සතුට සොයා යමු

 ඡායාරූපය:

සතුට සොයා යමු

අපේ ජීවිත ඉතා කෙටිය. දැනටම කොටසක් හමාර වී ඇති අතර තව කොතරම් ප්‍රමාණයක් ජීවත් වීමට ඉතිරිදැයි අපි දන්නේ නැත. මේ කාලය තුළ අපි වැඩිපුරම වින්දේ සතුටද? දුකද?

කුමක් වුවත් සිදු වී හමාර වූ දෑ ගැන කතා කර ඵලක් නැත.

ජීවිතය යනු සතුට සහ දුක යන දෙකේ සම්මිශ්‍රණයකි. දුක් නොවූ කෙනෙක් නැත. වැදගත් වන්නේ දුක් වීම අවම කරගනිමින් සතුට වැඩිකර ගැනීමය.

වැදගත්ම කරුණ වන්නේ "තමාගේ සතුට ඇත්තේ තමා තුළය. එය අනෙක් අයගෙන් සෙවීම නවතන්න"

නිදහස් තැනක සිට ඇස් වසාගෙන දිගු හුස්මක් ගන්න. ඔබේ නම, ඔබේ වයස, ඔබ කවුද කියා අලුතින් ඔබටම මතක් කර දෙන්න. ඔබට වැරදුණු තැන්, නැති වූ දෑ, අතපසු වූ දේවල් තව වරක් සිහියට ගෙන හදවතින් එළියට වීසිකර දමන්න. නමුත් ඒ අත්දැකීම්වලින් උගත් පාඩම් හිත ළඟ තබාගන්න.

අද ඔබේ ජීවිතයේ අරමුණු හෝ ඉටු කර ගැනීමට ඇති බලාපොරොත්තු ලේඛනයකට ගන්න.

ඔබ මේ වන විට කිසිම අලුත් බලාපොරොත්තුවක් නැති කෙනෙක් නම් තමා කැමති අංශයක් ගැන අලුත් බලාපොරොත්තුවක් හදාගන්න. ඉටු කරගැනීමට හෝ ගිලිහී යෑමට හෝ බලාපොරොත්තුවක් තිබිය යුතුය. ඒ නිසා මුලින්ම අරමුණක්, බලාපොරොත්තුවක් හදාගන්න.

හේතුවක් ඇතුව හෝ නැතුව සිනහමුසු මුහුණින් සිටින්න. සිනහ වීමට අමුතු පිරිවැයක් දැරිය යුතු නැතත් ඉන් ඔබ සතුටට හුරු කරවයි. ඔබට සහ දකින්නන්ටද සතුට කැඳවයි. ඒ නිසා සිනහව පුරුද්දක් කරගන්න. හතුරකුටවත් ඔරවන්න, ගොරවන්න, පුප්පන්න නොයන්න. ඉන් විනාශ වන්නේ ඔබේ මොහොතක හෝ සතුටයි. ඔබේ සතුට විනාශ කිරීමට ඔබේ සිතට හෝ ඉඩ නොදෙන්න.

ජීවිතයේ අතරමඟ ඔබ අතහැර දමා ගිය අයට තවමත් හිතින් වෛර කරනවානම් ඉක්මනින් සමාව දී ඔවුන් මතකයෙන් මකන්න. මන්ද ගෙවී ගිය අතීතයට ඔබේ අද දවසේ සතුටට බලපෑම් කිරීමට කිසිදු ඉඩක් නොදෙන්න. ඔවුන් වෙනුවෙන් නොව ඔබ වෙනුවෙන් ඔවුන්ට සමාව දෙන්න.

දිය යටින් ගිනි ගෙනියන, ඔබව අවුළුවා හිත යටින් සතුටු වන, නිතරම අනුන්ගේ දේ කියවමින් අනවශ්‍ය ප්‍රශ්න පත්තර ඔබේ ඔළුවට අතහරින, ඔබ පවුලේ අය , හිතවතුන් සම්බන්ධ නැති ප්‍රශ්න ඇති කරවන්නට ඍජුව හෝ වක්‍රව මිතුරු වෙසින් ඉන්නා යමකු උත්සාහ ගන්නවා නම් එවැනි මිතුරන් ඈත් කර දැමීමට මැළි නොවන්න. සැබෑ මිතුරකු නිසා ඔබේ මුවට සතුටක් මිස සිතට කනස්සල්ලක් නම් ඇති විය නොහැකිය. ඊර්ෂ්‍යාකාර, කරදරකාර මිතුරන් ඈත් වී ගිය පසු සිතට දැනෙන සතුට විඳ බලන්න.

සුන්දර ආකල්ප සහිත සාර්ථක ජීවිත ගත කරන පිරිස ළංකර ගන්න. සියල්ලෙහි අඩුපාඩු දකින, ජීවිතය සහමුලින්ම පටලවාගත්, පසුතැවීමෙන් යුතු ඍණාත්මක දුශ්ශීල පිරිසක් ඔබ වටේ සිටින තාක් ඔබට සතුටු වීමට ඔවුන් ඉඩ තබන්නේ නැත. ජීවිතේට ළඟම පිරිස ධනාත්මක ආකල්පවලින් උසස්, ප්‍රීතිමත් පිරිසක් නම් ඔවුන් ඔබේ සතුටට තව හේතු සපයනවා මිසක නෙතට කඳුළු ගෙන එන්නේ නැත.

