අධර, අදර, ඕෂ්ඨ, ඕෂ්ඨජ, ඔට හා රතොට

 ඡායාරූපය:

අධර, අදර, ඕෂ්ඨ, ඕෂ්ඨජ, ඔට හා රතොට

තොල් හැඳින්විමට පද කීපයක් ම සිංහලයෙහි යෙදේ. ඒ අතුරින් 'තොල්' හා 'ලවන' යන පද ගැන කලින් ලිපියක දැක්විණ. ඊට අමතරව යෙදෙන පද කීපයක් මෙහි විමසිල්ලට හසු වේ.

අධර - 'අධර' යනු තොල් හැඳින්වීමට සංස්කෘත භාෂාවෙහි යෙදෙන පදයකි.

අධර පල්ලව - තොල් පෙති දලු වැනි නිසා 'අධර පල්ලව' යනුවෙන් හැඳින්වේ. 'පල්ලව' යනු දලුයි.

අධර පුට - උරුවම් බාන විට දෙ තොල් එක් කොට ගත යුතු ය. එසේ කරන විට එය ගොටුවක් වැන්න. ඊට 'අධර පුට' යන වහර සංස්කෘතයෙහි යෙදේ.

අදර - තොල් හැඳින්වීමට යෙදෙන 'අධර' යන සංස්කෘත පදය සිංහල කව් ලැකියට එන්නේ 'අදර' යනුවෙනි. 'දහම්සොඬ' කාව්‍යය ලියූ අලගියවන්න මුකවෙටි තුමා බරණැස් පුරය වර්ණනා කරන විට එහි කාන්තාවන් දුටුවේ මෙලෙස ය:

"රතදරිනි නා ලිය

ගමනින් සදිසි නා ලිය

එපුර සරනා ලිය

කවුරු නම් හැකි වෙති වනා ලිය" (34)

"රතදරිනි නා ලිය" යන්නෙන් කියවුණේ එහි සරන ලියන්ගේ 'තොල් නා දලු' වැනි බව යි. "රතදරිනි" යන පදය සැදී ඇත්තේ "රත්" හා "අදරින්" යන දෙ පදය 'ස්වර සන්ධි විධියෙන්' එක් වීමෙනි.

රත්-අදරින් = රතදරින්

ඕෂ්ඨ - තොල් හැඟවීමට සංස්කෘත භාෂාවෙහි යෙදෙන තවත් පදයක 'ඕෂ්ඨ' යන්න යි.

ඕෂ්ඨජ - මිනිසා කතා බස් කරන විට සමහර ශබ්ද උපදින්නේ දෙ තොල් ඇසුරිනි. ඒ ශබ්ද හැඳින්වෙන්නේ 'ඕෂ්ඨජ' යන සංස්කෘත පදයෙනි. 'ජ' යන තද්ධිත ප්‍රත්‍යය 'එයින් උපදින' හෝ 'එයින් සැදෙන' යන අරුත් දෙයි. මේ ශබ්ද විශේෂය ඉංගිරිසියෙන් හැඳින්වෙන්නේ 'labial' යන පදයෙනි.

සිංහල භාෂාවෙහි 'ස්පර්ශ ශබ්ද' (plosives) අතරෙහි 'ඕෂ්ඨජ ශබ්ද' 6 කි. පාරම්පරික ව්‍යාකරණ පොත්වල 'ප-වර්ගය' වශයෙන් දක්වා ඇත්තේ මේ ශබ්ද හය යි:

ප ඵ බ භ ම ඹ

ශබ්ද නිකුත් වන්නේ මුවිනි. ඉතා පහසුවෙන් ම නිකුත් කළ හැක්කේ මුවග පිහිටි තොල් ඇසුරින් නිකුත් වන ශබ්ද යි. එබැවින් ලොව කවර රටක උපන්නත් බිළිඳුන් මුලින් ම නිකුත් කරන වචන ආරම්භ වන්නේ ඕෂ්ඨජ ශබ්දවලින් බව පෙනේ:

ප : පපා පප්පා අප්පා

බ : බබා බබී බේබි

ම : මමා මමී මම්මා

සිංහල බිළිඳුන් ද මුලින් ම උසුරුවන පදවල ඕෂ්ඨජ ශබ්ද බහුල ය:

බ : බයි හබුං (බත්)

බව්වා (බල්ලා) බෝ (වතුර)

බයි බයි බයි බයිය බබෝ

ඕෂ්ඨ පල්ලව - 'ඕෂ්ඨ පල්ලව' යනු තොල් පෙති හැඟවීමට සංස්කෘතයෙහි යෙදෙන සමාසයකි. 'පල්ලව' යනු දල්ල යි.

ඔට - 'ඕෂ්ඨ' යන සංස්කෘත තත්සම පදය සිංහල කව් ලැකියට එන්නේ 'ඔට' යනුවෙනි.

රතොට - රත් පැහැ ගත් තොල් පෙති 'රතොට' ය.

රත්-ඔට : රතොට

එය රත් පැහැ ගැන්වෙන්නේ ස්වභාවයෙන් ම හෝ රත් පැහැති ලාක්ෂා හෙවත් සායම් තැවරීමෙනි. කව්සිළුමිණි කවියා එහි දොළොස්වෙනි සර්ගය වන 'කුස වැලපුමෙහි' මේ පද කුස රජුගේ මුවට නංවයි:

"රතොට රත ඇදීයෙම්

කොපොලැ පතලේ බිඳියෙම්

තන හස මුස කෙළෙම්

නිදොසිම් ලු මා නුගියට" (559)

මේ අනුව කුස රජ තමා කළ වැරදි තුනක් ඉස්මතු කොට දක්වයි:

පළමුවැන්න, රත් පැහැති තොලේ (රතොට) රත් පැහැය ඇද ගැනීම යි. එනම් ඇගේ තොල් සිප ගැනීම යි.

දෙවැන්න, කම්මුලෙහි (කොපුල්හි) පත්‍රලේඛා (පත්‍රාකාර සටහන්) බිඳීම යි.

තෙවැන්න, තන හස (පයෝධර නමැති හංසයන්) මුස කිරීම (මූර්ච්ඡා කිරීම) යි.

මා මේ තරම් වැරදි කළත් මා නිදොස් බව මගේ බිරිඳ සිතන බව කුස රජු කියයි.

මේ ගීයේ අර්ථය පූජ්‍ය වැලිවිටියේ පණ්ඩිත සෝරත නාහිමියෝ සිය 'කල්පලතා' නම් විස්තර වර්ණනාවෙහි මෙසේ විවරණය කරති:

"තොලෙහි රතත් කොපුලත පතලේත් තන හසුනුත් කත්හු ඉතා අගය කොට සලකති. පබවතට අයත් ඒ සියල්ලට මම උවදුරු කෙළෙමි. එතරම් වැරදි කළ මම පබවතට දොසක් නො කෙළෙම් ලු. අඳො ම යි! වැරදිකරුවන්ගේ ගතිය! වැරදිකරුවෝ සිය වැරැද්ද වරදකැයි නො සිතති. නො කියති." (307 පිට)

[ජේ. බී. දිසානායක]
 

මාතෘකා