සතතාභ්‍යාසයේ ඵලයක් වූ “අත්ථකිලමතානු ප්‍රේමය”

 ඡායාරූපය:

සතතාභ්‍යාසයේ ඵලයක් වූ “අත්ථකිලමතානු ප්‍රේමය”

 

නිර්මාණකරුවෙකුගේ ප්‍රකාශන මෙවලම බවට පත් වන්නේ ඔහු හෝ ඇය භාවිතා කරන භාෂාවයි. මානව චිත්ත සන්තානයේ ඇති වන හැඟීම් හා දැනීම් සිය නිර්මාණ ආකෘතිය තු<sන් රසික සමාජයට පවසන උපකරණය වන්නේ එයයි. සිය නිර්මාණකරණයේ ස්වරූපය අනුව නිර්මාණකරුවා උපයෝගි කරගන්නා භාෂාවේ ස්වරූපයද වෙනස් වේ. රූපමය මාධ්‍යයෙන් නිර්මාණකරණයේ නියැලෙන්නා රූපය වැඩියෙන්ද භාෂාව අඩුවෙන්ද භාවිත කරයි. ශ්‍රව්‍ය මාධ්‍ය නිර්මාණයේදී භාෂාව වැඩියෙන් භාවිතා කිරීමට සිදු වේ. ප්‍රබන්ධ සාහිත්‍යයේදී නිර්මාණකරුවාගේ එකම මාධ්‍ය වන්නේ භාෂාවයි. එහි දී ගද්‍ය විෂයෙහි භාවිත කරන භාෂාවට වඩා වෙනස් භාෂාවක් කාව්‍යකරණයේ දී භාවිත කිරීමට සිදු වේ. සාහිත්‍යකරුවා භාවිත කරන්නේ ධ්වනිපූර්ණ බසකි. එහි ඇති විශේෂ ලක්ෂණය වන්නේ හැඟීම් දැනවීමේ ශක්තියයි. එය භාෂාවේ භාවික ගුණය ලෙසද හැඳින්වේ.

කාව්‍ය නිර්මාණකරණයේදී නිර්මාණකරුවා භාෂා භාවිතයෙමි දක්වන සුරුවිරුකම් මත සිය නිර්මාණයේ රස ජනනය උසස් මට්ටමක පවතී. විශේෂයෙන් තමන්ගේ නිර්මාණයට උපයුක්ත වන අත්දැකීමට ගැළපෙන බස් වහරක් භාවිතා කළ විගස නිර්මාණයේ අරුත් දැනවීම ඉහළ තලයකට පත් වේ.

මලින්ත දේශප්‍රිය යනු දීර්ඝකාලයක් පුවත්පත් පිටු අතර සිය නිර්මාණ කුසලතාව විශද කළ තරුණ කවියෙකි. ඔහුගේ කාව්‍ය අභ්‍යාසකරණයේ පළමු වැඩ බිම වන්නේ පුවත්පත් කවි පිටුය. එම දීර්ඝ අභ්‍යාසයෙන් තත්පරව ඔහු ගේ පළමු කාව්‍ය නිර්මාණ එකතුව එළිදකී. ඒ “අත්ථකිලමතානු ප්‍රේමය” නමිනි. මෙහිදී මලින්ත ගේ කවියේ පොදුවේ දැකිය හැකි ලක්ෂණය වන්නේ ඔහුගේ භාෂා ප්‍රාගුණ්‍යයයි. ඔහු තෝරාගනු ලබන අත්දැකීමට ගැළපෙන බස්වහරක් භාවිත කිරීමට නිරන්තරයෙන් උනන්දු වෙයි. පුරාතන සාහිත්‍ය භාෂාව මෙන්ම නූතන සමාජ භාෂාවද එහිදී ඔහුගේ අවධානයට ලක් වේ.

වසත් වලා කියඹු කැරලි - හංකිති කවමින් අතුරන

සඳ කොපුලත හාදු තියන - විච්චූරණ රෑ මෙහෙසිය

 

තිදස පුරෙන් මෙපුර පැමිණි - ආගන්තුක රූපය ළඟ

දැල්වූ මැටි පහන අසල - පියඹා ආ මෙරු පොදිකන

(නුග විසිතුර - පිටුව 20)

බස සංකලනයෙන් කාව්‍යමය බසක් නිපදවා ගන්නට මලින්ත දක්වන සමත්කම අපූරුය. සිය අත්දැකීම් කියන්නට නිසි ආකෘති තෝරා ගැනීමටද මලින්ත සිය අවධානය යොමු කරන ආකාරය කැපී පෙනේ. නූතන සමාජ නිරීක්ෂණයක් ඔහු කාව්‍ය අත්දැකීමක් බවට පෙරළන්නේ එයට සුදුසු ආකෘතියකින් හා බස් වහරකිනි.

