‍රේල් සඟරාවක් මුද්‍රණය කිරීමට ඉහත කී දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලය කටයුතු සලස්වා ඇත.

එම ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් 98,000ක මුදලක් වෙන් කර අවශ්‍ය බ්‍රේල් මුද්‍රණ යන්ත්‍ර සපයා ගැනීමට අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදී ඇත. බ්‍රේල් මුද්‍රණ යන්ත්‍ර රට තුළ ඉතා විරල වන අතර බ්‍රේල් මුද්‍රණ දෘශ්‍යාබාධිත පාඨකයන්ට නොලැබීමට එය හේතුවකි.

මේ ඔස්සේ ‘සිත්ඇස’ නමින් බ්‍රේල් සඟරාවක් සිංහල හා ද්‍රවිඩ බ්‍රේල් මාධ්‍ය ඔස්සේ මුද්‍රණය කර ලංකාවේ බස්නාහිර, දකුණ, මධ්‍යම, උතුර හා නැඟෙනහිර ඇතුළු පළාත් පහක පුස්තකාල 50කට බෙදා දීමට නියමිතය. එසේම ඉදිරියේදී සෙසු පළාත්වලට ද මෙම සිත්ඇස බ්‍රේල් සඟරාව සෑම මසකට වරක් බෙදා හැරීමට නියමිත අතර පුස්තකාල සංඛ්‍යාවද ඉදිරියේදී තවත් වර්ධනය කරගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

මෙතෙක් සිංහල මාධ්‍යයේ කථන සඟරාවක් ලෙස ‘සිත්ඇස’ සඟරා සෑම වසරකම කලාප දෙකක් නිකුත් වූ අතර මෙය බ්‍රේල් ක්‍රමයට නිර්මාණය කිරීම ඔස්සේ දෘශ්‍යාබාධිත ඔබට සෑම මසකම කියවීමට හැකියාව ඇත.

විශේෂයෙන්ම තවත් කාරණයක් සිහිපත් කළ යුතු ය. පෙර කී ලෙස බ්‍රේල් ක්‍රමයට ලංකාවේ මුද්‍රණය වන්නේ සඟරා කිහිපයක් පමණි. එයද සිංහල බ්‍රේල් මාධ්‍යයෙන් පමණක් බව වාර්තා වේ. එහෙත් එහිද කාලීන තොරතුරු අවම බව පාටක අදහසයි. ඊට පිළියමක් ලෙස නවමු තොරතුරුවලින් යුතු සිංහල බ්‍රේල් සඟරාවක් මෙන්ම විශේෂයෙන් ද්‍රවිඩ බ්‍රේල් ක්‍රමයට ද සඟරාවක් මුද්‍රණය වීම ඉතාම වැදගත්ය. ලංකාවේ ලක්ෂ 10කට ආසන්න වූ දෘශ්‍යාබාධිත පුද්ගලයන් අතරේ ද්‍රවිඩ භාෂාව ලියන කියවන පිරිසක් ද සිටිති. එහෙත් ඔවුනට සිංහල ඔබට මටත් වඩා පොතපත අවමය. මෙය දෘශ්‍යාබාධිත ද්‍රවිඩ පාඨකයන්ට මහඟු අවස්ථාවකි.

අද (09) දින පෙ. ව 1.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ දී ‘සිත්ඇස’ බ්‍රේල් සඟරාව එලිදැක්වීමට නියමිතය. ඒ සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතා‘ සහ ජපන් තානාපතිතුමාගේ දෙවන ලේකම් තෝරු ඉගරිශි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙනි.

දැනට බොහෝ ලිවීමේ හා කියවීමේ දුර්වලතා රැසක් පවතින බ්‍රේල් කියවීමේ හා ලිවීමේ සාක්ෂරතාව වර්ධනය කිරීම වගේම දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට ලිවීමට, අවශ්‍ය ලිපි ලේඛන තැම්පත් කර තැබීමට ඇති නව තාක්ෂණික උපාංගයක් වන බ්‍රේල් ඩිස්ප්ලේ යන්ත්‍රය සමාජය තුළ ප්‍රචලිත කිරීම මෙහි ප්‍රධාන අරමුණු වන බව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරS මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත මහතා ප්‍රකාශ කරයි. ඒ වගේම ඔවුන්ගේ දැනුම අවබෝධයද මේ ඔස්සේ වර්ධනය අපි කවුරුත් මිනිසුන් වශයෙන් ස්පර්ශ මාධ්‍යයන්ට ආශා කරන්නෝ වෙයි. බොහෝදුරට ඕඩියෝ තාක්ෂණයට ළංව ඇති දෘශ්‍යාබාධිත ප්‍රජාවට මෙය මහඟු අත්වැලකි.

සොයාගත් තොරතුරු අනුව ලංකාවේ පළමු ද්‍රවිඩ බ්‍රේල් සඟරාව හා ඉතාම අතලොස්සක් වූ සිංහල බ්‍රේල් සඟරා අතර පියවර කිහිපයක් ඉදිරියට තැබූ සිත් ඇස බ්‍රෙල් සඟරාව හෙට දින එළි දකිනු ඇත. එය ශ්‍රී ලාංකේය දෘශ්‍යාබාධිත අප කාටත් වැදගත් අවස්ථාවකි. එසේම මේ අවස්ථාවට අත්වැල දුන් ජපන් ජී.ජී.පී. ආයතනයට හා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයට ලාංකේය දෘශ්‍යාබාධිත ප්‍රජාවගේ කෘතඥතාව නොවඩුව හිමිවනු ඇත.

ඉදින් මේ දිනවල කන පුරා ඇසෙන දේශපාලන කතා අතරට ඔබට මෙය විශේෂ වූත් වෙනස්ම වූත් පුවතක්වනු ඇත. ඒ වගේම දෘශ්‍යාබාධිත ඔබට මෙය ඉතා වැදගත් වන බව ද නොඅනුමානය.

[සත්‍යා නිර්මාණි]

මාතෘකා