මුදල් මවමු ඉගෙන ගනිමු!!

 ඡායාරූපය:

මුදල් මවමු ඉගෙන ගනිමු!!

මේ කතාව බස් කතාවක්. බස්වල ගමනාගමනයේ යෙදෙනකොට අපිට විවිධාකාර අත්දැකීම් ලැබෙනවා. විවිධ වර්ගයේ මිනිසුන්ගේ හැසිරීම් රටාවන්, ඔවුන්ගේ සිතුම්පැතුම් ගැන වැටහීමක් ලැබෙනවා. සමහර ගමනාන්ත කෙටි වුණාට බස් රථ වැඩි කාලයක් ගන්නවා. තැනින් තැන නවත්වාගෙන සෙනඟ එකතු කරනවා. ඉක්මනින් යන්න ඕන වුණත් යම් බර පැනක් දරන්න බැරි අය සියල්ල ඉවසා දරාගෙන ඉන්නවා.

මා අසුන් ගෙන සිටි බසයකයි මේ අත්දැකීම ලැබුණේ. සුපුරුදු පරිදි වේග රිද්ම ගීත කිහිපයක් උස් හඬින් වාදනය වෙමින් තිබුණා. මධ්‍යහ්නය පසු වී තිබුණ නමුත් හිටගෙන යන තරම් සෙනඟක් හිටියෙත් නැහැ. බසය එක් නැවතුමක නතර කරගෙන කොන්දොස්තර මහතා සෙනඟ එකතු කරනවා. මේ විදියට සාමාන්‍යයෙන් විනාඩි දහයක් විතර බසය නතර කරගෙන ඉන්න එකයි කරන්නේ. මේ අතරේ බසයේ ඉදිරිපසින් ගොඩවුණු තරුණයෙක් රියැදුරු මහතා දෙසට නැවී යමක් කියනවා.

ඉදිරියේ වැට අසලින් අප දෙසට හැරුණු මේ තරුණයා යමක් කියන්න පටන් ගන්නවා. එය මුලදී නෑසී යන්නේ ගීත නාදය ඉහළ නිසයි. සුළු මොහොතකින් රියැදුරු එය නිහඬ කරනවා.

"...මම දැනට.....පිළිබඳ පාඨමාලාවක් හදාරනවා. එයට යන මුදල මගේ පවුලට දරාගන්න අපහසුයි. ඒ හින්දයි මං ඔය අය ඉදිරියට මේ විදියට ආවේ..."

මම අවධානයෙන් ඔහු දෙස බැලුවා. හිසකෙස් කොටට කපා සිටි ඔහුගේ මුහුණේ යම් උද්‍යයෝගී බවක් විඩාබර බව පරයමින් මතුවී තිබුණා. සාමාන්‍යයෙන් බසයකට නඟින විවිධාකාර ආධාර එකතු කරන්නන්, සිඟමන් යදින්නන්, අලෙවිකරුවන් අතරේ ඔහු යම් වෙනස් කතාවක් කියමින් සිටිනවා.

"...මේ කාලයේ මුදලක් හම්බ කරනවා කියන එක ලෙහෙසි දෙයක් නෙවෙයි. අනිත් එක දුක කියලා සල්ලි එකතු කරන්නත් අමාරුයි.." තවමත් ඔහු කරන්නට යන්නේ කුමක්දැයි ඉඟියක් නැත.

"අම්මේ, තාත්තේ අයියේ අක්කේ.. කිසිදෙයක් නිකං හම්බවෙන්නේ නැහැ. අපි යමක් කරලයි ලබාගන්න ඕන" ඔහු නිකං මුදලක් අයදින්නේ නැති බවට සහතික වෙනවා.

"මං මේ වෙලාවේ තෝරා ගත්තා පැරණි ගීතයක්. එය රසවිඳලා මට ඉගෙනීම වෙනුවෙන් උදව්වක් කරන්න"

සිය සාක්කුවට අත දාලා ඔහු ගන්නවා බට නළාවක්. සිය දෙතොල් උල් කර එයට ළං කරමින් අතැඟිලි හසුරවන්නට පටන් ගන්නවා.

ඔව්! එය පුදුමාකාරව ඔහු වයනවා.

ගීතය.. හෙමින් සැරේ පියා විදා...

මුළු බස් රථයේම මුහුණු දෙස මා අවධානයෙන් බැලුවා. ඔව් එය හැමෝම වසඟකරන්නට සමත් වෙලා. බසයට සෙනඟ පටවමින් හිටපු කොන්දොස්තර පවා බසයට නැඟලා ඔහුගේ වාදනය රස විඳිනවා.

