ව්‍යාපාරය පටන්ගනිද්දී මට වයස අවුරුදු 19යි

 ඡායාරූපය:

ව්‍යාපාරය පටන්ගනිද්දී මට වයස අවුරුදු 19යි

ඇතිමලේ නගරයේ ලංකා බැංකුව ඉදිරිපිට විජය පොත්හල පිහිටා ඇති ලොකු කුඩා කවුරුත් දන්නා වෙළෙඳසලකි. 2002දී ඇරැඹි විජය පොත්හල හා ඒහා බැඳි රසවත් අතීතයක්ද තිබේ. බොහෝ අගහිඟකම් මැද ආරම්භ කෙරුණත් අද වන විට සාර්ථක ව්‍යාපාර රැසකට හිමිකම් කියන විජය පොත්හලේ වර්තමාන හිමිකාරිණිය සමඟයි මෙවර කතාබහ. පවුලේ ඥාතීන්, සහෝදරයෝ, මවුපියෝ නොමැතිව තනිවම ජීවිකාව සරිකර ගත් දිරිය ගැහැනියක වන නදීකා මල්කාන්තිගේ තොරතුරුයි අද දින “රැස” “පත්තර ලෑල්ල” තුළින් ඔබ හමුවේ ගෙන එන්නේ.

ව්‍යාපාරයේ ආරම්භය ගැන කතා කළොත්?

2002දී තමා හරියටම ව්‍යාපාරය ආරම්භ කරන්නේ. මට අවුරුදු 19යි. මම පාසල් ගියේ සාමන්‍ය පෙළ පන්තියට. ඊට පස්සේ මේ රස්සාවට තිබුණු අසාව වැඩිකම නිසාම මේ ක්ෂේත්‍රය තොර ගත්තා. මගේ පවුලේ මට කියලා කාත් කවුරුත් නෑ. 1991දී මගේ පවුලම ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ ගොදුරක් වුණා. එදා ඉඳලා තනියම ජීවිතය ගොඩනඟාගෙන මේ තැනට ආවේ. ඒ ආපු ගමන්මඟේදී මගේ මහත්තයා මට සෑහෙන්න උදවු කළා. ඔහුවත් මේ වෙලාවේ ආදරයෙන් මම මතක් කරනවා. ඔහු විජේකුමාර රණසිංහයි. මට අමාරුම කාලේ, ඒ වගේම ආදරේ කියන දේ පවා ලබා දුන්නේ මගේ මහත්තයා. ඔහු සෙවණැල්ල වගේ හිටියා මට අමාරු කාලෙදිත්. රුපියල් 50,000කින් තමයි මමයි මගේ මහත්තයයි එකතු වෙලා ව්‍යාපාරය ආරම්භ කළේ. ඒ අපිට තිබුණු කුඩා කඩකාමරයක් ශුද්ධපවිත්‍ර කරලා මුලින්ම රුපියල් දෙකේ ලාභයට ආරම්භ කළේ. පස්සේ සියඹලාණ්ඩුවේ මුදලාලි කෙනෙක් මට කතා කරලා කිව්වා ලාභය රුපියල් 05ක් දෙන්නම් ඒජන්සිය පටන් ගන්න කියා. ඒ පාර මම වැඩි ලාභ ලැබුණු තැන තෝර ගත්තේ. දැන් වෙද්දි මම ඒජන්සි හයක්ම කරනවා. දැනට මට දරුවෝ 04 දෙනෙක් ඉන්නවා ඒ අයගෙත් සහයෝගය ඇතිව මේ ව්‍යාපාරය කරගෙන යන්නේ.

ඔබ ආයතනයේ අලෙවි කරන පුවත්පත් මොනවාද?

ලේක්හවුස් ආයතනයේ සෑම පත්තරයක්ම වගේ අලෙවි කරනවා.

ඔබ ඒජන්සිය හරහා ආවරණය වන ප්‍රදේශ මොනවාද?

ඇතිමලේ නගරය වගේම ඇතිමලේ ජනපදය, සියඹලා දේවාලය යන සීමාවන් තමා.

