සැබෑ ත්‍රස්තවාදය

 ඡායාරූපය:

සැබෑ ත්‍රස්තවාදය

මේ ලියන අද ඉරිදාවක්. අද මට වසම් කාර්යාලයට යන්න සිදු වුණේ වෙනස් රාජකාරියකට. අද අපේ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ සිවිල් ආරක්ෂක කමිටුව රැස් වෙනවා. රටේ ඇතිව තිබෙන ත්‍රස්තවාදී තර්ජනය තුළ ආරක්ෂක කමිටුව රැස් වී වසමේ ආරක්ෂාව ගැන පියවර ගැනීම අවශ්‍යම කටයුත්තක්.

මම කාර්යාලයට යන විටත් වසමේ ප්‍රභූන් යැයි කිව හැකි පිරිස එහි පැමිණිලා. හැම දෙනාගේම මුවග මාතෘකාව රටේ තත්ත්වය. ඉදිරි පුටු පෙළේ මුලින්ම සිටියේ සීලනිකේතනාරාමයේ නායක හිමියන් වූ ගුණරතන හාමුදුරුවෝ. ඉන් පසු ග්‍රාම නිලධාරී මහතාත් සමෘද්ධි සංවර්ධන නිලධාරිතුමියත් කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරිතුමියත් සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපතිතුමාත් හිඳගෙන. මා දුටු පසු ග්‍රාම නිලධාරී මහතා අත් ඔරලෝසුව පෙන්වා රැස්වීම පටන් ගත හැකි බවට ඉඟි කළා. මොකද එහි සමාරම්භක කතාව තිබුණේ මට.

මට කථා කරන්න තිබුණේ මතු වී තිබෙන අලුත්ම තත්ත්වය ගැන. මුලින් ගැමියන් පොදු කටයුතුවලට එක්රොක් කරගැනීම ගැනත්, පිටතින් වසමට පැමිණෙන පිරිස් වසමේ කලකෝලාහල කිරීමට ඇති ඉඩකඩ ගැනත් මම එහිදී කථා කළා. මගේ අදහස්වලින් පසු ගුණරතන හාමුදුරුවෝ වෙසක් උත්සව කටයුතු ගැන කථා කළා. අපේ වසමේ බෞද්ධ පන්සල් හතරකුත්, සිල් මෑණිවරුන්ගේ ආරාමයකුත් තිබෙනවා. ඒ නිසා ඒ හැම තැනකටම රැස් වන සෙනඟ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් තිබිය යුතු බව උන් වහන්සේ සඳහන් කළා. සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපති පියදාස මහතා කියා සිටියේ මේ මොහොතේ කළ යුතු වන්නේ එකිනෙකා අතර බැඳීම් වැඩි වන විධියේ පොදු කටයුතු සංවිධානය බවයි. තම තමන් පදිංචි පාරවල්වල ආරක්ෂාව පාරේ පදිංචි අයම වගබලාගත යුතු බවත් ඔහු සඳහන් කළා.

නිදහසේ අගය දැනෙනුයේ නිදහස නැති වූ දාට නේදැයි කියාත් ඒ මොහොතේ මට හැඟුණා. කොහොම වුණත් ඵලදායී සාකච්ඡාවක් නිමා වුණා. සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපතිතුමා ගත යුතු සියලු පියවර සටහන් කරගෙන තිබූ නිසා කිසිවක් සුළඟේ ගියේ නෑ. ලබන ඉරිදා නැවත රැස් වන අභිප්‍රායෙන් කමිටුව විසිර ගිය පසු මටත් නිවසට යෑමට ඉඩකඩ තිබුණා. ඒත් මම මොහොතක් වසම් කාර්යාලය තුළ ගත කළා. ස්වල්ප වේලාවකට පසු මා ඉන් පිටත් වීමට හැදුවා පමණයි, වයස්ගත මවක් කඩිමුඩියේ පය තබමින් මා අබියසට පැමිණියා. මට මුලින්ම පෙනුණේ ඈ අත වූ ලියුම් කවරය.

“අද වැඩ කරන දවසක් නම් නෙවෙයි. මොකක්ද අම්මාට කරගන්න තියෙන්නෙ?” මා විමසුවේ ඈ නැවත මගේ කන්තෝරු කාමරයට කැඳවමින්. රෙද්දක් හා හැට්ටයක් හැඳ සිටි ඈ ප්‍රබෝධවත් ලෙස මුව දල්වා පුටුවේ හරිබරි ගැහුණා. “නෝනෙ, මම ආවේ රජයෙන් දෙන ආධාරයක් ඉල්ලගන්න පුළුවන්ද බලන්න. අද නෝනලා වැඩ දවසක් නෙවෙයි කියල මං දන්නෙ නෑ.”

