ඩෙංගු කතා

 ඡායාරූපය:

ඩෙංගු කතා

ඩෙංගු වසංගත තත්ත්වය යළි හිස ඔසවමින් සිටින බව විටින් විට අප වෙත එන ආරංචිවලින් කියැවේ.

එකල මා සේවය කළේ ඩෙංගු උණ බහුල ප්‍රදේශයක වන නිසා අසල ඇති බෝවන රෝග වෛද්‍යායතනය මෙන්ම එහි වාට්ටුද පිරී ඉතිරී ගොස් තිබිණ.

මහ රැය මුළුල්ලේ පැයෙන් පැය රෝහල් ගතවන පිරිස අඩු නැත. වැඩිහිටි වාට්ටුවල තත්ත්වය බොහෝ ඛේදනීය විය. අප ළමා වාට්ටුව පවා ඉක්මනින් පිරී ඉතිරී යන අතර මවුවරුන් හෝ ළඟ සිටින අයවලුන් නිසා දෙගුණයක පිරිසක් වාට්ටුවේ රැඳී සිටියහ.

මධ්‍යම රාත්‍රිය පසුවන තුරද රෝගීන් බලා අවසන් නොවීය. රැගෙන ආ එක් කුඩා දරුවකුගේ මල්ලීද ඩෙංගු ප්‍රතිදේහජනක (NS1 Ag) ඇති බවට ලද රිපෝට් එක නිසා අප වාට්ටුවේම සිටියේය. මේ වැඩිමහලු දරුවාගේ ඩෙංගු ප්‍රතිදේහ ජනක (NS1 Ag) නැති බවට වාර්තාව ලද නිසා දිනකට පෙර ඔහු බාහිර රෝගී අංශයෙන් ගෙදර යවා තිබිණ. නමුත් ලක්ෂණ සහ සංකූලතා ගැන දැනුවත් කර තිබිණ. එදින හවස සිට ශරීරය පුරා කුඩා රතු ලප සහිතව මුත්‍රා පිටවීමද අඩාළව මලානික වී ඔහුද ගෙන ආවේ රාත්‍රියේය.

අම්මා සිටියේ ඇඩ්මිට් කරගත් දරුවා ළඟය. ගෙදර සිටි අනෙක් දියණියට මේ දරුවාට කවා පොවන්නට බැරි බවද කියැවිණ. මෙවැනි සමාජ ප්‍රශ්න දරන්නට සිදුවී ඇත්තේ වෛද්‍යවරුන් වන අපටය. ඒ ඔවුන් අප හමුවේ මේ ප්‍රශ්න අත හරින නිසාය. ඇඳුමේ පැලඳුමේ සිට සනීපාරක්ෂාව දක්වා සියල්ල පෙන්නුම් කරන්නේ දරිද්‍රතාවයෙන් පෙළෙන ඔවුන්ගේ දුක්බර කතාවය.

" ගෙදර ඉතින් මම නෑ කියලා මෙයා කන්නෙ බොන්නෙ නැතුව අම්මා හොයමින් හිටියා, තාත්තාට ළඟ ඉන්න බෑනේ, එයා වීල් එක එළෙව්වේ නැත්නම් ගෙදරම බඩගින්නේ" ඇය හැඬූ කඳුළෙන් පැවසුවාය. මේ අයට කිසිවක් කියන්නට නොහැකිය. පියවරුන්ටද ළඟ රැඳිය නොහැකිය. ඔවුන් කෙසේ හෝ එදිනෙදා වියදමට යමක් හරි හම්බ කළ යුතුය.

තවත් දියණියක ඇතුළත් කර තිබුණේද ඩෙංගු රක්තපාත ලක්ෂණ සහිතවය. ඇය සිටියේ බොහෝ වික්ෂෝපයෙනි. මම පරීක්ෂා කරන විටද ඇය හැඬුම්බරව සිටියාය.

"ඇයි මේ අඬන්නේ... ඇඩ්මිට් කළාටද ?" වයස දහතුනක දියණියක නිසා මම ඇසුවෙමි.

"නෑ ඩොක්ටර්, තාත්තා බීලා ඇවිත් රණ්ඩු කළා. මම හොඳටම අමාරුවෙන් හිටියේ. අම්මා රණ්ඩු කරලා කොහොම හරි ඉස්පිරිතාලේ ගේනකොට වීල් එක තාප්පෙකත් හප්පගත්තා. මට බැන්නා, අසනීප වුණාට " කියමින් ඇය හඬා වැටුණාය.

