නිදහස කරා වූ දිගු ගමන

 ඡායාරූපය:

නිදහස කරා වූ දිගු ගමන

එය නිදහස උදෙසා ඇරඹි දිගු ගමනකි. සාමය සහ සමානාත්මතාව වෙනුවෙන් ඇරඹි ඒ ගමන මේ අසහාය නායකයා කුමන බාධක කම්කොටොලු පැමිණියද නැවත්වූයේ නැත. මේ ශ්‍රේෂ්ඨ මිනිසා වන්නේ නෙල්සන් මැන්ඩෙලාය. දකුණු අප්‍රිකානු නිදහස් සටනේ පුරෝගාමියා වූ ඔහුට සිය අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් විසිහත් වසරක් වසරක්ම සිරගෙවල්වල ගත කිරීමට සිදු විය.

දකුණු අප්‍රිකාවේ එම්වේසෝහි තෙම්බු නම් ගෝත්‍රයකට අයත් පවුලක 1918 ජුලි මස 18 වැනි දින මැන්ඩෙලා උපත ලබයි. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ‍‍‍‍ඔහු ෆෝට් හෙයා විශ්ව විද්‍යාලයට ඇතුල් වී ශාස්ත්‍රවේදී උපාධිය ලබාගනී.

මැන්ඩෙලා 1944 වසරේදී අප්‍රිකානු ජාතික කොංග්‍රසය හා එකතු වන අතර අනතුරුව ජොහැන්ස්බර්ග්හි තරුණ ලීගයට බැඳී වර්ගවාදයට එරෙහිව සිය සටන අරඹයි. එහි නායකත්වයට පත්වන මැන්ඩෙලා මේ අතර කාලයේදී කිහිපවරක්ම අත්අඩංගුවට පත්වේ.

1960 දි ෂෘපෙවිල්හි පැවැත්වෙන කඵ ජාතිකයින්ගේ සාමකාමී උද්ඝෝෂණයකට පොලිසිය වෙඩි තබන අතර එහිදී විරෝධතාකරුවන් කිහිපදෙනෙක් මියයති. මෙතෙක් අවිහිංසාවාදී ක්‍රියාපිළිවෙලක් අනුගමනය කළ අප්‍රිකානු ජාතික කොංග්‍රසය මෙම සිදුවීමෙන් පසු එහි ගරිල්ලා සංවිධානයක් ආරම්භ කරයි. 1962 දී ගමන් බලපත්‍රයක් නොමැතිව රටින් පිට වීම හා රට තුළ සේවක වර්ජනයක් ඇති කිරීමට කටයුතු කිරීම යන චෝදනාවන්ට මැන්ඩෙලා අත්අඩංගුවට ගන්නා අතර පස්වසරක සිර දඬුවමක් නියම වේ. ඔහු සිරෙන් පැනගියත් නැවත 1964 දී කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කිරීම ඇතුළු චෝදනා හතරකට ජීවිතාතන්තය දක්වා සිරදඬුවම් නියම වෙයි.

වසර විසිහතක් වන සිය සිරගත දිවියේ වසර 18ක්ම ඔහු ගත කළේ රොබෙන් දූපතේ සිරගෙයක් තුළයි. කේප්ටවුන් නගරයට නුදුරින් පිහිටා තිබූ එය සියවස් තුනක කාලයක සිට සිර කඳවුරක්, වහල් කඳවුරක් සහ ලාදුරු කොලනියක් ලෙස භාවිතයට ගත්තකි.

මැන්ඩෙලා සහ අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සාමාජිකයෙක් රොබෙන් දූපතට සිරකරුවන් ලෙස රැගෙන ආ අවස්ථාවේදී එහි සිටින ජේලර්වරයෙක් ඔවුන්ට මෙසේ පවසයි.

'ඔබලා කවදා හෝ මියැදෙන්නෙත් මේ දූපතේම තමා.'

රොබෙන් සිරගෙය තුළ මැන්ඩෙලාට ගත කිරීමට සිදු වන්නේ ඉතා දුෂ්කර ජීවිතයකි. ඔහු රඳවා තැබුණේ අඩි හතක් දිග අඩි හයක් පළල කුඩා කුටියකය. එහි තිබුණේ පිදුරු මෙට්ටයකි. වැසිකිළියක් නොතිබූ අතර ඒ වෙනුවට තිබුණේ කුඩා බාල්දියකි. කම්කරුවෙකු ලෙස ඔහුට හුණුගල් කොරියක වැඩ කිරීමට සිදු විය. වසරකට වරක් පමණක් අමුත්තෙක් හමු වීම සඳහා විනාඩි තිහක කාලයක් ලැබුණු අතර ලිපියක් ලිවීමට අවසර ලැබුණේ සය මසකට වරකි.

මැන්ඩෙලා සිරගතව සිටින අතරතුර ඔහුගේ මවත්, රිය අනතුරකින් වැඩිමල් පුතාත් මියයන අතර එම අවමංගල්‍යයන් සදහා සහභාගි වීමටද අවසර නොලැබේ. ඔහුගේ බිරිඳ විනීටද තම සැමියා හමු වීමට පොලිසියෙන් අවසර ගත යුතු විය.