“අම්මා කොයි හරියෙද ඉන්නෙ? මට අම්මාව එච්චර දැකලා පුරුදු නැහැ.”

“මං ඉන්නේ දර්ශන මාවත කෙළවර. මගේ පුතා තමයි අර හන්දියේ එළවළු කඩය කරන ධර්මදාස.” පුතා ලොකු එළවළු කඩයක් කරද්දි පිං පඩි කුමටදැයි මට ඇගෙන් විමසීමට හිතුණත් මං එහෙම ඇහුවේ නැහැ.

“අම්මා තනියමද ආවේ?”

අනතුරුව මම ඇගෙන් ඇසුවා. ඇය මට සිනා පහළ කළා. “මට පාරෙ බැහැලා යන්න කවුරුත් ඕන නෑ නෝනෙ. මම මොකාටවත් බය නෑ.”

ඈ මොකාටවත් යැයි අදහස් කළේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් බව මට වැටහුණා.

“ඒ වුණාට මේ දවස්වල වැඩිය එළියට පහළියට යන්න හොඳ නෑනෙ අම්මෙ.”

“අනේ මීට වැඩිය අමාරු කාල අපි පහු කළා නෝනෙ.”

ඇය කතාවකට මුලපුරන බව මට හැඟුණා. මම ඇයට ඉඩහැරියා.

“ඒ කාලේ සුද්දා රට කරපු කාලෙනෙ නෝනෙ. මගේ ගම මාතලේ. හතළිස්දෙකේ ලෝක යුද්ධෙ එනකොට මම ඉස්කෝලේ යන පොඩි එකී. අපේ ගම්මැද්දෙන් තමයි කාපිරිකාරයෝ ලොකු ලොරිවල දාගෙන ගෙනිව්චේ. උන්ගේ කටවල්වලට ඉබ්බෝ දාලා තිබුණේ. ඒත් අපි උන්ට බය වුණේ නෑ. කොටින්ම අහස්යන්තරාවලටවත් අපි බය වුණේ නෑ. අහසින් බෝම්බ දැම්මත් ඒවට අහු නොවෙන්න අපි බිංගෙවල් හදාගෙන හිටියෙ.....”

ඇය දිගු කතාවක් කියාගෙන ගියා. ඇත්තටම අපේ සිවිල් ආරක්ෂක කමිටුවට මැයත් සිටියා නම් හොඳ යැයි මට සිතුණා. ඉතිහාසය පුනරුච්චාරණය වන බව අපි අසා තිබෙනවා. මේ අම්මා කියන්නේ එදා ඉතිහාසය දැන් පුනරුච්චාරණය වන බවද? කොහොම වුණත් අතීතය සමාලෝචනය කර ඉන් අනාගතයට පාඩම් ඉගෙන ගැනීමට තිබුණේ නම් කොපමණ වටිනවාද? ඒත් අභාග්‍යය අද ඒ දේ සිදු නොවීම.

මහලු මව මගෙන් සමුගෙන ගිය පසු මම ඒ අම්මා අද පිංපඩි ඉල්ලීමට තරම් අසරණ වී ඇත්තේ කෙසේදැයි කල්පනා කළා. ටවුමේ එළවළු කඩය කරන ඇගේ පුතා ධර්මදාස මට මතකයි. ඔහුට දරුවන් සිව් දෙනෙක් ඉන්නවා. බිරිඳට රස්සාවක් නැති බවයි මතක. ජීවන අරගලයක නියුතු ඔහුට සිය මවට සැලකීමට තරම් ආර්ථික ශක්තියක් නැති වෙන්න පුළුවන්. ඒත් මවකට නොසලකන දරුවකුගෙන් ඵලක් තිබේද? කොහොම වුණත් ඒ අම්මා අතීතය ගැන අභිමානයෙන් කථා කළේ වර්තමානය ඇයට දුෂ්කර නිසා විය යුතුයි. මට හැඟෙන ලෙස නම් අද මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ත්‍රස්තවාදයටත් වඩා බිහිසුණු ත්‍රස්තවාදයක් මිනිසුන් ඇතුළතින් අත්විඳිනවා. ඒ ත්‍රස්තවාදය එක් පසෙකින් ආර්ථික පීඩනය නිසා ඇති වන්නක්. අනෙක ඒ පීඩනය තුළම අපට අපේම මවුපිය, නෑ හිතවතුන් අමතක වීම නිසා ඇති වන්නක්. අපට අනෙකාගේ ජීවිතය සංවේදීව දැකීමට තරම් හදවතක් නැති වෙලා. කාලය නැති වෙලා. ඒ තුළ හැම දෙනාම අසරණ වෙලා. ඇත්තටම සැබෑ ත්‍රස්තවාදය එය නොවේද?

මාතෘකා