"කෝ දැන් තාත්තා ?" මම ඇසුවේ සාමාන්‍යයෙන් පියවරුන්ද අපි පරීක්ෂා කරන මේසය අසල රැඳී සිටින හෙයිනි.

"බැන බැන යන්න ගියා " මව කීවාය.

බොහෝ හුරුබුහුටි ඒ දියණියගේ මුහුණ දැඩි කම්පනයක සේයාවක් පෙනේ.

මා ලියන්නේ විටින් විට මට හමුවෙන හෘද කම්පනයන්ය. ඒවා මාවෙත ගෙන එන්නේ බොහෝ දරිද්‍රතාවයෙන් දුක් විඳින පීඩිත පන්තියේ මිනිසුන්ය. ජීවිතය මා හමුවේ තබන්නේ එවැනි වූ මිනිසුන්ය. රටක බහුතරයක් මිනිසුන් මේ ආකාරයේ දුක් කරදරවලින් වෙළාගත් ජීවිත ගත කරන අතර ඔවුන්ගේ කායික සෞඛ්‍යයටද එය දැඩිව බලපෑම් කෙරේ.

ස්කෑන් මැෂිමද වාට්ටුව පුරා ගෙන යමින් ශරීර තුළට හිස් අවකාශවලට තරල පිටවී රක්තපාත තත්ත්වය ඇද්දැයි වෛද්‍යවරයා පරීක්ෂා කළ යුතුවේ. එවිට වෙනත් රෝගාබාධ නිසා රෝහල් ගතවූ අම්මලාටද ස්කෑන් ඕනෑකමක් ඇතිවේ. ඒ අයට කාරුණිකව හේතු සාධක පෙන්වා දීම ද සිදු කළ යුතුවේ. විටෙක යටිගිරියෙන් කෑ ගසන දරුවකුගේ හඬක් වාට්ටුවෙන් නැඟේ. ඒ ලේ පරීක්ෂා කිරීම් සඳහා රුධිරය ලබාගන්නා වෙලාවටය.

“අපිත් විදිනවා විදිනවා, ලේ ගන්නවා, ඉවරයක් නෑ...” කියා මිස් කෙනකුටද කියැවිණ.

සමහර විට මවුවරු සහ ළමුන් යන දෙපිරිසම අඬති. කුඩා දරුවන්ගේ සෝ සුසුම් ඉවසිය හැක්කේ කාටද ?

" ඔයාලත් මදුරුවො වගේ..." දරුවකු දිනක් බැන්නේ ඒ වේදනාවට විය යුතුය.

තව මවක් පැමිණ තිබුණේ තමන්ට සහ පවුලේ සැමට ඩෙංගු හැදුණු නිසා, මේ දරුවාට උණ ගැනී ලේ පරීක්ෂා කළත් ඩෙංගු ලක්ෂණ ඉන් පෙන්නුම් නොකළත් ඇති වූ බිය නිසාවෙනි.

ඒ මවගේ ටිකට් කපා තිබුණේ දින දෙකකට කලින්ය.

"මේ ලේ එකනම් හොඳයි අම්මා, බය වෙන්න එපා" මම ඇයව අස්වසන්නට වීමි.

"ඒත් ඩොක්ටර් මම කොහොමද හිත හදාගෙන ඉන්නේ" ඇය පවසන්නීය.

"ඩෙංගු උණ හැදිලා ගෙදර යැව්වත් විවේකීව ඉන්න ඕනෙ අම්මා, ඔයා කොහොමද මේ දරුවා ළඟ ඉඳගෙන නිදිමරන්නේ"

"වෙන කවුරුත්ම නෑ ඩොක්ටර්, සැරෙන් සැරේ මම, ලොකු දුව, පුතා අපි සේරම ඇඩ්මිට් වුණානේ, මහත්තයට නිවාඩු නෑ" ඇය පැවසුවාය.

මදුරුවන් වැඩි වීම සහ ඒවාට නිසි පිළියම් සෙවීම ගැන සැවොම උනන්දු විය යුතුය.

රෝගීන් ආවරණය කර තව මදුරුවන් කෑම වළක්වා ගැනීමට කටයුතු කළ යුතු යැයි රෝග මර්දන ඒකකයෙන් මතක් කරයි. තම අවට පරිසරය හැකි තරම් පිරිසුදුව තබා ගත යුතු බව මහජනයා මෙන්ම නගර ආශ්‍රිත පොදු ස්ථාන බාර උදවියද වටහාගත යුතුය.

[වෛද්‍ය බෝධිනී සමරතුංග]

මාතෘකා