වොර්සෝහි යුදෙව් දරුවා

 ඡායාරූපය:

වොර්සෝහි යුදෙව් දරුවා

 

දෙවැනි ලෝක යුද සමය යනු මානව ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයකි. ඒ පිළිබඳව ලියවුණු සටහන් සහ එකල ගත් ඡායාරූප එම අඳුරු යුගය යළි යළිත් මතක් කර දෙයි. මෙහි දැක්වෙන්නේ දෙවැනි ලෝක යුද්ධ සහ හොලිකෝස්ට් සමයේදී යුදෙව්වන්ට මුහුණු පෑමට සිදුවූ ඉරණම මැනවින් විදහාපාන ඡායාරූපයකි. මෙය හඳුන්වන්නේ වොර්සෝහි යුදෙව් දරුවා (Jewish Boy Surrenders in Warsaw) යන නමිනි.

මෙය ගෙන ඇත්තේ 1943දී නාසි හමුදාවට එරෙහිව සිදුවූ වොර්සෝ ගැටෝ නැඟිටීමේදීය. යුදෙව් දරුවා හා පිරිස බංකරයක් තුළ සැඟව සිට ඇති අතර ජර්මන් හමුදාව ඔවුන්ව සොයා ගෙන ඇත.

කුඩා දරුවා සහ කාන්තාවන් වෙත තුවක්කුව මානගෙන සිටින්නේ ජොසප් බ්ලෝෂර් නම් එස්.එස්. භටයාය. ඡායාරූපය ගැනීමෙන් අනතුරුව ඔවුන්ව උම්සච්ලග්ප්ලට්ස් වෙත යවා ඇති අතර මයිඩානෙක් සමූල ඝාතන කඳවුරට හෝ ට්‍රිබිලින්කා යවන ලදි.

මේ පිළිබඳ වැඩි විස්තර කතා කිරීමට ප්‍රථම වොර්සෝ ගැටෝ පිළිබඳව කතා කළ යුතුය. වොර්සෝ යනු පෝලන්තයේ අගනුවරයි. යුදෙව්වන් 3,80,000ක් එහි ජීවත්විය. 1939 සැප්තැම්බර් මස ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කරන අතර එතැන් සිට එහි ක්‍රියාත්මක වූයේ නාසි නීතියයි. නාසින් විසින් මෙහි සිටි යුදෙව්වන්ව නගරයේ එක් පෙදෙසකට යවන ලදි.

වොර්සෝ ගෙටෝ ලෙස හැඳින්වෙන්නේ එයයි. එහි 460,000ක් පමණ වන යුදෙව් ජනතාව රඳවා තිබුණේ 2.4%ක් පමණ වන බිම් ප්‍රමාණයකය. නගරයේ ආර්යන් සිටින පෙදෙසට යෑමටත් ඔවුන්ට තහනම් කර තිබිණි.

1942 මැද භාගය වන විට වොර්සෝ ගැටෝ සිටින යුදෙව්වන්ව සමූහ වශයෙන් ට්‍රිබිලින්කා ඝාතන කඳවුරට රැගෙන යෑමට පටන් ගත්තේය. 1943 ජනවාරියේදී එම පිටුවහල් කිරීමට විරුද්ධව යුදෙව්වන් සන්නද්ධ කැරැල්ලක් දියත් කරන ලදි. එහිදී ඔවුන් බංකර් තැනීමටත් තුවක්කු හා පුපුරන ද්‍රව්‍ය හොර රහසින් ගැටෝව තුළට ගෙන ඒමටත් පටන් ගත්හ.

සාමාන්‍ය සෙබළුන්ට මෙම සටන මැඩපැවැත්වීමට නොහැකි වීම හේතුවෙන් 1943 අප්‍රේල් මස 19 වැනිදා මේජර් ජෙනරාල් ජූර්ගන් ස්තෲප් නායකත්වයෙන් 20,00ක පමණ භට කණ්ඩායමක් ගැටෝවට එවයි. මෙම අරගලය පරාජය කිරීම ඔවුන් සිතු තරම් පහසු දෙයක් නොවන අතර එය සති හතරක් මුළුල්ලේ ඇදී යයි. සටන මැඩපැවත්වීමෙන් පසු ගොටෝවට ගිනි තැබීමට සැරසෙන සෙබළුන් ඊට ප්‍රථම බංකර් තුළ සැඟවී සිටින යුදෙව්වන්ව සමූල ඝාතන කඳවුරු වෙත යැවීම සඳහා එළියට ගනී. මෙම ඡායාරූපය ගැනෙන්නේ එවන් අවස්ථාවකය.

