සන්නද්ධව සිල්ගත් වග

 ඡායාරූපය:

සන්නද්ධව සිල්ගත් වග

වෙසක් සඳ බැස යමින් පවතී. එහෙත් තවමත් වෙසක් අසිරියේ අඩුවක් නැත. මෙවර තොරණ දන්සල් නම් තිබුණේම නැති තරම්ය. ඒ නිසා මෙවර වෙසක් උත්සවය සැණකෙළි සිරියක් ගත්තේද නැත. ඒ නිසා නගර මහා මාර්ගවල තදබදයක් ද නැත. වෙනදාට නම් පයින් යන්නටත් බැරිය.

එහෙත් මෙවර පූජනීය ස්ථාන සැදැහැතියන්ගෙන් පිරී ඉතිරී තිබිණි. ගමේ පන්සල වෙනදාට වඩා විචිත්‍රවත් ලෙස සරසා තිබිණි. ඒවාට පෙරමුණ ගත්තේ ගමේ තරුණයන්ය. හැමෝගෙම සිත් වෙනදාට වඩා බැතිබර වී තිබේ. ගෙවල් දොරවල්ද වෙනදාට වඩා සරසා තිබේ. බොහෝ අය වෙසක් සිරි නැරඹුවේ පා ගමනින් ඇවිද යමිනි. ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැනක් ලැබී ඇති සැටියෙකි. විය යුත්තේද එයමය. බුදු දහමට අනුගත ක්‍රියාව වන්නේද එයමය.

ඒ නිසා මෙවර විහාරස්ථානවල දහම් වැඩසටහන් වැඩි වැඩියෙන් සංවිධාන විය. සීල ව්‍යාපාර සංවිධාන විය. සංවිධායකයන් අපේක්ෂා කළේ සිල් සමාදන් වන පිරිස වෙනදාට වඩා වැඩිවිය හැකි බවය. ඒ සඳහා සූදානම් විණි. එහෙත් එය එසේ නොවිණි. සිල් සමාදන් වූ පිරිස පසුගිය වෙසක් පෝයට වඩා අඩුය.

සාමාන්‍යයෙන් පවුලේ සියලු දෙනා සිල් සමාදන් වන්නේ වෙසක් පොසොන් පෝයවලටය. එහෙත් මෙවර වැඩිහිටියන් පැමිණියේ දරුවන් ගෙදර නවතා තබමිනි. එසේ වූයේ ඇයි? හැමෝගෙම සිතේ කුතුහලයකි. බියකි. ඒ ජීවිතය පිළිබඳ බියකි. එහෙත් ඒ ගැන කිසිවෙක් කතා නොකරති. සිල් සමාදන් වෙති. මෙවර සිල් ගත්තෝ සැබවින්ම සිල් ගත්තාද? මා තුළ පවතින්නේ ප්‍රශ්නාර්ථයකි.

මේ වෙසක් පොහෝ දින පන්සලේ ගේට්ටුව ළඟ මුර පොළකි. එහි පොලිස් නිලධාරියකු සමඟ හමුදා නිලධාරියෙකි. ඔහු අත ගිනි අවියකි. යන එන අය පරීක්ෂා කරන්නේ දායක සභාවේ පින්වතුන්ය. හැමෝටම හැමෝම ගැන සැකය. පරීක්ෂා කරන්නේ ඒ නිසාය.

මගේ මතකයට ආවේ මා පුංචි කාලයේ පන්සලය. එදා පන්සල අභය භූමියකි. හැමෝටම විවෘතය. ඕනෑම වෙලාවක ඕනෑම අයකුට පැමිණිය හැකිය. දුර බැහැර යන්නෙක් රාත්‍රිය ගත කළේ බණ මඩුවේය. බොහෝ විට මනිබඩු, රෙදි වෙළෙන්දන්ය. ඒ අයගෙන් සමහරෙක් මුස්ලිම්ය. මිනිසුන් විතරක් නොවේ බලු, බළල්, ගව මහීෂාදී යන සතුන්ටත් එදා අභයභූමිය වූයේ පන්සල් වත්තය.