ඒ අතර ඇතිමලේ පොලිසිය, සමෘද්ධි බැංකුව, ඇතිමලේ ද්තීයික‍ පාසල, ගැමුණුපුර කනිෂ්ඨ විද්‍යාලය, හැටේ කෑල්ල කනිෂ්ඨ විද්‍යාලය වගේම ටවුමේ තියෙන හැම කඩයකටමත් පත්තරය නිතිපතා ගන්නවා.

මේ ආපු ගමන්මඟේ අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?

1991 තමා මට නම් ජීවිතේටම අමතකම නොවෙන කාලය. අපි ජීවත් වුණේ මේ නියම් ගමේ නේ ඒ කාලේ ඉඳලා. 91දී එල්.ටී.ටී. එකෙන් හරියටම අප්‍රේල් 14 අලුත් අවුරුද්ද දවසේ අපි ගෙදර පොඩියට සාදයක් පවා පවත්වන්න හිතුවා. එදාම කොටි පැනලා මගේ තාත්තව ගෙදරින් එළියෙම මැරුවා ගෙට ඇවිත් අපිව බේර ගන්න එද්දී තමා එහෙම වුණේ. අනතුරුව මගේ පවුලේ අනෙක් සියලුම දෙනා ඒ පාපතරයෝ ඝාතනය කළා. පස්සේ ඒ අමනුස්සයෝ ගෙට ගිනි තිබ්බා. මගේ පවුලේ අය ඇස් ඉදිරිපිටම එළිවෙනකල් පිච්චුණා. මම එ වෙලේ කොහොමින් හරි එළියට ආව නිසා බේරුණේ. එදා අපේ ගමේ 22ක් ඔක්කොම මැරණා ඔය සිද්ධියෙන්. ඒ වේදනාව නම් මට අදටත් අඳුරු මතකයක් ඒ වගේම කැලැල් පවා අදටත් මගේ මුහුණේ තියෙනවා.

ඊට පස්සේ මට අමතක නොවෙන කාරණය තමයි 96දී මට වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා නුවර හිල්වුඩ් විද්‍යාලයට එක්වීමට ලැබීම. එහෙදී මම සාමන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබුවා.

වැඩිපුර අලෙවි වෙන පත්තර මොනවාද?

මේ දවස්වල වැඩිපුර අලෙවි වෙන පත්තරය නම් සිළුමිණ. සිකුරාදාට දිනමිණට ඉහළ ඉල්ලුමක් තියෙනවා. තරුණි කන්තා පුවත්පත්වලින් අංක 01 ඉන්නවා. "රැස" පුවත්පතටත් ලැබෙන ප්‍රතිචාර හොඳයි. අපි බ්‍රහස්පතින්දා සති පොළට පත්තර අරගෙන යනවා පුංචි රුපියල් 20ක් නිසා මිනිස්සු අරගෙනත් යනවා. මගේ මහත්තයා සෙනසුරාදාට ගිහින් පත්තර බයිසිකලේ බැඳගෙන ඇවිත් තමයි අපි විකුණන්නේ.

පැරණිම පුවත්පත් ඒජන්සියකට හිමිකම් කියන ලේක්හවුස් ආයතනය පිළිබඳව ඔබගේ අදහස කොහොමද?

ලේක්හවුස් එක කියන්නේ ඉතින් පැරණිම ආයතනයක්. මට නම් සෑහෙන උදවු කරලා තියෙනවා. අනෙක් කාරණය පත්තර ප්‍රවාහනය කරන්න වැඩිම මුදල පවා වෙන් කරලා දුන්නේ ලේක්හවුස් එකයි.

අනාගත බලාපොරොත්තු එහෙම ඇති නේද?

ලොකු ලොකු බලාපොරොත්තු නම් නෑ.

බක්ති මේගනා, උතුම් සම්මානි, කවිදු කේසර, මත්සිකා සංචලී යන මගේ

දරුවන්ට උගන්නගෙන රටට ජාතියට සේවය කරන පරපුරක් හදන එක තමයි එකම බලාපොරොත්තුව.

News Order: 
1
මාතෘකා