පුදුමාකාරලෝකය 2

 ඡායාරූපය:

පුදුමාකාරලෝකය 2

රංගන ශිල්පී තෙරුන්ගෙන් මේ දිවයින පිරී ඇත. ඇතැම් හිමිවරුන් බණ කියන්නේ මිනිස් සංගමය පිටුපා හිඳගෙනය. සැබෑය. පිරිස අතර මනෝඥ වූ රූප සම්පත්තියෙන් යුත් ලියන්ය. උන්ගේ දිලිහෙන නුවන් පහරින් වහන්දෑගේ පසිඳුරන් කුපිත විය හැකිය. මහන්සියෙන් ඔබා තෙරපා ගත් සිඛ පද ආකූල වී බණ පිටපොට ගැසිය හැකිය. "අරි අටගේ මඟ" අනරී දොළොස් මඟ වී විමුක්ති මාර්ගය නන්නත්තාර ගත විය හැකිය. පිටුපෑ යුත්තේ පිටුපාන්නට බැරිම දේටය. ඉස්සරහට හැරී පස්සෙන් බණ කියන මුන්වහන්සේ බුදුන්වහන්සේටත් පාඩම් කියාදෙති. බුදුන් වහන්සේ මෙම නව ආචාර විධිය අත්හදා නොබැලුවේ ඇයිදැයි ඉඳුරා කීම අමාරුය. මින් අනතුරුව උන් වහන්සේ ගාථා ගායන ප්‍රසංගය ආරම්භ කළහ. ශුද්ධ කෝමල ස්වර මිශ්‍රිත මධුර රාගාශ්‍රිත ගාථා ඇසෙන්නට විය. ඒවා සත්තකින්ම මිහිරිය. ඒ මිහිර එසේම රඳවාගෙන ගායනය කරන්නට විශේෂයෙන් උවැසියන් වෙරදරමින් සිටිනු දක්නට ලැබිණ.

එබැවින් අත්වැල් ගායනයද මියුරුය. එසේ වුව වහන්සේගේ ගායන මධුරත්වය ඉක්මවා ගයනු බොරුය. උන්වහන්සේ සහතිකෙන්ම විශිෂ්ට ශ්‍රේණියේ ගායකයෙක් වන සේක. සංගීතයද මොනවට හදාරා ඇත. පළමු ගථාව ‘ස්ථායි’ පරිමාණයෙන් ගැයෙන අතර දෙවැනි ගාථාව තරමක් උස් හඩින් ‘අන්තරා’ ස්වරයෙන් ගැයේ. මෙය නම් අලුත් උපක්‍රමයකි. මින් ඉහත කිසි අයෙක් ස්ථායි කොටස අනුගමනය කළද කිසිදාක එහි අන්තරා කොටස නොගැයූහ. දහස් ගණන් උවසු උවැසියන් වහන්සේ වටා රොද බැඳ ගත්තේ නිකමට නොවන බව පැත්තකට වී හිදගෙන සිටින මට අවබෝධ විය. සත්තකින්ම ගාථා ගීතය මධුරය. කැරොල් ගායනයකටත් වඩා අලංකාරයය. උවැසියෝ මිහිරින් මත්ව ගයති. නිවන් සුවයට ළං ළංවම ගයති. ගාන්ධර්ව නිකාය උපලංකෘති පශ්චිමභාග පර්‍යංකධාරී, රක්තවර්ණ චීවරධාරී යෞවන රහතුන් වහන්සේ සියයක් දැල්වූ පහන් එළියෙන් දිලිහි දිලිහී බණ වදාරණ සේක. උවැසියන් මුහුණුවල සත් පියුම් පිපී ඇත. අහසේ අප්‍රමාණ තාරකා පන්තිය. ඒ රශ්මියෙන් වහන්සේ වැඩහිඳින බෝ සමිදුද දිලිසේ. මල් සුවද හාත්පස පුරා විහිදේ. දැන් දැන් දෙවියකු දෙන්නකු බෝ මැඩ ඉහළින් ප්‍රාතූර්භූත වේ යැයි සිතේ. වරක් එවැනි එළියක් ඉහළින් මතුවී නිල් පැහැති අහස් කරලක් සේ ගුවන හරහා ඇදී ගියේය. අනතුරුව නිවී ගියේය.

රාම සැරයක්!

දෙවියන්ට කලින් එන්නේ එයයි.

ධ්‍යාන විදින්නේ උතුම් පුරුෂයෝය. ධ්‍යානයක් බඳු වූ උත්තම නිමේෂයේ අන් තැනක කිසිවක් සිදුවෙමින් පැවතිණ. සංසාරයේ කඳු ගණන් පව් කළ පැමිණියාට කුමන ධ්‍යාන ප්‍රභා සංස්කරණද?

ගමේ සිමියොන් බාස්ගේ කළු දඩෝරියා තවත් ඒ හා සමාන වූ බලු නැඩයෙක් පසුපස වේගයෙන් ලුහුබඳින්නට වූයේය. බලු නැඩයා සිව්වනක් පිරිස දෙකඩ කරමින් මැදින් පැන දිවීය. ලුහුබඳුවා කිසිසේත් ලුහුබැඳියාට දෙවැනි නැත. ඌද බුරමින් රාම සැරයක් මෙන් පසුපසින් ඉගිලුනේය. රහතන් වහන්සේගේ සිරුරේද පැටලෙමින් ගිය බලු නැඩයා උන් වහන්සේටත් ඉහළින් ගොස් මුහුණු ඉදිරියේ වැල ගෙඩියක් මෙන් පතබෑවුණේය.

‘දුප්......’ රහතන් වහන්සේට කියැවිනි.

මම දෝතින් මුහුණ වසාගෙන පුළුවන් වේගයෙන් සිව්වනක් පිරිසෙන් ඉවතට පැන දිවීමි. නොමැති වී නම් එවෙලේ බඩ කට පෙරළාගෙන ආ මගේ හිනාව අප්‍රමාණ සාධුජන මධ්‍යයේ සක්වල ගලට හෙණ වැදුණාක් මෙන් පුපුරා හැළෙන්නේය. වන්නාටය එය පිපිරුණේ වෙනත් ඈතක වූ මල් පඳුරක් අස්සේය.

මාතෘකා