ඥාණයේ සාරය සිරගතයි

 ඡායාරූපය:

ඥාණයේ සාරය සිරගතයි

පොදු පිළිගැනීමට අනුව සියලු සත්ත්වයන් අතරින් මිනිස් ප්‍රාණීන් ඥාණවන්තය. මනසින් උස් බව මිනිස් ලෙස බිඳී එන්නේ එහෙයින් විය යුතුය. එහෙත් වත්මන් සමාජයේ එදිනදා හැසිරීම් නිරීක්ෂණය කර බැලීමේදී එම ඥාණවන්ත භාවය ඉදිරියෙන් නිතරම ප්‍රශ්නාර්ථ ලකුණු මතුවේ. හිතීම, තීන්දු තීරණ ගැනීම, ක්‍රියාත්මක වීම යනාදී මූලික මිනිස් හැසිරීම් කිසිඳු සාරයක් නැති නිස්සාර කොදෙව්වක සිරවී ඇතැයි සිතේ.

තාමත් අප සිටින්නේ පිපිරුම් මානසිකත්වයේය. ඇත්තෙන්ම බොහෝ පිපිරීම් වන්නේ මනස තුළ යැයි හැඟේ. නවීන් දිසානායක හඬ නඟා සිනාසෙද්දී එය පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට කළ අගෞරවයක් ලෙස පෙනෙන්නට ගනී. ඊට දිනකට, දෙකකට පසු ඥාණසාර හිමියන් සිර දඬුවමින් ජනාධිපති සමාව ලැබ, රතිඤ්ඤා දල්වා, කිරිබත් පිස කා සමරති. නිළියක් මියගිය අයකුට සෙත් පතා ඉටි පහන් දැල්වීම හාස්‍යයට නඟන සමාජය, පාස්කු ප්‍රහාරයේ කඳුළු වියැළෙන්නටත් පෙර සිරකරුවකුට සමාව ලැබීම සැණකෙළි සිරියෙන් උත්කර්ෂයට නඟයි. මේ සැමරුවේ එක්නැලිගොඩගේ බිරිඳගේ කදුළු යැයි නොසිතෙන්නේ ඇයි..? මේ කුරිරු සතුට පියෙක් අහිමි වූ දරුවකුගේ පපුව හීරීමක් යැයි නොහැඟෙන්නේ ඇයි..? මේ කියන්නේ කුඩා කොදෙව්වක සිරගත වී ඇති අපේ දිළිඳු මානසික අනාථභාවය නොවේද..?

ඉලක්කම් රවුම් කර අල්ලා ත්‍රාසයෙන් ඇලලීම අපේ ගතික ලකුණකි. පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි, මැතිවරණයක ජන්ද ප්‍රතිශත, යුද්ධයක මිනී පමණක් නොව, ඉස්කෝලයක ළමයි පවා ඉලක්කම්වලින් ගැන නිර්දේශ ගැනීම අපට ඉතා විනෝදජනකය. "ඒ කාලේ ගොඩ" සහ "මේ කාලේ ගොඩ" බෙදා වෙන් කර විරිත්තීමෙන් "චූන්" වීම අපට හරි ලොකුකමකි. මේ දිනවල එසේ විළිරුදාවෙන් කෙඳිරිගානා ඉලක්කම වන්නේ තව්හීද් දොස්තරගේ සීසේරියන් එකය. අඟහරුවල ගඩොල් ගොඩවල් සහ මෘදුකාංගවල හැපුණු කුරුල්ලන් ගැන ලියූ බෝතල් පත්තරකාරයන්ගේ ඉලක්කම් ගැන අපට නම් අමුතුවෙන් සිනාසීමට දෙයක් නැත. එහෙත් අඩුම තරමේ වසරකට ලංකාවේ සිදුවන දළ උපත් අනුපාතය, සිසේරියන් පහසුකම් ඇති රෝහල් ප්‍රමාණයවත් ගණන් හදා ගැනීමට අපේ දූපතේ කිරි දරුවන්ට සාක්ෂරතාව තිබුණේ නම්, ඔය පත්තර පිටුව රෝල් කර ලියපු එකාගේ කහළමඟේ ඔබනවා නොඅනුමානය. මේ සමාජය එසේ ඥානණය කළ හැකි සාරය සහිත එකක් නොවේ.

යට ඇඳුමේ, සීට් කවරයේ බෙහෙත් ගල්වා වඳ භාවය ඇති කළ හැකි යැයි සිතන වානර කොදෙව්වක උන්, දොස්තරවරයකු 4,000ක් සීසේරියන් කොට වඳ කළා යැයි ලියා පහසුවෙන් රැවටිය හැකිය. ඒත් උන් නොදන්නේ තමන් අතින් වඳ වූ තමන්ගේ ජාතකයන් ගැන පමණි. "ලයිෆ් එක එන්ජෝයි" කරනතුරු, ගෙයක් හදනතුරු, වාහනයක් ගන්නාතුරු, දරුවන් අතර පරතරය ඇති වෙනතුරු කොණ්ඩම් දමා, පෙති ගිල, ලූප යොදා මරා ගත් දරුවන් අයිති වන්නේද ඔය ජාතිය වඳ කළ ගොඩටය. දරුවන්ට තුන් වේල කන්න දීගත නොහී, බෙල්ලේ වැළලාගෙන, ළිංවලට පැන, වස පොවා පවුල් පිටින් සිය දිවි නසාගන්නේද මේ ගොඩනඟන්නට යන ජාතියේය. එය ගොඩනැංවීමට නම් කළ යුත්තේ මේ ව්‍යසනවලට නිසි පිළියම් සොයා යෑම මිස, දේශපාලන නරුමයන්ගේ දඩ බල්ලන් වී, උන් "උසි" ගන්වන දෙසට බුරාගෙන පැනීම නොවේ.

