මම ආදරය කළ හා ජීවත් වූ උතුර!

 ඡායාරූපය:

මම ආදරය කළ හා ජීවත් වූ උතුර!

එක්ව නැඟී සිටින්නට වෙර දරන ජාතියක් කෙරෙහි අන්ධකාරය වැගිරවීමට සූදානම් වන ලෝක ප්‍රජාවට පිළිතුරක්...

මම උතුරේ පශ්චාත් යුද සමයේ සේවය කළ කාලය තුළ ඉගෙනගත් දෙයක් නම් සමාව ඉල්ලීම සහ සමාව දීම තුළින් වේදනාවන් හෝ සිතිවිලි මකා නොදමනු ඇතත් එය නිසැකවම රිදවීමේ තීව්‍රතාව අඩු කරනු ඇති බවයි.

දූවිලි සහිත වූ තාර නොදැමූ වළවල් සහිත පාරවල්වල හා හා පුරා උතුරට ගිය හැටි මට මතක් වේ. සෑම කිලෝමීටර කිහිපයකට වරක් මුරපොලවල් සහිත පාරවල් දෙපස සලකුණු කරමින් තිබූ කහ කළු පටි වළලා ඇති සක්‍රීය බිම් බෝම්බ ගැන අපට ඉඟි කළහ. වාට්ටුවලදී ත්‍රස්තවාදී යුද්ධය නිසා

අතහැරුණු ජීවිතය සොයා යන්නන් මට මුණ ගැසිණ. ශරීරයේ කැළැල් සහ තුවාල අප දුටු නමුත් මනසේ තුවාල දකින්නට අපහසු විය. අඳුරු අතීතයේ මානසික තුවාල සමග පොරබැදූ අය ආයුධ අතහැර ජීවිතය වැලඳගත් අය මේ අතර විය. ආයුධ අත දරා ජීවිතය අතහැර දැමූ අයද විය. සියල්ලෝම කයින් මනසින් ආතුර වී සිටියහ.

“ඇයි ඔවුන් අපි මැරුණේ නැත්තේ? ඇයි අපිව මරලා දැම්මේ නැත්තේ ?” ආබාධිතව කකුල් අත් පණ නැතිව එහෙත් ජීවය රැඳුණු සටන්කරුවන් අපෙන් ප්‍රශ්න කරන්නේ විවර වූ දෑසින් සිවිලිම දෙස බලාගෙනය. කොඳු ඇට පෙළට ඇති වූ හානි හේතුවෙන් ඔවුන් ආබාධිත තත්ත්වයට පත්වී සිටි අතර ජල මෙට්ට මත සිටි ඔවුන්ට යන්තම් හිස චලනය කිරීම පමණක් කළ හැකි විය. රජයේ හමුදාවේ සටන් කළ සෙබළුන්ටද එම කනගාටුදායක අවසානය අත්වී තිබිණ. ඔවුන්ගෙන් බොහෝ දෙනකු මගේ වයසේම විය.

ත්‍රස්තවාදීන් සහ හමුදා සොල්දාදුවන් එකම ඉරණමකට මුහුණ දුන් අතර ඔවුන් ඉදිරියේදී කුමක් කරන්නේද යන්න පිළිබඳව පැහැදිලි හැඟීමක් නොතිබිණ. සමහරුන්ගේ ආදරණීයයෝ ඔවුන් සමඟ සිටියහ. භාර්යාවෝ ඔවුන්ගේ ඇඳ අසල බංකුවක වාඩි වී කඳුළු පුරවාගෙන වැලපුණහ.

“මීට වසරකට පෙර මම හිතුවේ ඊලාම් ගැන පමණයි. දැන් මට ඇත්තේ මගේ බිරිඳ සහ දරුවන් අහිමි වේවිද මම තනි වේවිද කියන සිතිවිලි සහ බිය පමණයි. මොකද මට තව දුරටත් කිසිවක් තනියෙන් කර ගන්න බෑ. මගේ බිරිඳ වඩා හොඳ මිනිසෙකු සොයාගෙන යාවිදැයි බියක් එක්ක, ඒ සිතිවිලි නිසා මම බිරිඳ එක්ක තරහ ගන්නවා. ”ත්‍රස්ත කණ්ඩායමේ හිටපු සටන්කරුවකු මට කීවේ ඔවුන්ගේ ජීවිතයේ මේ වෙනස්කම් ගැන ලියන්න යැයි කියමිනි. කඳවුරුවල ඔවුන්ගේ ජීවිතයෙන් මිදීමට ඔවුන්ගේ අභයභූමිය වන්නියේ නගර මධ්‍යයේ පිහිටි රෝහලය.

මුළු රටක්ම ගිල දමා ජීවය නසන්නට හේතු වූ බෙදීමේ ගැඹුර අපි දුටුවෙමු. ඉතින් අපට අවශ්‍ය වූයේ මෙම බෙදීම් අවසන් කිරීමටයි. එනම්, අවුරුදු 30 ක දුරස්වීම ! භේදය! ගැටුම! අවම වශයෙන් අපේ පරම්පරාවෙන්වත් එය නැවැත්වීමට අපට අවශ්‍ය වූ අතර අපගෙන් සමහරු ඒ සඳහා සැබැවින්ම කැපවී වැඩ කළහ.

