අඳුරු වලා මැද රිදී රේඛාවක්

 ඡායාරූපය:

අඳුරු වලා මැද රිදී රේඛාවක්

2019.10.03 දින (මෙම ලිපිය ලියූ දින) ලද ලිපියක් නිසා චිත්ත ප්‍රමෝදයට පත් වූයෙමි. බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය මඟින් ලිපිය එවා තිබිණ.

ලිපිය දේශපාලන පක්ෂ සඳහා ආගමික නායකයන් විසින් ඉදිරිපත් කිරීමට නියමිත කොන්දේසි මාලාවකි. ලිපිය ලියා අත්සන් කර ඇති පිරිස ඉහත කාර්‍ය සඵල කිරීමට සමත් අය බව ඔබද තීරණය කරනු ඇත. පළමු අත්සන් හතර සිව් නිකායේ මහ නාහිමිවරුන්ගෙනි. දෙවනුව කාදිනල්තුමා සහ කොළඹ ප්‍රධාන රදගුරුතුමන් අත්සන් කර තිබිණ. සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපති ශ්‍රී වෛතිශ්වර කුරුක්කල්තුමා තෙවනුව අත්සන යොදා තිබිණ. ජමියතුල්ලා උලමා සභාවේ සභාපති වුෆ්නි එම්. අයි. එච්. රිස්වි සිව්වෙනුව අත්සන් කර තිබිණ. බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් යන ලංකාවේ ප්‍රධාන ආගමික ආයතන හතරම නියෝජනය වන එකමුතුවක සාමූහික උත්සාහයක් අපතේ යෑමට ඇති ඉඩ විරලය.

ලංකාවේ ප්‍රධාන දහරාවේ දේශපාලන පක්ෂ සඳහා ඉදිරිපත් කර තිබූ නිර්දේශ ඉතාම සාධනීය බව පැහැදිලිය. එම නිර්දේශ කිහිපයක් මෙසේය.

• අපරාධ නඩු ඇති අයට නාමයෝජනා නොදිය යුතුය.

• මත්පැන් බලපත්‍ර හා කැසිනෝ පවත්වාගෙන යන අයට නාමයෝජනා නොදිය යුතුය.

• රජයේ ආයතන සමඟ ව්‍යාපාර හා කොන්ත්‍රාත් සිදුකරන අයට නාමයෝජනා නොදිය යුතුය.

• වත්කම් බැරකම් ප්‍රකාශය නාමයෝජනාව සමඟ අමුණා බාරදිය යුතුය.

• පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන සඳහා ඉදිරිපත් වන අය වයස අවුරුදු 21ට වැඩි විය යුතුය.

• අධ්‍යාපන සුදුසුකම් සහතිකය ඉදිරිපත් කළ යුතුය.

ඉහත දක්වන ලද සාධනීය කරුණු ලියවිල්ලේ අන්තර්ගතව පැවතිණ. යහපත් රටක් සඳහා වන මෙම ප්‍රශංසනීය ඉදිරි පියවර සාර්ථකත්වය කරා පැමිණෙන තුරු කැපවීම අවශ්‍යම කරුණකි.

ඉහත දුර්වලතා සහිතව වර්තමානයේ දේශපාලනයේ නියැළෙන (අවම වශයෙන් පාර්ලිමේන්තුව හා පළාත් සභාව නියෝජනය කරන) අයගේ ලැයිස්තුවක් ඒ ඒ පක්ෂ නායකයන් වෙත ලබා දිය හැකි නම් වඩාත් ඵලදායී වනු ඇත.ලංකාවේ සියලු ආගමික නායකයන් පිළිගත යුතු සත්‍යයක් ඇත. දරුණු මානව අපරාධ සිදුකළ, රාජ්‍ය දේපළ කොල්ලකන, අධ්‍යාපනයක් නැති තිරස්චීනයන් දේශපාලනය කරන විට පූජ්‍ය පක්ෂය නිහඬ විය. ඇතැම් අය වෙනුවෙන් සුදු පිරුවට පලඳනු ලැබීය. ඒ මොහොතේ ලාභය සලකා සිදුකළ වරදේ ප්‍රතිවිපාක වර්තමානයේ ප්‍රකට වෙමින් පවතී. සිදුවූ අතපසු වීම පිළිබඳව කනගාටුවට පත්ව එය නිවැරදි කර ගැනීමට කල්පනා කිරීම දියුණු ලක්ෂණයක් බව කිවමනා නොවේ.