අද ඊට හාත්පසින්ම වෙනස්ය. සුදුවතින් සැරසී පාණාතිපාතා යයි සිල් සමාදන් වූ පිරිස පන්සල ඇතුළතය. පර පණ නැසිය හැකි අවි දරා ගත් යුද භටයන් පන්සල පිටතය. ඒ සිල් ඇත්තන් රකින්නටය. සිල් ඇත්තන්ගේ කය රකින්නටය. අද සිල් ඇත්තන්ගේ සිත තුළ පවතින්නේ මරණ බියය. එහෙත් පැවතිය යුත්තේ සසර බියය. මර බිය ඇත්තා එය නැති කරන්නට වෙර දරන්නේ සන්නද්ධ වීමෙනි. සසර බිය ඇත්තා ඒ බිය නැතිකර ගත යුත්තේ දහමෙහි හැසිරීමෙනි. චතුරාර්ය සත්‍යය පිළිබඳව වටහා ගැනීමෙනි.

එහෙත් සිදුව ඇත්තේ එය නොවේ. සියල්ලන් තුළ පවතින්නේ මරණ බියය. මරණ බිය යනු ජීවිතයට ඇති ආසාවය. හැමෝම වෙර දරන්නේ ජීවිතය රැක ගැනීමටය. කුණුකය රැක ගැනීමටය. එහෙත් බුදු දහමට අනුව රැක ගැනීමට වෙර දැරිය යුත්තේ කුණු කය නොවේ. සිතය. සිත රැක ගත යුත්තේ අකුසල්වලිනි. ඒ අකුසල් සිතිවිලි පහළ වෙන්නේ සිතෙහි නිසාය. සන්නද්ධ යුද භටයන් රැකවලෙහි සිටියදී සිල් පුරණ සිත්වල පහළ වන්නේ කුසල් සිතිවිලි විය හැකිද?

කවර මොහොතක කවර අනතුරක් වේද? එහෙම වුවොත් පවුලේ අයට කුමක් වේද? ගෙවල් දොරවල් ඉඩකඩම්වලට කුමක් වේද? මෙවැනි අකුසල් සිතිවිලි මේ සිත්වලට ආවේම නැතිද? මරණ බිය සමඟ බැඳී සිත එයින් ගලවා ගන්නට හැකි වුණේ කාටද?

සමහර දම් දෙසුම්ද එවන් සිතිවිලිවලට උත්තේජනයක් ලබා දුන්නා සේය. දේශනා කළේ සිත නිවාලන මඟ ගැන නොවේ. සිත අවුළුවාලන මඟ ගැනය. එයින් වූයේ මොහොතක් හෝ සිත අරමුණක තබා ගන්නට දැරූ උත්සාහය ව්‍යර්ථ වීමය. මේවා කිසිවක් සිතා මතා කළ කී දේ නොවේ. රටේ පවතින තත්ත්වය නිසා නිරායාසයෙන්ම වූ සිදුවීම්ය.

මේ වෙනස ඇති කළේ කවුද? මිනිසාමය. අකුසලය කුසලය යැයි වරදවා වටහා ගත් නූතන අංගුලිමාලයන් විසින්ය. එදා අංගුලිමාල දහසක් මිනිසුන් ඝාතනය කළේ ද බැති සිතිනි. ඒ බැතිය ගුරුවරයාටය. නූතන අංගුලිමාලයින් මිනිසුන් ඝාතනය කරන්නේද බැති සිතිනි. ඒ බැතිය දෙවියන්ටය. මෙය මිථ්‍යාවක් බව මිනිසාට පහදා දුන්නේ බුදු දහමය. ඒ වසර දෙදහස් පන්සිය හැට තුනකටත් වඩා පෙරය. එහෙත් මිථ්‍යාව එදත් එසේමය. අදත් එසේමය.

[නන්දසේන උඩුගම]

මාතෘකා