කුණු අදින මිනිසුන් කුණු වී නැත

 ඡායාරූපය:

කුණු අදින මිනිසුන් කුණු වී නැත

මට ලියන්නට බොහෝ දෑ ඇත. එහෙත් ඒ සියල්ලම ලියනවාද නැතිද යන්න පිළිබඳ හිතට නිශ්චිත අදහසක් නොමැත. එහෙත් සතියක් පාසා මතක වස්සානයේ මුද්‍රිත අකුරු කියවන්නට බලා සිටින බොහෝ දෙනා අතර හිඳින එක් සුන්දර මිනිසකු ගැන මෙසේ ලියා තබන්නට අවැසි යැයි මට සිත් වෙයි.

"මල්ලිගෙ ලියන ඒවා හරි ලස්සනයි."

ඔහු ඉඳහිට දිනෙක මා අමතා එසේ කියයි. අදටත් කිසිදා දැක නොමැති මේ සුන්දර මිනිසා මා හා යාවෙන්නේ මගේ මතක වස්සානයෙනුත් පෙර කළ මා ලියා පළකළ ‘ඇස් තෙත් කළ මතක’ කෘතියෙනුත් ඉඳහිට දිනෙක ඔහු මට දෙන දුරකථන ඇමතුමෙනුත් පමණි.

"අයියා මොනාද කරන්නේ?"

ඔහු හා මා අතර පළමුවර ඇතිවූ හඳුනා ගැනීම දිගු කර ගන්නා දෙබසේ පළමු පැනය මා එසේ තැබූ මොහොත මට අදද සිහිවෙයි.

"මල්ලි මං කුණු ට්‍රැක්ටරේ වැඩ කරන්නේ"

අනුන්ගේ කුණු අදින හිත කුණු නොවුණු ඒ සුන්දර මිනිසා සිය රැකියාව ගැන එසේම කියයි. මට එදා සැනෙකින් සිහි වූයේ "රාජා" ය. රාජා වැඩ කරන්නේද කුණු ට්‍රැක්ටරයේය. ඔහු මට මුණ ගැසෙන්නේ අපේ පන්තියේ කුණු ගෙනයෑමට අමතරව ඔහු විත් මුළු පන්ති පෙළම අතුගා සුද්ද කර දරුවන්ට අධ්‍යාපනය ලබන්නට සුදුසු පරිසරය තනා දෙන්නා ඔහු වූ බැවිනි. ඒ වෙනුවෙන් අතිරේක ආදායමක් ලැබුවද ඔහුගේ මෙහෙය මිල කළ නොහැකි බව අප දන්නේ ඉඳහිටක අසනීපයක් නිසාවෙන් රාජා නොපැමිණි දවසක පන්ති අතුගා නැති විටකය.

ලොව සෑම වෘත්තිකයකුම කවර හෝ ලෙසකින් මේ සමාජයට පැවැත්ම තහවුරු කරයි. නමුත් අදටත් වැඩවසම් සමාජයේ බොහෝ ගෝත්‍රිකයන් ඒ රැකියා පදනම වැනි පටු සීමාවන් සලකා රාජලා වැනි අහිංසකයන් දෙස නරුම ඇසකින් බලන අයුරු මා අනන්තවත් දැක ඇත. රාජාත් පෙර මා කියූ නිශාන්ත අයියාත් දෙස පමණක් නොව, එවන් රැකියාවල නියුතු බොහෝ දෙනා දෙස තමා සුපිරිසිදු යැයි කියා ගන්නා බොහෝ අය බලන්නේ ඉතා පහත් අයුරිනි. එහෙත් ඒ සෑම මොහොතකම සිදු වන්නේ එකම දෙයකි. ඒ අනෙකාට කරන ඒ ගැරහීම කරන්නට තරම් ගෝත්‍රික මනසක් ඇත්තේ එසේ සිදු කරන්නන්ගේය යන්න ප්‍රත්‍යක්ෂ වීමය.

මට සිහිවන්නේ විමලරත්න කුමාරගමයන්ගේ ‘හේරත් හාමි’ කවි පෙළය.

"අලියා වැටුණු වැව සිටි හේරත් හාමී

මා වැනියකු වුවද මම වැදගත් වීමී

මිනී කපන මුත් හේරත් හාමී

ඔහු මට වඩා විසි තිස් ගුණයෙන් දෑමී"

එහෙත් නූතන සමාජය තුළ බොහෝ දෙනා එවන් මිනිසුන් පිළිකුල් කරන ස්වරූපය අනන්තවත් අප දැක ඇත. පෙර කී නිශාන්ත අයියා ඉඳ හිට කතා කර ඔහු සමාජයෙන් ලැබූ අත්දැකීම් මට පවසයි. එවන් මොහොතක ඔහු පැවසූ කතාවක් මගේ පපුව කීරි ගැස්වූ බැවින් ඔබ වෙනුවෙන් එය මේ මතකයට බර කරමි. ඒ අන් කිසිවක් නිසා හෝ නොව, මේ ගෝත්‍රිකත්වයෙන් ඔබ මිදිය යුතු යැයි මා විස්වාස කරන බැවින්ය.