ආගමක් දහමක් ආරක්ෂා කිරීම යනු පුද පිළිවෙත් උදෙසා නිර්මිත සංකේත කර තබා යෑමද..? ගස්, ගල්, පිළිම වන්දනා දහමෙහි හරයෙන් නෙරපා ලෝකය ඊට දාර්ශනික හරය එක්කර දැන් බොහෝ කල් ගොස්ය. අපේ පොලිසියට කරත්ත රෝද, නැව් සුක්කානම් ධර්ම චක්‍ර පැටලීම එතරම් අලුත් දෙයක් නොවේ. හොරු මහත්තුරු කරන, මහත්තුරු හොරු කරන එකේ එවැනි පැටලිලිවලට අඬා දොඩා පලක් නැත. අපට ඇඬෙන්නේ ඔය දහමෙහි භාරකරුවන් යැයි කියන උන්දලා කරන, කියනා දේ දැකීමෙනි. එකාතකට ඊළඟ රජා හදන්නට දත කන පූජක පැළැන්තියට සිය දහම අමතක වීමද සාධාරණය. අන්තවාදයකට සැබෑ දහමක් විනාශ කළ නොහැකිය යන්න සත් ක්‍රියාවෙන් ඔප්පු කළ කිතුණුවා දෙස බලන්න. දහමෙහි මාර්ගයෙන් යළි ගොඩනැඟෙන කිතුණු සමාජයේ ශාන්තිය, උපේක්ෂාව විඳින්න. අපට ඇත්තේ කුමන වර්ගයේ ආගමික මඟ පෙන්වීමක්දැයි තීරණය කර ගන්නට එම උදාහරණය හොඳටම ප්‍රමාණවත්ය. නමුත් අප එවැනි සාරවත් උදාහරණ ගුරු කොට ගැන්මට තරම් සැදැහැති ඥානයක පිහිටා නැත.

අනිත්‍යය, නිස්සාරණය, නැසෙනසුලු ස්වාභාවය ගැන කෙතරම් පුරසාරම් දෙඩුවද, අප පෙනුමට, කතාවට, ඇඳුමට, හිනාවට මුලා වන ජාතියකි. පහුගිය කාලයේ මේජර්වරුන් වැඩි ලංසුවට වෙන්දේසි වූයේ ඒකය. ඩී.අයි.ජී. ලා මාකට් කරමින් නීතිය හෑල්ලු කළේ ඒකය. දැන් සුනිල් රත්නායකලා අමතකය. හිරේ ඉන්නා බුද්ධි අංශ නිලධාරීන් අමතකය. මේ රතිඤ්ඤා පත්තු වෙන්නේ, කිරිබත් කවන්නේ එහෙම රටකටය. දැන් නීතිය නවන එක අවුලක් නැත. මන්ද එය නවා ඇත්තේ තමන්ට වාසි පැත්තටය. කුඩු ප්‍රශ්නද, කඩු ප්‍රශ්නද ඉවරය. මධුෂ්ට මොන මඟුලක් වුණත් කම් නැත. මතක් කර කර සාධුකාර දෙන්නට අලුත් ප්‍රශ්න දැන් එළියේය. ත්‍රස්තවාදය සහමුලින්ම ඉවරය. අර දෙසිය විසි පහට බෝම්බ ගසන කතා ඕනේ නැත. දැන් ඇත්තේ රට සුඛිත මුදිත කරන්නට රජකු තැනීමය. ඒකට සුදුසු එකා තේරීමේ බලු පොරයට සූදානම් වීමය. ඒ අපේ මානසික සිරගත වීමය. එයටද පොදු සමාව දිය යුතුය.

මරාගෙන මැරෙන්නට අපට ඕනෑ එකක් නිමවීමට පෙර තවත් එක් ප්‍රශ්නයකි. ප්‍රශ්න ඇත්නම් අපට බඩට නොකෑවද අවුලක් නැත. එබැවින් විසඳුම් කෙසේ වෙතත් ප්‍රශ්න නිර්මාණය කිරීම නොඅඩුව සිදුවෙමින් පවතී. අපට ප්‍රශ්න ඇති තාක් පාලක පන්තියට කිසිඳු ප්‍රශ්නයක් නැත. පොරොන්දු ඉෂ්ට නොකළාට පොරොන්දු දීමෙන් අපේ දූපත් වැසියන් පිනවිය හැකිය. උන් කනට ගසන්නට ඕනෑ තැන "හෝන්" ගසා වද දෙන්නේද අපේම උන්ටය. කනේ ඇබ ගසා ගන්නා කාලය ළංවෙමින් පවතී. මනසින් පිරිපුන් මිනිසුන් අවැසි මොහොතක ඥාණයෙන් පිරිහෙන පරපුරක සැරව සාරය දැක බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩෙනු මැන පින්වත.

 [ධනුෂ්ක බස්නායක]

මාතෘකා