යන්තමට ඉර පෑව්වත් ගිනි ගහන - කොළොම්තොට හරි මැද හිටවාපු

දස අත බැඳි රැහැන් එක්කොට - හුදකලා අහස බදු අරගත්ත

කම්මැළි ලයිට් කණුවක - ඉපල් පරඬැල් වෙනුවට

බයින්ඩින් කම්බි වියමින් - නිවහන මාළිගාවක් ලෙස

තනාගත් කපුටෙක් - කරව් හඬ පතුරවයි

ස්ටීරියෝ ක්‍රමයට

(කරව් තරුව - පිටුව 22)

මලින්ත සිය කව්බස ගොඩ නගා ගැනීමේ දී අපූරු උපමා රූපක රැසක් ද තනාගනී. එය කවියෙකු සතුවිය යුතු අනගි කුසලතාවකි. 'කම්මැළි ලයිට් කණුවක', 'ඇන්ඩ්‍රොයිඩ් සිතිවිලි', 'බේබදු ගොම්මන', 'අලුගෝසු දිනකර','රෙදිමුවා තොටිල්ලක' වැනි තැන්වල ඔහුගේ මෙම සමත්කම දැකිය හැකිය.

මලින්ත ගේ නිර්මාණ ගොණුවේ විවිධ ආකෘතීන්ගෙන් සැකසුළු නිර්මාණ රැසකි. විටෙක එය හයිකු කවියක් බඳු කෙටි කවකි. තවත් විටෙක එළිවැට සුරැකි සිව්පද විරිතකි. තවත් විටෙක සම්පූර්ණයෙන්ම නිදහස් ආකෘතියෙන් කළ වියමනෙකි. මේ සෑම තැනිහිදීම ඔහු සිය කවිය තුළ විවිධ සමත්කම් දක්වයි.

වරදක් නොකළමුත් මා - වරදකාරයෙක් මෙනි

මගේ හදවත - ඉතා කාරුණික

පියකු අබියස - පුතකු ලෙද

(යාපනේ පුස්තකාලය ඉදිරිපිට හිඳිමි - පිටුව 28)

වළලු හතරක් ඇඳපු කළු පාට කාරෙකක්

නළල රැළි කරගත්ත උද්දච්ච මාගමක්

අව්සැරෙන් ගැලවෙන්න දමා කන්නාඩියක්

ඒ තුළින් මං දැක්කෙ උඹ වගේ ගෑනියක්

(මාතෘකාවක් මොටද? - පිටුව 62)

පොත නාමකරණයට බඳුන් කරන 'අත්ථකිලමතානු ප්‍රේමය' කවද අපූරු නිර්මාණයකි. නිර්මාණයේ වස්තු විෂය නැවුම් නොවූවද ඔහු එය දකින වෙනස් පර්යාලෝකය නිසා එය සුවිශේෂව විඳින්නට ලැබේ. බිඳීගිය ප්‍රේමයක් පාර පාරා දුක්විඳින්නෙකු ඔහුගේ කවියේ පාත්‍ර වර්ගයාය.

කාලයට ඉහළින් පිපී නෙක උයන් වසා පැතිරී

නෙක පාට තැවරුණ

කිඩාරං දුගඳ දසත පතුරන

රෝස කුසුමන් රැස

හමන සුළඟින් සලිතව

දැන දැනම සමනලුන්ගේ තටු

හිල් කරන්නට කටු කූද්දන

දුක්බර දසුන දැක දැක

ඉවසා සිටිනු නොහැකිව

තමාටම නොදැනෙන්න හීන් සීරුවට

තමාගෙම හදවත

යකඩ කටුවකින් සිදුරු කළ විට

ඉතින් කොහෙද වේදනාවක්

(අත්ථකිලමතානු ප්‍රේමය - පිටුව 40)

මලින්ත, සිය නිර්මාණ එකතුවෙන් ඔහු කවිය වඩවා ගැනීමට කෙතෙරම් වෙහෙසී ඇතිදැයි අපට ඉඟිකරයි. සෑම නිර්මාණයකම භාෂාව ගැන මෙන්ම ආකෘතිය ගැනද ඔහුගේ සුවිශේෂ අවධානය යොමු කර ඇති බව විශේෂයෙන් හඳුනාගත හැකිය. එසේ නවමු අත්දැකීම් හසුකරගෙන ඒවා විනිවිද සමාජ යථාර්ථය මෙන්ම ජීවන යථාර්ථයද මතු කරගන්නට ඔහු ගන්නා උත්සාහයද රසික විචාරක අවධානයට බඳුන් විය යුතුය.

උද්‍යාන තුරු සෙවණ යට - සුළඟට ගසාගෙන සපැමිණි

ඔබේ උකුලත පතිතව - විඩාබර නෙතින් ගිමන් හළ

කටු අතර දැවටුණු - වියළි බෝගන්විලා කුසුමක්

තවම සුරැකිව තබා ඇත - එහි ඔබ තැවරූ සිතිවිල්ල

වද දේය ඇතුළු හද වෙත -

"ස්නේහය මහමෙරක්"

(ස්නේහය මහමෙරක් - පිටුව 70)

මලින්ත දේශප්‍රිය ගේ “අත්ථකිලමතානු ප්‍රේමය”කාව්‍ය එකතුව සිංහල කවියේ වර්ධනීය තලයට යම් ආකාරය බලයක් සපයන කාව්‍ය නිර්මාණ එකතුවක් බව නොකියාම බැරිය. ඔහු ප්‍රගුණ කර ඇති අභ්‍යාසකරණය හා ඉවසීම අනුව මතු දිනක වැඩුණු කවියෙකුගේ දායකත්වය ඉල්ලා සිටින කාව්‍ය ක්ෂේත්‍රයට එය නොමසුරුව ලබා දීමට මලිත්තට හැකි බව පමණක් අවසන් වශයෙන් සටහන් කරමි.

[කපිල එම්. ගමගේ]

මාතෘකා