කලක් යන විට සිපිරිගෙයි ජීවිතය ඔහුට හුරු විය.

'සිපිරිගෙයි ජීවිතය නම් දින චර්යාවකට වඩා වැඩි යමක් නොවීය. සෑම දිනයක්ම ඊට පෙර දිනය මෙන් විය. සෑම සතියක්ම ඊට පෙර සතිය මෙන් විය. එබැවින් මාස හා අවුරුදු එකිනෙක හා මුසුව ඇති බවක් හැඟිණි. '

සිරගෙයි තුළ සිටිමින්ම ඔහු සිය සංවිධානයට නායකත්වය ලබාදීමට පියවර ගත්තේය. ඔහු සිරගතව සිටි අවදියේදිම සිය ස්වයංචරිතාපදානය ලිවීමද ඇරඹුවේය.

මැන්ඩෙලා 1982 වස‍රේදී රොබෙන් දූපතේ සිට පෝල්ස්මුර් අධිආරක්ෂිත කලාපයට මාරු කරන ලදි. මේ කාලයේදී මැන්ඩෙලාගේ නිදහස් සටනට ලෝකයේම අවධානය යොමුව තිබූ අතර, ඔහු නිදහස් කරන ලෙස බලකරමින් විවිධ විරෝධතා ව්‍යාපාර සංවිධානය වෙයි. මේ අතර මැන්ඩෙලා සහ රජය අතර සාකච්ඡා ඇරඹේ. 1988 දී ඔහු වික්ටර් වර්සටර් සිර කඳවුරට මාරු කරයි.

මේ අතර 1989 දී දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා ලෙස එෆ්.ඩබ්ලිව්.ඩී. ක්ලාක් පත්වේ. ඔහු විසින් අප්‍රිකානු ජාතික කොංග්‍රසය ඇතුළු සංවිධාන 31ක තහනම ඉවත් කරන අතර 1990 පෙබරවාරි මස 11 වැනිදා නෙල්සන් මැන්ඩෙලා නිදහස ලබයි.

'මා දැන සිටියා කවදා හෝ මගේ දෙපයට තණනිල්ලක සිසිලස ලැබෙන බව සහ හිරුඑළිය දිගේ නිදහස් මිනිසෙකු ලෙස ඇවිද යන දිනයක් උදා වන බව.'

නිදහස ලබමින් මැන්ඩෙලා පවසයි.

1993 වසරේදී ඔහු නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබන අතර 1994 දී දකුණු අප්‍රිකාවේ ප්‍රථම කඵ ජාතික ජනාධිපතිවරයා ලෙස මහජන ඡන්දයෙන් තේරිපත්වෙයි. ඔහුගේ ධුර කාලය තුළ දකුණු අප්‍රිකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ රැසක් සිදු විය. දෙවැනි ධුර කාලය සඳහාද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාව තිබුණත් ඔහු 1999 දී ජනාධිපති ධූරයට සමුදී නෙල්සන් මැන්ඩෙලා පදනම පිහිටුවාගෙන සමාජ සේවා කටයුතුවල නිරත වෙයි. 2013 දෙසැම්බර් 05 වැනිදා මැන්ඩෙලා මියයන විට ඔහු පැතු සාධාරණත්වයෙන් යුත් දකුණු අප්‍රිකාව බිහි වී තිබුණත් ලෝකයේ පවතින සියලුම ජාති, කුල භේද, අසමානතා නිමා වී එකම මිනිස් ජාතියක් නිර්මාණය වන තෙක් මැන්ඩෙලාගේ අරගලය නිමා වන්නේ නැත. නිදහස සහ සිය අපේක්ෂාවන් පිළිබඳව ඔහුගේ අදහසකින් මේ කෙටි සටහන නිමාකරමි.

'මම නිදහස කරා දිගු ගමනක් ඇවිද ඇත්තෙමි. නමුත් මා හට එය හමු වුණේ එක් සුවිශාල කන්දක් තරණය කිරීමෙන් අනතුරුවය. එහෙත් එක් පර්වතයක් තරණය කළ විට තවත් බොහෝ කඳු තරණය කිරීමට ඇති බව පසක් වෙයි. මෙහිදී මම ගිමන් හරිමින් මා වටා ඇති සුන්දර දර්ශන පථයේ අසිරිය විඳ ගන්නටත්, මා පැමිණ ඇති දුර දෙස නැවත හැරී බැලීමටත් මොහොතක් ගත කළෙමි. නමුත් මේ විවේකය සුළු මොහොතකට පමණි. මන්ද යත් නිදහස සමඟ වගකීම් බැඳී පවතියි. ඉදින් මෙහි තවදුරටත් ගිමන් හැරීමට මට නොහැකිය. මාගේ දිගු ගමන තවම නිමා නැත. '

මාතෘකා