"සිංහල ඔබ ගැන අපට උගන්වා තිබුණු දේ වැරදියි, ඔබ කාරුණිකයි! ”ඔවුන් අපේ මුහුණට කීවෝය.

වසර ගණනාවක් ගෙවී ගිය අතර රූපවාහිනී වැඩසටහන්, වාර්තා චිත්‍රපට, කළු ජූලි කෝලාහල පිළිබඳ පුවත්පත් ලිපි වරින් වර දර්ශනය වූ නමුත්, 83දී අප බිලිඳුන් වූ බැවින් ඒ ගිනිදැල් ගැන හෝ දේශපාලන කුමන්ත්‍රණ ගැන අපි කිසිවක් දැන සිටියේ නැත. එහෙත් අපි දශක 3ක් තිස්සේ එහි ගොදුරු බවට පත්වීමු.

ගිලුණු ඇස් සහ රැළි වැටුණු සමේ පැරණි පච්චා සලකුණු රැඳි අත්තම්මලා මට මතක් වේ. ඔවුන්ගෙන් සමහරු මගේ මවු බසින් කතා කළ අතර 83 වැනි කළු ජූලි මාසයට පෙර දකුණේ ඔවුන්ගේ ජීවිත පිළිබඳ කථා මට පැවසූහ.

“උතුරේ සිංහල වෛද්‍යවරු!” එක් මහලු සීයා කෙනකු පුදුමයෙන් ඇසූ විට මා උතුරු වැසියකු නොවන බවත් මෙහි සේවය කරන නිසාම දෙමළ කතා කරන බවත් පැවසුවෙමි.

“මගේ ජීවිතයේ ප්‍රාර්ථනා 2 ක් තිබුණා. එකක් තමා යුද්ධේ ඉවර වෙන එක. ඒක එහෙම වුණානේ. අනෙක තමා සිංහල වෛද්‍යවරුන් මෙහෙ සේවය කිරීම. අද ඒකත් හරි !” වයස අසූවක් පමණ වූ ඔහු වැඩි කාලයක් දකුණේ ජීවත් වූ බව කියූ අතර ඔහුගේ ළබැඳි මනුෂ්‍යත්වය හෘදයංගම විය.

සෑම හන්දියකම චෙක් පොයින්ට්වල නවත්ව නවත්වා බෝම්බ පිපිරේදැයි බියෙන් අප ගත කළ ළමා කාලය මට මතක් වේ. මේ සියල්ල මධ්‍යයේ හැදී වැඩුණු පරම්පරාව අපිය.

මම ඒ අතීතයට කැමති නැත. තත්පර කිහිපයක් ඇතුළත පිපිරී විනාශ වී හෝ කැබලිවලට කැඩී නොයන “වර්තමානයට” මම ප්‍රිය කරමි. ළමා සොල්දාදුවන් කරන්නට පැහැරගෙන යාදෝයි බියෙන් සිටි පරපුරකට නිදහසේ පාසල් යා හැකි වර්තමානයට මම ප්‍රේම කරමි. ආර්ථික ප්‍රශ්නවලින් බැට කෑවද යම් තරමකට ජීවිත දරාගත හැකි වර්තමානයට මම ප්‍රිය කරමි. මම වරින් වර මගේ ලිවීම් හරහා එය මතක් කරන්නෙමි. මන්ද අප මෙම කරුණු පහසුවෙන් අමතක කරන සමාජයක් වන බැවිනි.

වඩා හොඳ රටක් ගොඩනැඟීම සඳහා අපගේ උපරිම ධාරිතාවයෙන් වැඩ කළ හැකි මෙම වර්තමානයට මම ප්‍රිය කරමි. අදද බුර බුරා නැඟෙන්නට වෙර දරන උතුරේ වෛරය අවසන් කිරීම සඳහා අපට සාමකාමී සහනයක් ගෙන දිය හැකි යැයි මම සිතමි. අපට අවම වශයෙන් අපගේ සහෝදර සහෝදරියන්ට ඔවුන්ගේ වේදනාව දරා ගැනීමට උපකාර කළ හැකිය.

මේ රටේ සෑම පුරුෂයකුම හා ස්ත්‍රියකම මේ දුක විඳ ඇත. යුද්ධය නිමා වී වසර 10ක් ගතවී ඇත. එහෙත් තවමත් ජාතිවාදයේ ගිනි පුපුරු තැනින් තැන මතුවේ. ඔබ වඩා හොඳ සිංහලයකු, මුසල්මානුවකු හෝ ද්‍රවිඩයකු බවට පත් කරන්නේ ඔබේ ක්‍රියාව සහ අනෙකා කෙරෙහි ඔබ තුළ ඇති දයාව සහ කරුණාව බව වටහා ගත යුතුය.

[වෛද්‍ය බෝධිනී සමරතුංග]

මාතෘකා