අප සමාජ (හිතකර) මාධ්‍ය භාවිත කරන්නෝද?

 ඡායාරූපය:

අප සමාජ (හිතකර) මාධ්‍ය භාවිත කරන්නෝද?

සමාජ මාධ්‍ය නැත්නම් Social Media පිළිබඳ අපේ සමාජය තුළ විවිධ කථිකාවන් පසුගිය කාලය පුරාම වරින් වර මතුවී තිබෙනවා. මේ නව මාධ්‍ය භාවිතය ශ්‍රී ලංකා සමාජය තුළද ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පැතිරෙන්නට පටන් ගත්තේ සුහුරු දුරකථන (Smart Phones) භාවිතය වේගයෙන් ඉහළ යෑමත් සමඟය. මේ වන විට ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතය මිලියන 27කට මඳක් වැඩිය. ඒ වගේම සක්‍රිය අන්තර්ජාල භාවිත කරන්නන්ගේ ප්‍රමාණය මිලියන 6.71ක්. ඒ අතරින් ජංගම දුරකථන මගින් අන්තර්ජාලයට පිවිසෙන්නන්ගේ ප්‍රමාණය මිලියන 6.15ක්. මේ නිසා බහුතරයකට ඉතාම පහසු ආකාරයට සමාජ මාධ්‍ය භාවිත කරන්නට දැන් අවස්ථාව සැලසී තියෙනවා. ″ෆේස්බුක්″ දැනට ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලය බවට පත්වී තිබෙන අතර දෛනිකව එය භාවිත කරන්නන් ප්‍රමාණය මිලියන 6කට වැඩියි. ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය පිළිබඳ සැණරුවක් (Snapshot) ලෙසින් මෙය ගන්නට පුළුවන්. මේ නිසා වර්තමානයේ නව මාධ්‍යන් අතර සමාජ මාධ්‍ය භාවිතය තීරණාත්මක නොවේ යැයි නොසලකා හරින්නට බැහැ. විශේෂයෙන් සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතිය කාරණා කෙරෙහි මෙයින් ඇතිවන බලපෑම තීරණාත්මක අවධියකට පැමිණෙමින් තිබෙනවා.

සාමාන්‍යයෙන් සමාජ මාධ්‍යම භාවිත කරන තනි පුද්ගලයකු හට ඇතිවිය හැකි ඍණාත්මක බලපැම පිළිබඳ ලෝකයේ විවිධ පර්යේෂණයන් සිදුකර තිබෙනවා. ඒ අනුව,

1.මානසික අවපීඩනය සහ කාංසාව ඇතිවීම.

2.සයිබර් හිරිහැර කිරීම, වද දීම හා අපහරණයට ලක් කිරීම.

3.තමන් කොන්වේ යැයි බියවීම.

4.යථාර්ථවාදී නොවූ අපේක්ෂාවන් ඇතිවීම.

5.තමන්ගේ රූපය පිළිබඳ ඍණ ආකල්පය වර්ධනය වීම.

6.අවිධිමත් නිදාගැනීම් රටාවන් ඇතිවීම.

7.පෞද්ගලික රහස්‍යභාවය බිඳ වැටීම.

8.අසාමාන්‍ය ඇබ්බැහිවීම.

වැනි අගතීන් ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන් සමාජ මාධ්‍ය. අයථා ලෙස භාවිත කරන්නන් නිසා කෙනකුට පෞද්ගලිකව මෙවැනි තත්ත්වයන් ඇතිවනවා සේම, එවැනි කණ්ඩායම්වල වැරදි භාවිතයන් නිසා සමාජයක් අවුල් සහගත තත්ත්වයකට පත් වෙන්නට පුළුවන්. විශේෂයෙන් අසත්‍ය තොරතුරු හා හිංසාකාරී තොරතුරු මෙන්ම ඡායාරූප හා වීඩියෝ පළකිරීම හා බෙදාහැරීම නිසා ඉතා නරක ප්‍රතිඵල ඇති වෙන්නට තියෙන ඉඩකඩ වැඩියි. ව්‍යසනකාරී, ගැටුම්කාරී හා අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති මොහොතක සමාජ මාධ්‍ය වැරදි ලෙස භාවිත කරන්නන් නිසා තත්ත්වය අවුල්සහගත නරක අතකට වර්ධනය වීමේ ප්‍රවණතාවක් දකින්න පුළුවන්.

අනෙක් අතට අසත්‍ය ප්‍රවෘත්ති වාර්තා කිරීම නිසා මුළු සමාජයක්ම සමාජ ආර්ථිකමය ලෙසින් බිඳවැටීමට ඇති ඉඩකඩ ද වැඩි වෙනවා. 2018 වසරේ එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් බෝම්බ පිපිරීමෙන් පසු විශාල පිරිසක් අතුරුදන් වී ඇති බවට අන්තර්ජාලයේ තොරතුරු හුවමාරු වීම නිසා සමාජය තුළ බරපතළ කලබැගෑනියක් ඇති වුණා. මෙවැනි අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ අනෙක් නරක ප්‍රතිඵලය වන්නේ සත්‍ය තොරතුර සත්‍ය ලෙස පිළිගැනීමට සමාජය අකමැති වීම. ඒ නිසා අර්බුදයේ සැබෑ විසඳුම මඟහැරී, පාලනය කළ නොහැකි අන්තයක් කරා එය ඇදී යන්නට පුළුවන්.