තව ගීතයක් වාදනය කරපු ඔහු බසයේ ඉදිරියේ සිට පසු පසට යන්න පටන් ගන්නේ යමක් බලාපොරොත්තුවෙන්. ඔහුගේ දක්ෂතාව අගය කරන ඇතැමෙක් ඔහුගේ හිස පවා අතගාමින් මුදලක් ලබාදෙනවා. ඇත්තෙන්ම ඔහු බසයෙන් බහින කොට ඉගෙනීමට අවශ්‍ය ආශිර්වාදයත් රැඟෙනයි යන්නට ගියේ.

ඇයි මම මේ වගේ අත්දැකීමක් එකතු කරගත්තේ? මින් කතා කළ යුතු යමක් මතු වෙනවා. ලංකාව ඇතුළෙ එතරම් කතා නොවෙන දෙයක් මතු කරගන්න. ඉගෙනගන්න අවශ්‍ය බරපැණ දරාගන්න නොහැකියාව නිසා ඔබ තැවෙමින් ඉන්න අවශ්‍ය නැහැ කියන කතාවයි එය. අද වෙනකොට ඉගෙනගන්න වෙනදාට වඩා මුදලක් අවශ්‍ය වෙනවා.

නොමිලේ ලැබෙන නිදහස් අධ්‍යාපනය තුළ තියෙන අවස්ථා සීමිත නිසාත් ගෝලීය සුදුසුකම් අවශ්‍ය නිසාත් සැලකිය යුතු මුදලක් වැය කරන්න සිදු වෙන එක සාමාන්‍ය සිද්ධියක් බවට පත් වෙලා.

කාලයක් තිස්සේ විදේශගතව අධ්‍යාපනය ලබන ශිෂ්‍යන්ට මෙය අරුමයක් නොවෙයි. ඔවුන් අනිවාර්යෙන්ම සතියකට පැය කිහිපයක් විවිධ රැකියාවල නිරත වෙමින් සිය බරපැණ අඩු කරගන්නට උපයනවා. එලෙස කරන කැප වීම අසීමිතයි. ඇතැම් විට ඔවුන් කරන රැකියාවන් ලංකාව ඇතුළේ ඉතා පහත් මට්ටමින් සලකන තත්ත්වයක් තියෙන්නේ. යමෙක් එවැන්නක් කරනව කියන්නත් මැළි වෙනවා. එහෙම වුණාට තමන්ගේ වියදම උපයාගන්න හොරකම් නොකර කිසියම්ම හෝ දෙයක් කරන තරුණයන් හෙට දවසේ රටේ අනාගතයට බරක් වන්නේ නම් නැහැ.

ඉගෙනීම ඉවර කරලා වයස විසිපහක් තිහක් වෙනකං ගෙදරට වෙලා රජයෙන් රස්සාවක් ලැබෙනකං ඉන්නේ නැතුව ඉගෙන ගන්න කාලම දුෂ්කරක්‍රියා කරමින් අමතර පැය කිහිපයක් වෙහෙසෙන තරුණ තරුණියන් කවදාවත් රටකට බරක් වෙන්නේ නැහැ.

අපි ඉස්සර කාලේ දේවල් ගැන කියනකොට රාත්‍රී පාසල් ගැන අහලා තියෙනවනේ. එයින් ඉගෙනගත්තේ දහවල් කාලයේ උපයමින්. අද කාලේ තියෙන්නේ එහි අනෙක් පැත්ත. හවස් කාලයේ හෝ රාත්‍රියේ අමතර මුදලක් උපයන්න අවස්ථා තියෙනවා. ආපනශාලාවල වැඩ කරන්න, රියැදුරු බලපත්‍රය හිමිනම් ආහාර ප්‍රවාහනය කරන්නට, සුපිරි වෙළෙඳසල්වල සේවය කරන්නට, විවිධ වෙළෙඳ ප්‍රචාරණ කටයුතු කරන්නටත් අවස්ථාවන් තියෙනවා.

නැහැයි කියලා අතපය අකුලාගන්නේ නැතුව ජීවිතයේ වටිනා තැනක් කරගන්න යමක් කරන්න කුඩා හෝ කැපවීමක් උනන්දුවක් දල්වාගන්න ඔබේ මනසට මෙය උත්තේජනයක් වෙයි කියලා මම විස්වාස කරනවා. ඔබ දැනටමත් එවැන්නක නිරතනම් ඔබ විශිෂ්ටත්වය කරා යන්නෙක් කියා අභිමානයකින් සිතන්න. අතපය දිගහැර නැඟී සිටින්න තවත් අයෙක් උත්තේජනය කරන්න. රටට යමක් කරන්නට හැකි තරුණ පරපුරක් වෙතොත්, මේ රට දිරිය දේශයක් වනු නිසැකයි!

 

මාතෘකා