යටත්විජිත පාලනයෙන් නිදහස ලැබූ දින සිට දවසින් දවස රාජ්‍යය අගාධයට ඇද දැමූ ප්‍රමුඛ පිරිස දේශපාලනඥයෝයි. එම අපරාධය හමුවේ සබුද්ධික සංවාදයක් සිදු නොකළ සියලු බලගතු ආයතන ඒ පිළිබඳව කම්පා විය යුතුය. අඥාන පිරිස් දේශපාලනයට පැමිණ ජාතිවාදය, ආගම්වාදය, අවුලුවා දහස් ගණන් ජීවිත සහ කිවනොහැකි තරම් දේපළ විනාශ කර දැමීය. එය ලංකාව වැනි කුඩා රටකට ඔරොත්තු නොදෙන ප්‍රමාණයකි. පසුගිය දශක හතක කාලය තුළ ලාංකික ජන දිවිය සාධනීය ලෙස ඉදිරියට පැමිණ නැත. දුප්පත්කම වර්ධනය වී තිබේ. මානව සමාජයේ දියුණුව නිර්ණය කරන නූතන දර්ශක හමුවේ ඉතාම පහළ අගයක බහුතර ජනතාව ජීවත් වෙති. පසුගිය දශක හතක කාලය පුරා දේශපාලනය කළ පිරිසට මෙරටට වඩා විදේශ රටවල සම්පත් ගොඩගැසී ඇත. බහුතර තරුණ පිරිස් රට හැරයෑමට කැමැත්තෙන් පසුවෙයි. ජනවර්ග අතර ආගම් අතර සැකය මෝදු වී තිබේ. දියුණු අධ්‍යාපන ක්‍රම නොමැතිව ළිං මැඩි ජනසමාජයක් බිහිව ඇත.

තමා නායකත්වය සපයන ජනසමාජයේ සාමාජිකයනට අත්ව ඇති මෙම ඉරණම පිළිබඳව ආගමික නායකයන් අවධානය යොමු කිරීම ප්‍රශංසනීය කරුණකි. ඒ පිළිබඳව කාගෙත් ගෞරවය ඔවුනට අත්විය යුතුය. ආගමික නායකයන් ඉදිරිපත් කර ඇති කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේදී වැදගත් නිගමනයකට එළැඹිය හැකිය. දේශපාලන පක්ෂ නායකයන් එම කරුණු සඳහා එකඟ වුවහොත් ඔවුන්ගේ බහුතර මන්ත්‍රී පිරිසකට සක්‍රීය දේශපාලනයෙන් සමුගැනීමට සිදුවනු ඇත.

අරමුණ උදාර වුවද එහි ඇති දුෂ්කර බවද වටහා ගත යුතුය. මෙම උතුම් පරමාර්ථය සාධනය කරගැනීමට දේශපාලනඥයා ඉඩහසර ලබාදේද යන්න සැක සහිත කරුණකි. දශක කිහිපයක සිට සමස්ත රාජ්‍යයම දුෂ්ට අපරාධ ලක්ෂ්‍යයක භ්‍රමණය වෙමින් පවතියි.දේශපාලනඥයා හා බැඳුණු ඇතැම් නිලධාරීන්, පූජකයන්, ආරක්ෂක අංශ ප්‍රධනින්, වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ ආදී වෘත්තිකයන් සහ පාතාල නායකයන් එකට අත්වැල් බැඳගෙන සිටිනු දක්නට ඇත. රාජ්‍යය මුහුණදී ඇති දුෂ්ට ලක්ෂ්‍යයේ දැතිරෝද ඔවුහුමය. දුගඳ හමන අශූචි පිඩක් ඉවත් කරනවාට වඩාත් අකමැති වනුයේ එයම ආහාරය කොට වෙසෙන පණුවන්ය. මෙම දුෂ්ට ලක්ෂයට හොඳින් අනුගතව සිටින පිරිස ආගමික නායකයන්ගේ උදාර අරමුණ යටපත් කිරීමට සෑම උත්සාහයක්ම යොදනු ඇත.

එම අභියෝගය ජයගතහොත් ලංකාව ආසියාවේ ආශ්චර්‍යමත් රටක් වනු ඇත.

මාතෘකා