මෙම සටන මර්දනය කරන අතරතුරදී තම ප්‍රධානින්ට දෛනිකව වාර්තාවක් යැවීමට ස්තෘෘප් පියවර ගත් අතර එයට ඡායාරූපද ඇතුළත් විය. මෙම ඡායාරූප ගත්තේ එස්.එස්. හමුදා නිලධාරි ෆ්‍රැන්ස් කොන්ඩ් හෝ 689 ප්‍රචාරක සමාගමේ ඡායාරුප ශිල්පීන්ය. එසේ දෛනික වාර්තාවක් සැපයීමේ අරමුණ වූයේ ස්තෲප්ගේ දක්ෂතා ඉහළට දැනුම් දීම සහ සටන මැඩපැවැත්වීමට බොහෝ කලක් ගතවීමෙන් පසු ඔහුට සිදුවූ අපකීර්තිය වසා ගැනීමයි.

සටන මර්දනය කළ පසු වැදගත් වාර්තා සහ ඡායාරූප ඇතුළත් කර ස්තෲප් එය ඉහළම පෙළේ නායකයකු වූ හේන්රිච් හිම්ලර්ට සිහිවටනයක් සේ පිරිනමන ලදි. එම අවසන් වාර්තාව ස්තෘෘප්ගේ වාර්තාව ලෙස හැ‍ඳින්වේ. පසුකාලිනව පැවති යුද අපරාධ නඩු විභාගයන්හිදී මෙම වාර්තාව ස්තෲප්ට එරෙහි සාක්ෂියක් බවට පත්විය. ස්තෲප් සහ කොන්ර්ඩ් යන දෙදෙනාම වර්සව් නඩු විභාගයේදී වරදකරුවන් වන අතර 1952දී එල්ලා මරා දමයි.

කෙසේ වෙතත් මෙම ඡායාරූපයේ ප්‍රධාන චරිතය වන යුදෙව් දරුවාගේ සැබෑ අනන්‍යතාව මේ වන තුරුත් හෙළිවී නැත. කලින් කලට විවිධ පුද්ගලයන් මාධ්‍ය ඉදිරියට පැමිණ ඒ සිටියේ තමන් බව පැවසුවත් කිසිවකුටත් එය ඔප්පු කළ නොහැකි විය. එමෙන්ම එහි සිටි වෙනත් කාන්තාවන් පිළිබඳවද නිවැරදිව සනාථ කරගත නොහැකි විය.

මෙම ඡායාරූපයේ සිටින අයගෙන් නිශ්චිතවම හඳුනාගත හැකි වූයේ දරුවා වෙතට තුවක්කුව එල්ල කරමින් සිටින ජොසප් බ්ලෝෂර් පමණි. ඔහු නාසි හමුදාවේ ප්‍රසිද්ධවී සිටියේ කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පතුරවන්නෙක් ලෙසටය. ස්ටෲප්ගේ වාර්තාවේ ඡායාරූප ගණනාවක බ්ලෝෂර් සිටියේය.

නැඟෙනහිර ජර්මනියේ පැවති නඩු විභාගයේදී එම ඡායාරූප ඔහුට එරෙහි පරිවේෂණ සාක්ෂි ලෙස භාවිත විය. අවම වශයෙන් ඔහු අතින් යුදෙව් ඝාතන 2,000ක් සිදුකෙරුණු බවට ඔප්පු කෙරුණු අතර 1969දී මරණ දඬුවම හිමිවිය.

මෙවන් වැදගත්කමකින් යුතු වුවද 60 දශකයේ අගභාගයේදී ග්රේහාඩ් ෂුන්බාර්නර් සඟරාවේ ඉංග්‍රීසි ප්‍රකාශනයේ මුල් පිටුවේ පළවනතුරුම මෙම ඡායාරූපය ජනප්‍රිය වී තිබුණේ නැත. 2016දී ටයිම්ස් සඟරාව විසින් සෑම කල්හිම ලෝකයට වඩාත් බලපෑම් සහගත ඡායාරූප සියය අතරට මෙය ඇතුළත් කරන ලදි.

මෙම යුදෙව් දරුවාගේ සැබෑ අනන්‍යතාව හෙළිදරව් කරගැනීමට නොහැකි වූ බව අපි කලින් සඳහන් කළෙමු. එහෙත් මේ අවිහිංසක කුඩා දරුවාගේ මුහුණින් පිළිබිඹු වන බිය, වික්ෂිප්තභාවය, අසරණභාවය, ජීවිතාශාව වැනි හැඟීම් වර්තමානයේදීත් යුද වින්දිතයන්ගේ මුහුණේ සටහන්ව තිබෙනවා නොවේද?

[සුපුන් අතුකෝරල]

මාතෘකා