වැඩිපුර සතුට ඇත්තේ රැස් කිරීම තුළ නොව අත් හැරීම තුළය. ආහාර, ඇඳුම්, ධනය, ආදරය, කරුණාව, දැනුම හෝ තමාට දිය හැකි භෞතික හෝ ආධ්‍යාත්මික හෝ යමක් කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර අන්‍යයන්ට දෙන්න. එය ඔබට දිගුකාලීන සතුටක් අත්කර දේවි .

කන්නාඩිය ඉදිරියට ගොස් අලුත් වන්න. කොණ්ඩය වෙනස් විදිහකට කපන්න. ඔබගේ තොල් ආලේපන , නිය ආලේපන වෙනස් කර බලන්න. මුහුණට, ගතට කුමන හෝ සත්කාරයක් කරන්න. පරණ ඇඳුමකින් අලුත් යමක් නිර්මාණය කර අඳින්න. කෙටියෙන්ම කියතොත් ඔබේ බාහිර ස්වරූපය වෙනස් කිරීම මඟින් ඔබට ලැබෙන සතුට සුළුපටු නොවේ.

වාද කිරීම, තරහ ගැනීම, පළිගැනීම නවතා දමන්න. තමාට නුසුදුසු පුද්ගලයන් සමඟ පැටලීමට යෑමෙන් සිදු වන්නේ ඔබගේ දින ගණනක සතුට සහ ප්‍රීතිය අහිමි වීමක් පමණි. තමාට නොගැළපෙන කිසිවකු සමඟ වාදයකින් ජය ලැබුණද ඵලක් නැත. ඔවුන්ට දිනුම දෙන්න. ඔබේ සතුට ඔබ ළඟ තබාගන්න. කිසිවකුට කිසිම අයුරකින් ඊට බලපෑම් කිරීමට ඉඩ නොදෙන්න.

ඔබ ගැන අනෙකා සිතන ආකාරය ගැන වද වීම, දුක් වීම නවතන්න. ලෝකයට සවන්දීම නවතා ඔබ සතුටින් සිටින්න.

උපයන්න පටන්ගන්න. සුළුවෙන් හෝ යමක් ඉපයීම ඔබ තුළ ස්වයං අභිමානයක් ඇතිකරවයි. ඔබ දැනටමත් රැකියාවක නිරත වේ නම් ඉතා සුළු මුදලක් හෝ ඉතුරු කිරීමට පටන් ගන්න. එවිට අනාගතය සුරක්ෂිත බව සිතා වර්තමානය සතුටින් ගත කළ හැකිය.

නිර්ලෝභිව ආදරය කරන්න. ආදරය විඳින්න. ආදරය වැඩියෙන් බෙදන පිරිසට වැඩිපුර ළංවෙන්න.

බොහෝවිට සතුට සැඟවී ඇත්තේ මහා ලොකු දේවල්වල නොව පුංචි පුංචි දේවල් තුළය. හැන්දෑවරුවක ගාලුමුවදොර පිටියට වී හිස් අහස දෙස ඔහේ බලන් ඉන්න. කුරුල්ලකුට කන්නට මොනවා හෝ දී උන්ගේ හැසිරීම බලා සිටින්න. පැරණි මිතුරකු සමඟ කෝපි කෝප්පයක් බොමින් අතීතය සිහිකර සිත්සේ හිනැහෙන්න. හිතනවාට වඩා සතුටක් ඔබට දැනේවි.

ඔබට පාලනය කළ නොහැකි දේ පිළිබඳ දුක් වීම, කනස්සලු වීම නවතා දමන්න. පාලනය කළ හැකි දෑ ගැන පමණක් සිත මෙහෙයවන්න. තමා ළඟ ඇති දෙයින් සතුටු වන්න.

ජීවිතයේ සියල්ල සම්පූර්ණ කරගෙන නිවී සැනසිල්ලේ සතුටු වීමට නොඉඳ මේ මොහොතේ සිට සතුට ජීවිතයට එකතු කරගන්න.

ඔබගේ සතුට අනුන් ළඟ සෙවීම නවත්වන්න. ඔබගේ සතුට ඇත්තේ ඔබ ළඟය. එය හොයාගන්න. සතුට රැගෙන කිසිවකු ඔබේ ළඟට ආවත් නාවත් ඔබ වෙනුවෙන් ඔබ සතුටු වන්න. මන්ද තව කොපමණ ජීවිත කාලයක් ඉතුරු වෙලා ඇත්දැයි අපි දන්නේ නැත. දුක් වෙමින්, පසුතැවිලි වෙමින් ලෝකයට උත්තර දෙමින්, බුරන බල්ලන්ට ගල් ගසමින් ලෝකයම සතුටු කරමින් නාස්ති කිරීමට කාලයක් නැත. එම නිසා මෙතැන් සිට හෝ ඔබ වෙනුවෙන් ජීවත් වීමට පටන් ගන්න. ඔබව සතුටු කිරීම අරඹන්න.

[අනිශා ජයකොඩි]

මාතෘකා