"මල්ලි අපේ නගර සභාව ඉස්සරා තියෙනවා පුංචි හෝටලයක්. ගොඩක් වෙලාවට අපි එතනින් තේ එකක් බොන්න යනවා. දවසක් මං එතනට ගිහිං තේ එකක් බීලා එන්න හදනකොට ඒක ඇතුළට ආවා අපේ සභාවෙ වැඩ කරන ක්ලාක් මහත්තයෙක්. ඒ මහත්තයා මා දිහා උඩ ඉඳං පල්ලෙහාටම අමුතු විදියට බලලා ඇතුළු වුණේ. ඊට පස්සෙ කෙලින්ම කඩේ ඇතුළට ගිහිං මුදලාලි එක්ක කතා කළා. ඒ වචන මට යන්තමින් ඇහුණා. හරියට රිදුණා මල්ලි එදා නම්."

"ඇයි අයියෙ මොකද වුණේ?"

"නෑ මල්ලි, ඒ මහත්තයා කෙලින්ම ගිහිං මුදලාලිගෙන් අහනවා අර වගේ අයව මොකටද මුදලාලි මේ කඩේට ගන්නෙ කියලා. මුදලාලි ඇහුවා “ඇයි මහත්තයො?” කියලා. ඒ සැරේ මනුස්සයා කියනවා. නෑ, මුදලාලි ඔය යකා අපේ කුණු අදින එකානෙ. ඔය වගේ අය එක්ක එකට වාඩි වෙලා කන්න බොන්න පුළුවන්ද, අනික මං කියන්නෙ ඔහොම එකෙක් බීපු කෝප්පෙකින් වතුර ටිකක් බොන්න පුළුවන්ද කියලා."

"මෝඩ මිනිස්සු අයියේ.."

මා කියූවේ එපමණකි. සැබැවින්ම සමාජය එසේය. බොහෝ මිනිසුන් එළියට පෙන්වන තරම් සුචරිත නැත. බොහෝ අයට ඇත්තේ ගෝත්‍රික ඔළුය. නූතනවාදී කියා ගන්නා බොහෝ දෙනා අවංකව හැසිරෙන්නේ කොතෙක් නම් නින්දා සහගත ලෙසද? ජාති, ආගම්, කුල, රැකියා, ප්‍රදේශ ආදී වශයෙන් පටු සංකල්ප සාදා ගනිමින්, අනෙකාගේ ප්‍රතිරූප හෙළා දකිමින් තමා රැඩිකල් යැයි පෙන්වන්නට උත්සාහ ගන්නා මුග්ධයන් කොතෙක් නම් සමාජයේ ඇත්ද?

මම මගෙන් උගත් සිසුවියක් වරක් ඇගේ නිබන්ධනයක පසු පස ලියා තිබූ කවියක් අහම්බෙන් දැක එය ලියා ගතිමි. ඒ කවිය මේ ලියමනට ගැළපෙන බැවින් මේ ලියමන අගට එය අමුණමි. කවිය හිමි ශිරෝමි මධුවන්තිකාටය.

"ඉතින්,

සමිදුනි...

බුදු පියාණෙනි...

එදා සෝපාකද

සුනීතද

ශුද්‍රයෙන් මුදවා

මිනිසත් සුවඳ උන් තුළින්

ප්‍රකට කර...

ඔබ දෙසූ දම් කඳ

අස අසාම

බොහෝ සැදැහැතියන්

අද

හැසිරෙන හැටි පුදුමයි

හංවඩු ගසමින් අහිංසකයන්

සුනීත සෝපාකලා ලෙසින්ම”

මේ මතක වස්සානය අවසන ඉඳින් මං යළිත් යළි යළිත් පවසමි. මිනිසුන්ට ආදරය කරන්නට අපට නොහැකි වන තුරු අපද මිනිසුන් නොවනු ඇත. එවන් මිනිසුන්ට ආදරය කරන යුගයක රාජලාටද නිශාන්ත අයියලාටද අප සමඟ එක්ව සිනාසෙන්නටද හැකිවනු ඇත.

[ගයාන් අබේසිංහ]

මාතෘකා