තෝකියෝ පිහිපහර

 ඡායාරූපය:

තෝකියෝ පිහිපහර

එය ජපානයේ මැතිවරණ උණුසුමක් පැවති කාල සමයක් විය. දේශපාලන වාද විවාද පැවති ඒ සමයේ දිනක නිවැරදිවම පවසනවා නම් 1960 ඔක්තෝබර් 12 වැනිදා තෝකියෝ නුවර හිබියා ශාලාවට තුන්දහසකට අධික ජනකායක් රැස්ව සිටියහ. ඒ මැතිවරණයේ අපේක්ෂකයන් වන බාරකාර රජයේ අගමැති හයාතෝ ඉකොඩා සහ සමාජවාදී පක්ෂයේ සභාපති වන ඉනිජිරෝ අසනුමා අතර විවාදය නැරඹීම සඳහාය.

රූපවාහිනියෙන් සජීවීව විකාශනය වූ මෙය සංවිධානය වූයේ අගමැති ඉකොඩාගේ අදහසකට අනුවයි. ඔහු ඇමෙරිකාවේ පැවති නික්සන් - කෙනඩි විවාදයේ උද්යෝගීමත් නරඹන්නකු වූ අතර සිය ප්‍රතිවාදියාටද එවන් විවාදයක් සඳහා ආරාධනා කළේය. මෙම විවාදය අතරතුරදී ජපානය හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමද අසනුමාගේ දැඩි විවේචනයට ලක්වෙයි. ඒ සමඟම දක්ෂිණාංශික සිසුහු කඩදාසි ගුළිවලින් ඔහුට දමා ගසමින් විරෝධය පළ කරති.

එවිට එකවරම සාම්ප්‍රදායික කඩුවක් රැගෙන වේදිකාවට කඩාවදින ඔටෝයා යමගුචි නම් දාහත් හැවිදිරි තරුණයෙක් එම කඩුවෙන් අසනුමාට ඇන ඔහුව ඝාතනය කරයි. මෙම සිදුවීම රූපවාහිනිය ඔස්සේ දහස් සංඛ්‍යාත පිරිසක් නරඹයි. යමගුචි අසනුමාට පළමු කඩු පහර එල්ල කර දෙවන කඩු පහර එල්ල කිරීමට සැරසෙන විටම මෙම ඓතිහාසික ඡායාරූපය තෝකියෝ මෙනිචි පුවත්පතේ මාණ්ඩලික ඡායාරූප ශිල්පී යසුෂි නගෝ විසින් සිය කැමරාවට හසුකර ගනී.

බොහෝ ඡායාරූප ශිල්පීන් මෙම විවාදය ආවරණය කිරීමට පැමිණ සිටියද නිවැරදිම මොහොත සටහන් කර ගැනීමට සමත් වූයේ යසුෂි නගෝ පමණි. මෙම ඡායාරූපය යුනයිටඩ් ප්‍රේස් ඉන්ටර්නැෂනල් පුවත් සේවය තොකියෝ විසින් ස්ටැබින් (Tokyo Stabbing) ලෙස නම් කර ලොව පුරා බෙදාහරින ලද අතර එය ඇමෙරිකාව ඇතුළුව ලෝකය පුරා වේගයෙන් පැතිර ගියේය. මෙය 1960 වසරේ වර්ල්ඩ් ප්‍රෙස් ඡායාරූපය ලෙස නම් කළ අතර මේ වෙනුවෙන් යසුෂිට 1961දී පුලිට්සර් ත්‍යාගය හිමිවිය. ඒ සමඟම ඔහු ඡායාරූපකරණය වෙනුවෙන් පුලිට්සර් ත්‍යාගය හිමිකරගත් ඇමෙරිකානුවෙක් නොවන පළමු ඡායාරූප ශිල්පියා බවටද පත්විය.

අසනුමාව ඝාතනය කළ ඔටෝයා යමගුචි අන්ත දක්ෂිණාංශික කණ්ඩායමක් වන උයොකු දන්තයි (uyoku dantai)හි සාමාජිකයෙකි. එය ශ්‍රේෂ්ඨ ජපන් දේශප්‍රේමී පක්ෂය යනුවෙන්ද හැඳින්වේ. බටහිර බලපෑමෙන් මිදුණ සාම්ප්‍රදායික ජපන් සංස්කෘතියෙන් යුත් සමාජයක් බිහිකිරීම ඔවුන්ගේ අපේක්ෂාව විය. මෙම අන්තවාදී කණ්ඩායම ජපන් අධිරාජ්‍යයාව මෙන්ම ඇඩෝල්ෆ් හිට්ලර්වද වන්දනාමාන ක‍ළ පිරිසකි.