කෙනකුට තමන් දරන අගතිගාමී මතයන් මත කිසියම් පුද්ගලයෙක්, සමාජ කණ්ඩායමක්, කුලයක්, ආගමක්, ජාතියක් මත අනවශ්‍ය විවේචනයන් එල්ල කිරීමට ඇති හැකියාවද සමාජ මාධ්‍ය නිසා වැඩි වී තිබෙනවා. එය කෙනකුගේ හෝ කණ්ඩායමක අභිමානයට හානි කිරීම හා ඔවුන් කෙරෙහි තමන් තුළ පවතින ඊර්ෂ්‍යාව ප්‍රකාශ කිරීම තුළින් පුද්ගලයා හෝ සමාජ කණ්ඩායම බරපතළ පීඩනයකට හසු කිරීම මෙයට ආසන්නම හේතුව වෙන්නට පුළුවන්. කෙසේ වෙතත් එවැනි ඊර්ෂ්‍යා සහගත ප්‍රකාශන අප නිතරම සමාජ මාධ්‍ය තුළ දකිනවා. ඒවාට කිසිම සත්‍ය පදනමක් පවා නෑ. නමුත් එවැනි අසත්‍ය ප්‍රකාශයක් එක් මොහොතක විශාල පිරිසක් කරා යැවීමට සමාජ මාධ්‍ය තුළින් හැකියාව ලැබෙනවා. ඇතැම් විට එය කිසිසේත් පසුව නිවැරදි කරන්නට හැකියාවක් ලැබෙන්නේ ද නෑ. එයට හේතුව මුල් ප්‍රකාශය පමණක් සමාජය විසින් විශ්වාස කිරීම.

සමාජ මාධ්‍ය භාවිතා කරන බහුතරය සැමවිටම උත්සාහ ගන්නේ පුද්ගලයා තුළ චිත්තවේගීත්වය වැඩි කිරීමට සහ අදහස් ජනනය අඩු කිරීමට. (More emotion and Less thoughts) එම නිසා එහිදී පුද්ගලයා තීන්දු තීරණවලට එළඹෙන්නේ මනසින් කල්පනා කර නොවේ. හැඟීම්බර වීමෙන් පමණයි. එවිට ඒ තීන්දු හානිකර තීන්දුවීමට ඇති ඉඩකඩ වැඩි වෙනවා. බොහෝ විට කනගාටුදායක කාරණය වන්නේ පුද්ගලයන් සමාජ මාධ්‍ය මගින් බෙදාහැරෙන ප්‍රවෘත්ති පිළිබඳ එකහෙලා විශ්වාසය පළ කිරීම. මෙය ඉතා හානිකර තත්ත්වයක්. එසේ වීමෙන් සිතා බැලීමකින් තොරව වැරදි ප්‍රවෘත්තිය විශාල පිරිසක් අතර පැතිර යෑමට ඇති ඉඩකඩ වැඩි වෙනවා.

මේ නිසා සමාජ මාධ්‍ය භාවිත කරන්නන් වගකීම් සහගතව එය සිදුකිරීම සමාජයීය වශයෙන් වැදගත්. විශේෂයෙන් සමාජ මාධ්‍යන් වෙත තොරතුරු මුදාහරින්නන් එම තොරතුරුවල සත්‍ය අසත්‍යභාවය පිළිබඳ සැලකිලිමත් විය යුතු වෙනවා. නමුත් තනි තනි පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් දෙස බැලූවිට එය 100%ක් නිවැරදිව සිදුවේ යැයි සිතන්නට බැහැ. බොහෝ පුද්ගලයන් තමන්ගේ පෞද්ගලික දේශපාලන, සමාජ හා සංස්කෘතික කැකෑරීම් මුදාහරින තැනක් බවට සමාජ මාධ්‍යද පත්කර අවසන්. එම නිසා මේ හරහා තොරතුරු ලබාගන්නා පුද්ගලයන් සමාජ මාධ්‍ය කෙරෙහි පමණක් විශ්වාසය තබා ක්‍රියාත්මකවීම නොකළයුතු වෙනවා. එය කළ හැකි දෙයක්. එසේ නොවුණහොත් අනවශ්‍ය වැරදි තොරතුරු සමාජය තුළ පැතිරීම වැඩි වෙනවා පමණක් නොව එයින් සමාජය බිඳවැටීමට ඇති ඉඩකඩ ද වැඩි වෙනවා. එය පොදුවේ සමස්තයටම බරපතළ හානි සිදුකළ හැකි තත්ත්වයක් නිර්මාණය වීමක් වෙන්නට පුළුවන්.

මාතෘකා