සමාජවාදී අපේක්ෂක අසනුමා පශ්චාත් යුද සමයේදී අසීමාන්තික ලෙස සමාජවාදය වෙනුවෙන් පෙනී සිටීම, චීන කොමියුනිස්ට් පක්ෂයට දක්වන සහයෝගය, එක්සත් ජනපදය සමඟ පවතින සම්බන්ධතා විවේචනය කිරීම නිසා ඔහුව ඝාතනය කිරීමට 'උයොකු දන්තයි' කණ්ඩායම තීරණය කරයි. එය යමගුචිට පැවරෙන අතර ඔහු ඒ සඳහා යොදාගන්නේ 'යොරොයි දෝෂි' '(yoroi-dōshi) නමින් හැඳින්වෙන සාම්ප්‍රදායික කඩුවකි. අතීතයේ සමුරායි පන්තිය පැලඳ සිටි එම කඩුව සාම්ප්‍රදායික ජපන් කඩු (නිහොන්ටෝ) වර්ගයන්ගෙන් එකකි.

මෙම සිදුවීම සජීවීව රූපවාහිනියෙන් දුටු බොහෝ දෙනා අසනුමාව ඝාතනය කිරීම පිළිබඳව කම්පාවට පත්විය. අනතුරුව ඔහුගේ වැන්දඹු බිරිඳ මැතිවරණයට ඉදිරිපත් වූ අතර මෙය දේශපාලන වාසියක් බවට පත්කර ගනිමින් ඇය වෙනුවෙන් ඡන්දය ලබා ගැනීමට සමාජවාදී පක්ෂය උත්සාහ දැරුවත් එය අසාර්ථක විය.

අසනුමාව ඝාතනය කිරීමෙන් පසු යමගුචිව බාලවයස්කරුවන් රඳවා තබන කඳවුරක සිරගත කරන අතර සති තුනකට පසු ඔහු සිය පොරෝනය භාවිත කරමින් ගෙල වැළලාගෙන සියදිවි නසාගනී. ඔහු සිටි කුටියේ බිත්තියක දන්තාලේප සහ ජලය මිශ්‍ර කරමින් යමගුචි සියදිවි නසා ගැනීමට පෙර මෙසේ ලියා තිබිණි.

'මගේ මාතෘ භූමිය වෙනුවෙන් ආත්ම හතක් ජීවත් වෙමි. ජපන් අධිරාජ්‍යයාට දීර්ඝායු ලැබේවා!'

ඔහු එලෙස උපුටා දක්වා තිබුණේ 14 වැනි සියවසේදී ජපානයේ ජීවත්වූ සමුරායිවරයකු වන කුසුනොකි මසාෂිගේ අවසන් වැකියයි.

නොබෙල් ත්‍යාගලාභී ජපන් ලේඛක කෙන්සාබියුරෝ ඕඑ විසින් 1961දී රචිත 'සෙවන්ටීස්' සහ 'ද ඩෙත් ඔෆ් පොලිටිකල් යූත්' යන නවකතා ද්විත්වය සඳහා පදනම් වූයේද යමගුචිගේ ජීවිත කතාවයි.

කෙසේ වෙතත් යමීගුචි අදත් ඇතැම් දක්ෂිණාංශික කණ්ඩායම්වල වීරයෙකි. 2010 ඔක්තෝබර් මාසයේදී යමීගුචිව සමරා උත්සවයක්ද හිබියා පාක්හි පැවැත්විණි.

මාතෘභූමියට ආදරය කිරීම වරදක් නොවූවත් එහි ජීවත්වන සියලු දෙනා තමන්ගේ මතවාදයට හෝ ජාතියට යටත්ව සිටිය යුතුයි යන්න උමතුවකි. දේශප්‍රේමීත්වය මනුෂ්‍යත්වයට තර්ජනයක් වන්නේ එතැනදීය. අසනුමාව මරා දැමීමට තරුණයකුව මෙහෙයවූයේද එවන් අන්ධ දේශප්‍රේමීත්වයකි. අදත් ලොව සිදුවන බොහෝ ඝාතන සාධාරණීකරණය කරන්නෙත් අන්ධ දේශප්‍රේමීත්වය විසින්ම නොවේද?

මාතෘකා